ඉන්ක්මාල් අපායිගේ පාඩම

"ලංකාව පසුබිම් කරගෙන පිටරට ලේඛකයන් පොත් ලියලා තියනවද?” පොතක් කියවමින් සිටි මගෙන් පුතා හදිසියේ ම ප්‍රශ්නයක් ඇසී ය.

"ඔව්....” මම පොතින් නෙත් ඉවතට නොගෙන ම පිළිතුරු දුනිමි.

"රොබට් නොක්ස්ලා රොබට් පර්සිවල්ලා පිලිප් බල්දියෙස්ලා ජෝන් ඬේවිලා ක්වෙරෝස් පියතුමාලා රුබෙයිරෝ...” මම දිගු නම් ලැයිස්තුවක් කියවාගෙන ගියෙමි.

"මේ අය ලංකාව ගැන පොත් ලියපු විදේශිකයො. අපි අපේ මෑත ඉතිහාසයේ සමාජ සිරිත්විරිත් වගේ බොහෝ කරුණු හදාරන විට මේ ලේඛකයන් ලියූ තොරතුරු උදවු කරගන්නවා.”

"මෙයා අහන්නෙ වෙන දෙයක්.” දියණිය සොහොයුරා වෙනුවෙන් මැදිහත් වූවා ය.

"එහෙම නෙමෙයි.” පුතා නැවතත් කතා කළේ ය.

"පිටරට ලේඛකයන් නවකතා ලියන විට ලංකාව පසුබිම් කරගත්තෙ නැද්ද?”

"ඇයි නැත්තෙ? ලෙනාඩ් වුල්ෆ් කියන ලංකාවෙ පරිපාලන නිලධාරියකු විදිහට වැඩ කළ ඉංග්‍රීසි ලේඛකයා ‘විලේජ් ඉන් ද ජංගල්’ (බැද්දේගම ලිව්වේ ලංකාව පසුබිම් කරගෙන. ‘ජුල්ස් වර්න්’ගෙ පොතකත් එක තැනක දී ලංකා මුහුද අවට මුතු කිමිදීම ගැන කියවෙනවා. කිර්ගීස් ලේඛක ‘චින්ගීස් අයිත්මාතෝව්’ ගෙ එක නවකතාවක් පටන් ගන්නෙ ගුරුතුමියක් ශ්‍රී ලංකාව ගැන පන්තියේ ළමයින්ට කරන විස්තරයකින්.” මම කියවමින් සිටි පොත පසෙකින් තබා අයිත්මාතෝව් පිළිබඳ ව දරුවන්ට විස්තර කළෙමි.

චින්ගීස් අයිත්මාතෝව් උපත ලද්දේ 1917 සුප්‍රකට සෝවියට් විප්ලවයෙන් අවුරුදු එකොළහකට පසු 1928 දී සෝවියට් කිර්ගීසියාවේ ය. සෝවියට් දේශයට අයත් කිර්ගීසියාව නම් මධ්‍යම ආසියානු ජනරජයේ එඬේර ජනතාවගේ ජීවිත පශ්චාත් විප්ලවීය යුගයේ පරිවර්තනයන්ට හසුවන අපූර්වත්වය මැනවින් ග්‍රහණය කරගන්නට සමත් වූ ලේඛකයා සේ සැලකෙන්නේ චින්ගීස් අයිත්මාතෝව් ය.

සැබවින් ම සෝවියට් සමූහාණ්ඩුව තුළ එතරම් වැදගත් නොවූ බෙහෙවින් කටුක දේශගුණයකින් හෙබි කිර්ගීසියාව ලොව පුරා සාහිත්‍යකාමීන්ගේ අවධානයට ලක්වූයේ අයිත්මාතෝව්ට පින්සිදු වන්නට ය.

