මගේ කවිය සහ අනෙකාගේ කවිය

හොඳ ලේඛකයකු මිනිය හැකි මිනුම් දඬු බොහොමයක් තිබිය හැකි ය. ඒවා අතරින් මා තරයේ විශ්වාස කරන මිනුම් දණ්ඩක් වනුයේ ලේඛකයා තමන්ගේ නිර්මාණ පිළිබඳ ව පමණක් නොසිතා අනෙකුත් නිර්මාණකරුවන්ගේ නිර්මාණ පිළිබඳ දක්වන සැලකිල්ලයි. තමන් දුක සේ හදා වඩාගත් දරුවකුට ඇල්ම දක්වන පියකු මෙන් නිර්මාණය කෙරෙහි බැඳීම පෘථග්ජන ලේඛකයකුගේ ගති සොබාවයි.

එහෙත් ඊට වඩා විශිෂ්ට නිර්මාණයක් වෙනත් නිර්මාණකරුවකු අතින් බිහි වූ විට එයින් වඩාත් සතුටට පත් විය හැකි නම් එය සමාන කළ හැක්කේ තම දරුවාට වඩා දක්‍ෂ දරුවකු හමු වූ විට එම දරුවා වඩාත් දක්‍ෂ දරුවකු හැටියට පිළිගැනීමේ ගතියට ය. එහෙත් සාමාන්‍ය ජීවිතයෙහි දී මෙන් ම නිර්මාණ ජීවිතයෙහි දී ද එම ගති ලක්‍ෂණය ඇති අය හමු වන්නේ කලාතුරකිනි. ඉරිසියාව මිනිස් ගතියකි.

දක්‍ෂ නිර්මාණකරුවකුගේ නිර්මාණ පිළිබඳ ඉරිසියාවක් ඇති වුවහොත් එය මර්දනය කර ගැනීම සඳහා මනස දියුණු කරගැනීම දුෂ්කර වුවත් එය කළ යුතු ම වේ. එසේ නොවීමේ ප්‍රතිඵලය පුද්ගලත්වය ඉක්මවා සමාජ අගතියක් දක්වා වර්ධනය විය හැකි ය.

සාහිත්‍ය විචාර සහ කතිකාවක් හැටියට දිස්වන ඇතැම් ප්‍රවණතා පිටුපස මේ අගතිය ඇති බව පෙනේ.

මේ පිළිබඳ ව මගේ අදහස වන්නේ මෙය යි. හොඳ නිර්මාණකරුවකු වීම දුෂ්කර ය. හොඳ මිනිසකු වීම ඊටත් වඩා දුෂ්කර ය.

භාෂාව යනු මානව ශිෂ්ටාචාරයේ සුවිශේෂී ජයග්‍රහණයකි. එය දෙවියන් දුන් දෙයක් නො ව ජීවත්වීම සඳහා ආදි මිනිසා ගෙන ගිය අරගලයේ දී අදහස් හුවමාරුව විධිමත් කර ගැනීමට දරන ලද උත්සාහයේ ප්‍රතිඵලයකි. බස වඩාත් සියුම් බවට පත් කරන ලද්දේ සොබා දහමේ ගුප්ත බව පිළිබඳ ඇති වූ සිතුවිලි භාෂාවෙන් ප්‍රකාශයට පත් කිරීමට උත්සාහ දරන ලද මිනිසුන් විසිනි.

ලොව කවර බසකින් වුව ද පෙර නුවූ විරූ නිර්මාණ බිහිවන කල්හි එහි චමත්කාරයෙන් අපි විස්මයට පත් වෙමු. එනයින් බලන විට නිර්මාණයක් පුද්ගලයකු විසින් බිහිකළ පසු ව එය පොදුවේ මානව ශිෂ්ටාචාරයේ උරුමයක් බවට පත් වෙයි.

