ලොකු කට්ටිය හා පොඩි කට්ටිය

පොල්පලා පඳුරු දුටු පමණින් සිතට කයට සැහැල්ලුවක් දැනෙන්නේ මන්දැයි මම නොදනිමි. එහෙත් හීන් කුඩා පඳුරු මඳ සිනා පාන්නාක් මෙන් දිස් වන්නේ පොල් කුඩු සේ ම සුදු පැහැ කුඩක් සහිත නිසා ද?

“සුද්දන්ට තේයි කෝපියි මහ ලොකු දෙයක් වුණාට අපට බොන්ඩ කොච්චර දේවල් මේ පොළවෙ සරුවට හැදෙනව ද පොල්පලා... බෙලි... රණවරා.... ඕන්නං මට වරුවක් තිස්සෙ කියැව්ව හැකි ලැයිස්තුව...”

කිරි අම්මාගේ සාඩම්බර හඬ අසමින් මම පොල්පලා දලු කඩන්නට පටන් ගතිමි. තම්බා බීමට මුළු පොල්පලා පඳුරම සුදුසු වුව ද මැල්ලුම සඳහා උවමනා වන්නේ දලු පමණි.

“මුත්තරා දැවිල්ලට පොල්පලා විතර දෙයක් තව කොහෙද?”

කිරි අත්ත ගේ ගැඹුරු හඬ ද මට ඇසෙයි.

පොල්පලා දලු අහුරක් ද අතැතිව ආපසු එන මා දුටුවේ කෙසෙල් පඳුරු අසල සක්මන් කරන පොඩි පුතායි. දෙසතියකට පසු ඔහු දකින මම සතුටින් උතුරා යමි.

“පොඩි පුතා.... දැන් ද ආවෙ...?” යි මා අසන්නේ සොම්නස ද විස්මය ද පිරි හඬිනි.

“කෙසෙල් කැන පැහිල මදි නේද අම්මා...?”

ඔහු විමසිලිමත් බැල්මක් හෙලන්නේ කෙසෙල් කැන දෙස ය. විශාල කෙසෙල් කොළ මධ්‍යයේ බරට බරේ නැමී වැටෙන කෙසෙල් කැන සිරියාවන්ත දර්ශනයක් බව සැබෑ ය. එහෙත් මගේ සිත මඳක් රිදිණ.

“අනේ පුතේ ඔයා ගෙදර ආවෙ සති දෙකකට පස්සෙනේ...”

“හැමදාම ක්ලාස් අම්මා... හෙට උදේ ම යන්න ඕන....”

“ඔව්... භාෂාවක් ඉගෙන ගන්න එක වැදගත් තමා. මහන්සි වෙලා ඉගෙන ගන්න ඕන. ඒ වුණාට ඉතිං ගෙදර ආපු ගමන් ඔයා බලන්නෙ කෙසෙල් කැන දිහානෙ.... අපි නං ඉස්සර ගෙට ගොඩ වෙන්නෙ අම්මේ කියාගෙන. දැනුත් එහෙම යි. අම්ම ගෙදර නැත්තං ආපසු හැරිල එන්නමයි හිතෙන්නෙ...”

මම නොමනාපයෙන් කියමි.

“මාත් කතා කළා. ඉතිං අම්ම හිටියෙ නෑනෙ.... තාත්ත නං කිව්ව ඔය ගහක් ගලක් අස්සෙ ඇති කියල....” යි කී ගැටවරයා හිනාවුණේ ය.

“ගස් ගල් අස්සෙ ඉන්න මං පණුවෙක් ද?” යි මා අසන්නේ සිනාවකුත් එක්ක ය.

“නෑ.... පණුවන්ටත් ආදරේ කරන අමුතු අම්මෙක්. පිස්සු නැත්තං ෂෝක්” යි කී ඔහු නැවතත් හිනාවුණේ ය.

“බුදු හාමුදුරුවෝ කියල තියෙනවනෙ පෘථග්ජන හැමෝම උමතුයි කියල....”

අපි දෙදෙනාම හඬ නඟා සිනාසුණෙමු.

දරුවන් සමඟ එකට එක්ව හිනැහෙන්නට ලැබීම තරම් සතුටක් අම්මා කෙනකුට තවත් තිබිය හැකි ද? ඔවුන්ගේ හිනා දකින කල මගේ ළය සෙනෙහසින් ද සතුටින් ද පිරී ඉතිරී යයි.

“කෝ පොඩි කට්ටිය?” යි පොඩි පුතා විපරම් කරන්නේ මද්දුත් නිවුන්නුත් පිළිබඳ ව . ලොකු පුතා මෙන් ම ඔහු ද මල්ලිලා තිදෙනා පොඩි කට්ටිය නමින් එක ගොඩකට දමා හදුන්වන කල මම තිගැස්සෙමි.