ශ්‍රී ලංකාවේ වෙසෙන අපට ද ඉසික්කූල් විල ගැනත් කිර්ගීසියානු අයිලය ගැනත් තොරතුරු දැනගන්නට ලැබෙන්නේ අයිත්මාතෝව්ගේ ගුරු ගීතය, ජමීලා, සමුගනිමි ගුල්සාරි, වේලාසන කොක්කු ඇවිත්, සුදුනැව වැනි කෘති රැසක් සිංහලයට නැගූ දැදිගම වී. රුද්‍රිගු, ඩබ්ලිව්. ඒ. අබේසිංහ, චූලානන්ද සමරනායක වැනි විදෙස් කෘති සිංහලයට නැගූ අපේ පරිවර්තකයන් නිසා ය.

මම චින්ගීස් අයිත්මාතෝව් පිළිබඳ මීට වඩා දිගු විස්තරයකට නොයමි. (මාර්තු 1 වැනිදා බද්දරමල්ලට ලේඛක ‘කපිල කුමාර කාලිංග’ ද අයිත්මාතෝව් පිළිබඳ විස්තර කොට තිබිණි.)

අද සංහිඳ පාමුල තීරුවට ප්‍රස්තුත වන චින්ගීස් අයිත්මාතෝව්ගේ කෘතිය ඔහු විසින් ලියන ලද්දේ ‘රාන්න්යේ ෂුරව්ලි’ යන නමිනි. පසුව එය ‘ද අර්ලි ක්රේන්ස්’ යන නමින් ඉංග්‍රීසියට නැඟිණි. ප‍්‍රතිභාපූර්ණ කවියකු, ගීතරචකයකු, විචාරකයකු හා පරිවර්තකයකු ලෙසින් බොහෝ ඇසූ පිරූ තැන් ඇති ඩබ්ලිව්.ඒ. අබේසිංහයන්ට මෙම කෙටි නවකතාව මුලින් ම කියවන්නට ලැබෙන්නේ 1976 දී ‘සෝවියට් ලිටරෙචර්’ සඟරාවෙනි. අ

බේසිංහයන් සිය පරිවර්තනයේ ප්‍රස්තාවනාවේ සඳහන් කරන ආකාරයට මෙම වටිනා කෘතිය පරිවර්තනය කිරීමේ අධ්‍යාශය ඔහු තුළ පහළ වන්නේ කරුණු තුනක් හේතු කොට ගෙන ය. එකක් කෙටි නවකතාව පුරා පැතිර ඇති අයිත්මාතෝව්ගේ නිර්මාණ ප්‍රතිභාවයි.

දෙවැන්න ශී‍්‍ර ලංකාව පිළිබඳව කෙරෙන අතිශය හෘදයංගම විස්තරයකින් නවකතාව ආරම්භ වීමයි. තෙවැන්න බෞද්ධ ථෙරගාථා සාහිත්‍යයේ එන පාලි ගීයක අනුවර්තනයක් නවකතාවේ හැඳින්වීම් පාඨය සේ යොදා ගනිමින් නවකතාවේ තේමාව ඒ හා ගැළපීමයි. (අබේසිංහයන් සඳහන් කරන ආකාරයට අයිත්මාතෝව්ට බෞද්ධ ථෙර ගාථා කියවන්නට ලැබෙන්නට ඇත්තේ ජර්මන් හෝ ඉංග්‍රීසි පරිවර්තනයකින් විය යුතු ය.)

‘වේලාසන කොක්කු ඇවිත්’ යන නමින් ඩබ්ලිව්. ඒ. අබේසිංහයන් සිංහලයට නැඟූ ‘ද අර්ලි ක්රේන්ස්’ නවකතාව ආරම්භ වන්නේ ගුරුවරියක් ශ්‍රී ලංකාව පිළිබඳව කරන පාඩමකින් බව මම මුලින් සඳහන් කළෙමි. ගුරුවරිය ‘ඉන්කමාල් අපායි’ වන්නී ය. අබේසිංහයන්ගේ පරිවර්තනයේ ඒ සඳහන් වන්නේ මෙසේ ය.