දඩයම් යුගයේ දී තමා කළ දඩයම පිළිබඳ, විවිධ කෙඳිරුම් ශබ්ද ඔස්සේ මනරම් ලෙස වර්ණනා කරන්නට මානවයා දැරූ උත්සාහයේ සිට පුෂ්කින්ගේ හෝ එලියට්ගේ අර්ථ පූර්ණ පද පෙළහරක් දක්වා පැමිණි ගමනෙහි දී බස වඩා සියුම් කිරීම සඳහා දායකත්වය දුන් කවියෝ කොතෙක් වෙත් ද? උසස් නිර්මාණයක් බිහි කිරීමට සමත් වූ ලේඛකයා එයින් මහත් ආනන්දයක් ලබයි. එය උසස් නිර්මාණයක් බවට පත් වීමේ දී තම ප්‍රතිභා ශක්තිය මෙන් ම එතෙක් වැඩි දියුණු වෙමින් පැවත ආ භාෂා ව්‍යවහාරය හා මානව සංස්කෘතිය ද වැදගත් වෙයි. එනිසා එම නිර්මාණයෙහි අයිතියෙන් අඩක් ලේඛකයා සතු වන විට අනෙක් අඩ සමාජය සතු වෙයි.

“මෙය මගේ නිර්මාණයයි. මේ විශිෂ්ට නිර්මාණය මාගේ පුද්ගලික ජයග්‍රහණයකි” යනුවෙන් සිතා ඒ පිළිබඳ තෘෂ්ණාවක් ඇතිකර ගැනීමට පෙර ඔහු හෝ ඇය දෙවරක් සිතා බැලිය යුතු වෙයි. එම තෘෂ්ණාව වැඩි වන තරමට අනෙක් නිර්මාණකරුවන්ගේ විශිෂ්ට නිර්මාණ පිළිබඳ ඇතිවන ඉරිසියාව ද වැඩි වෙයි. මේ නිසා හොඳ නිර්මාණකරුවකු ලෙස මා පිළිගන්නේ තමන්ගේ නිර්මාණවලට සමාන ව ම අන්‍යයන්ගේ නිර්මාණවලට ආදරය කරන මිනිසා ය. එවැන්නෝ එදා සිටියහ. අදත් සිටිති.

කොළඹ යුගයේ කවීන් අතර කෙතරම් වාද විවාද පැවතියත් ඔවුන් අතර දැඩි මානුෂීය බැඳීම් දක්නට විය. මිතුරු කවියකු රෝගී වූ විට ඔහුට සුවය පතා කවි පෙළක් ලියා පුවත්පතක පළකරන කවියා කෙතරම් සොඳුරු කවියෙක් ද? කුමාරගම සහ කේයස් අතර තිබූ දැඩි මිත්‍ර හැඟීම පුද්ගලත්වයේ සීමා ඉක්මවා ගිය ලෝකෝත්තර බැඳීමකට සමාන ය. ප්‍රාග් විප්ලවීය රුසියන් ලේඛකයන් අතර ද මෙබඳු අපූර්ව සම්බන්ධයක් තිබිණ.

ලේඛකයන් පිරිසක් අලුත් ලේඛකයකුගේ අත්පිටපතක් කියවීමට පටන් ගත්තේ ය. රාත්‍රියෙහි ඔවුහු මාරුවෙන් මාරුවට හඬ නඟා පිටුවෙන් පිටුව කියවූහ. පොත රසවත් එකකි. හිමිදිරිය වන තෙක් ම මේ කටයුත්ත සිදු විය. අලුයමෙහි පිණි වැටෙන යාමයේ ලේඛක පිරිස නවක ලේඛකයාගේ නිවසට පයින් ම ගොස් දොරට තට්ටු කළ හ. දොර හැරිණ. ඔවුන් නවක ලේඛකයා බදාගත්තේ සතුටෙන් තෙත් වූ දෑසින් යුක්ත ව ය. උක්ත සිදුවීම මට කියවන්නට ලැබුණේ පියඩෝර් ඩොස්ටොයෙව්ස්කිගේ කැරමයෝ සහෝදරයෝ කෘතියෙහි සිංහල පරිවර්තනය සඳහා සිරිල් සී. පෙරේරා ලියූ පෙ රවදනෙනි.