ඉලන්දාරින් දෙදෙනකු ගෙදර සිටින බව මට මතක් කර දෙන්නේ ඒ හැඳින්වීම යි. ඔවුන් මෙන් ම බාලයන් තිදෙනා ද ඉලන්දාරින් වනු ඇත. ඔවුන්ගේ මව ද පියා ද වියපත් කරවමින් ඔවුන් තාරුණ්‍යයට පිය නඟති. ඉතින් එය සතුටට කරුණක් නොවේ ද? එහෙත් වේගයෙන් පියඹා යන කාලය අප තල්ලු කරනු ලබන්නේ මරණය වෙත නොවේ ද? කවදා හෝ දවසක අප නොමැතිව ජීවත් වන්නට අපේ දරුවන්ට සිදුවන බව මෙනෙහි කිරීම වැදගත් ය. ඔවුන්ට ස්වාධීනව වැඩෙන්න ඉඩ දිය යුත්තේ එබැවිනි.

“ඔයාලා පරිස්සමට බස් එකේ එන්න. හන්දියෙන් බහින්න පරිස්සමට....” යි මා ඇතැම් දවසක නිවුන්නු අත වැඩිපුර මුදලක් තබමි. පාසලේ අමතර පන්තියක් හෝ ක්‍රීඩා පුහුණුවීමක යෙදුණ දවසක බසයෙන් එන්නට ඔවුන් මැලි නොවෙති.

“නෑ නෑ.... මේ ගොල්ලන්ට බස් එකේ එන්න බෑ.... නඟිද්දි බහිද්දි වැටුණොත් එහෙම... බෑගුයි වතුර බෝතලුයි එල්ලගෙන බස්වල එන්නෙ කොහොම ද? මේ පොඩි දෙන්නා?” යි ඔවුන් ගේ පියා දොස් පවරයි. එහෙත් අප නැති දවසක ඔවුන් අසරණ විය යුතු නැතැයි මම හඟිමි. බසයේ ගමන් කරන්නට, ගසකට නැඟ ගෙඩියක් කඩා ගන්නට ඔවුන් දැනගත යුතුයි. ඇඳුමක් සෝදාගන්නට ගෙයක් මිදුලක් අතු ගා ගන්නට තේ කෝප්පයක් පිළියෙළ කරගන්නට ඔවුන් පුරුදු පුහුණු විය යුතු යැයි මම තරයේ සිතමි. එයින් ශක්තිමත් වන්නේ ඔවුන් ම ය.

එළැඹෙන හෙට දවසට මුහුණ දීමට ඔවුන් ට හැකි වන්නේ එවිට නොවේ ද? වහලට නැමුණ පේර ගසට නැඟ වහලට ගොඩවන දරුවන් වළක්වන්නට මා තැත් නොකළ ද දරුවන් ගේ පියා කෝපයෙන් බෙරිහන් දෙයි. මේ කුඩා සැහැල්ලු සිරුරු එක්ක මිස වැඩුණු දවසක බරැති සිරුරු එක්ක ඔවුන් වහලයට නඟින්නට අසමත් වන බව මම දනිමි. ඉතිං වහලයකට නැඟීමේ සතුටත් වීර ක්‍රියාවක ආස්වාදය හා ත්‍රාසයත් ඔවුන් විඳිය යුතු නැද්ද?

“ඔහොම ද ළමයින් ව බලා ගන්නෙ? කිසි බයක් නෑ... බිමවත් හරියට ඇවිදගන්න බැරි ළමයි වහලෙට නැග්ගම ඇදගෙන වැටෙන්නෙ නැද්ද? කොඳුත් කඩාගෙන මෙතන බෙහෙත් බඳින්ඩ වුණා ම තේරෙයි... සද්ද නැතිව බලං ඉන්නවනේ ළමයින් ට ඕන දෙයක් කරන්න ඉඩ දීලා....”

සැමියා මට දොස් පවරන්නේ දරුවන්ට අනතුරක් සිදුවනු ඇතැයි බියෙන් බව මම දනිමි.

“දන්නවද? හුඟක් අය සාමාන්‍යයෙන් මැරෙන්නෙ ඇ‍‍ඳේ. පාරෙදි වතුරක දි මැරෙන අයත් ඉන්නවා තමා. ඒ වුණාට ඉතිං ඇ‍ඳේ මැරෙනවා කියල කවුරුවත් ඇ‍‍ඳේ නිදා නොගෙන ඉන්නෙ නෑනෙ...” යි කියන්නට මගේ දෙතොල පොපියයි. එහෙත් එයින් ඔහු තවත් කිපෙන්නට බැරි නැතැයි සිතන මම නිහඬව පසුවෙමි.

“ඇයි අම්මෙ පොඩි කට්ටිය කොහෙද ගියේ?”

මගේ නිශ්ශබ්දතාවය නොරිස්සූ පොඩි පුතා නැවතත් ප්‍රශ්න කළේ ය.

“එයාල දහම් පාසල් ගියා. අද ඉරිද නේ....”

“ඔව්ම යි. මට අමතක වුණා...” යි හිස සැලු ඔහු “බඩගිනියි අම්මෙ” යි බඩගිනි බැල්මක් හෙලුවේ ය. දෙසතියකට පසු පොඩි පුතා උදෙසා බත් පතක් බෙදීමට හැකි වීමේ සතුට මගේ දෑත දෙපයට සවිය ගෙනෙයි.