හෙළදිව මහගත්කතුවර මාර්ටින් වික්‍රමසිංහයන්ගේ ජීවන තතු පිළිබඳ කතා කරන බොහෝ ලේඛකයන් විසින් ද සනාථ කර ඇත්තේ ඔහු නවක ලේඛකයන් කෙරෙහි දක්වන ලද ප්‍රබෝධජනක ප්‍රතිචාරය යි. ධර්මසිරි ගමගේ, ඩබ්ලිව්. ඒ. අබේසිංහ යනාදී ලේඛකයන් සතු ව ඒ පිළිබඳ ලිඛිත සාක්‍ෂි ද සුරැකි ව පැවතිණ.

වික්‍රමසිංහයන් මිය යන විට අත් පිටපත් මට්ටමේ පැවති කෘතියක් මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලය විසින් “අපේ ළමා සාහිත්‍ය” මැයෙන් පසුගිය වසරේ ප්‍රකාශයට පත් කර ඇත. සුදීපා දමයන්ති ලේඛිකාවගේ ළමා පොතක් පිළිබඳ වික්‍රමසිංහයන් ලියා ඇති ලිපිය ළමා සාහිත්‍ය නිර්මාණයක ස්වභාවය කෙසේ විය යුතු ද යන්න ද සැලකිල්ලට ගනිමින් එම ලේඛිකාව දිරිමත් කිරීමේ අරමුණින් ලියන ලද්දකි. එම ලිපිය ද “අපේ ළමා සාහිත්‍ය” කෘතියෙහි ඇතුළත් ය. මේ ලිපිය වික්‍රමසිංහයන් ලියා ඇත්තේ දෑස ද දුබල වූ ජීවිතයේ සැඳෑ සමයෙහි ය.

මගේ ඇතැම් කෘති ඉවසීමෙන් කියවා වර්ධනය විය යුතු තැන් පෙන්වා දෙමින් පුද්ගලික ව ලියුම් එවා ඇති අය අතරින් “ධර්මසිරි ගමගේ, ඩබ්ලිව්. ඒ. අබේසිංහ, කීර්ති කළහේ, සිරිලාල් කොඩිකාර, මහාචාර්ය ඒ. ඩී. පී. කලන්සූරිය, මහාචාර්ය අනුරාධ සෙනෙවිරත්න, ස්වර්ණ ශ්‍රී බණ්ඩාර, සුනන්දා රණසිංහ, කුලසේන පොන්සේකා, පුෂ්පා ඉලංගන්තිලක, ගාමිණී රණසිංහ සහ ආචාර්ය පියසීලී විජේගුණසිංහ යනාදී නම් මගේ හදවතෙහි ද ගැඹුරු සටහන් තබා ඇත.

මහින්ද කුමාර දළුපොතත්, යසනාත් ධම්මික බණ්ඩාරත්, මමත් මීට වසර විසි ගණනකට පෙර විජේරාම පෙදෙසෙහි බෝඩිමක ගාල් වී සිටියෙමු. තිදෙනාම රෑ තිස්සේ කවි ලියති. කියවති. රස විඳිති. වාද කරති. දිනක් හිමිදිරියෙහි මහින්ද මා කීද්දුවේ ය.

“උඹේ කවිය හොඳයි. මං ඒක පද්ම තටාකෙ දාන්ඩ රත්න ශ්‍රීට යවනවා”

මහින්ද තැපැල් කන්තෝරුවට ගියේ ය. එහෙත් අපේ කුඩා ලියන මේසය මත ඔහුගේ කවිය ඉතුරු වී තිබිණ. ඊළඟ සතියේ රත්න ශ්‍රී විජේසිංහ ගේ පද්ම තටාකයෙහි “ඇත් රජ” කවි පෙළ පළ විය. එදා සිට අද දක්වා ඒ කවිය විවිධ රසික ප්‍රතිචාර ලැබී ඇත. මහින්ද ඒ බව දන්නවා දැ යි මම නොදනිමි.