”ශ්‍රී ලංකාවල ඉන්දීය වෙරළාසන්නයෙහි පිහිටා ඇති ඒ පරම රමණීය සුන්දර දිවයින, ඉන්කමාල්අපායි සිය පන්තියේ ළමයින්ට උගන්වමින් සිටියේ, ශ‍්‍රී ලංකාව ගැන ය. ගෙදර දී ගොතන ලද දළ ලොම් සාළුවක් පොරවාගෙන සිටිය ද ගුරුවරිය සීතලේ ගැහෙන්නට වූවා ය. මහාද්වීපය නමැති කිරි බුරුල්ලෙන් වැටෙන කිරි බිඳුවක් ලෙසින් ශ්‍රී ලංකාව සිතියම මත සිත්තම්ව ඇත.”

ගුරුවරිය මෙම විස්තරය කරන පන්ති කාමරය වටා ඇත්තේ මූසල කාලගුණයකි. එළියේ ලොකු හිම පියලි ගලා විත් ජනෙල් වීදුරුවේ වැදෙයි. ජනෙල් සියල්ල හිමෙන් වැසී ගොස් ය. ඒ තුළින් කෙසේ නම් පිටත බලන්නද? ගුරුවරිය ශ්‍රී ලංකාවේ සුන්දරත්වය විස්තර කරන්නේ මෙවන් පසුබිමක් තුළ ය. අබේසිංහයෝ එය මෙසේ පරිවර්තනය කරති.

"ශ්‍රී ලංකාවේ නොයෙක් අපූරු දේ ඇත. වඳුරන්, අලි-ඇත්තු, කෙසෙල්, මුළු ලොවෙහි ම ඇති හොඳ ම තේල එතනින් ගියාම නන්විධ පලතුරු, ගස්වැල් එහි ඇති දේ නිමක් නැත්තේ ය. එහෙත් වැදගත් ම දෙය නම් ශ්‍රී ලංකාව උණුසුම් රටක් වීමයි.

කොතරම් උණුසුම් ද කිවහොත් මුළු වසර පුරාම කිසිම දිනක සීතලේ ගැහෙන්නේ නැතුව ජීවත් විය හැක. හිම සපත්තු, හිම වැසුම් උණුසුම් පාවහන්, හිමකබා මේ කිසිවක් අවශ්‍ය නැත. උණුසුම ලබනු සඳහා දර ද අවශ්‍ය වන්නේ නැත. මොන තරම් අපූරු ප්‍රීතිමත් ජීවිතයක් ද? ඕනෑ ම තැනක කැමති විදියට ඇවිදින්න, සක්මන් කරන්න, හිරු රැසින් නැහැවෙන්න, උණුසුම වැඩි නම් හෙවණකට ගොස් දාහය නිවන්න, ශ‍්‍රී ලංකාවේ දවාලත් රැයත් එක සේ උණුසුම් ය.”

‘වේලාසන කොක්කු ඇවිත්’ නවකතාවේ කතානායකයා වන සුල්තන්මුරාත් ශ්‍රී ලංකාවේ උපදින්නට නොහැකි වීම ගැන දුක්වෙයි. සුල්තන්මුරාත්ගේ කාලය කිර්ගීසියාව ඇතුළත් සෝවියට් දේශය මතු නොව මුළු ලොව පුරා පැතිරී ඇත්තේ දෙවන ලෝක යුද්ධයයි. හැම පවුලක ම පියවරු යුද්ධයට ගොසිනි. ස්වකීයයන් පිළිබඳ තොරතුරක් ලැබෙන තුරු මවුවරු දුක සේ සිය දරුවන් රැක බලාගෙන සිටිති. ගමේ යුද්ධයට ගිය සමහරුන්ගේ මරණය පිළිබඳ පණිවිඩ ගමට ලැබෙයි.

ඇතැම් පවුලක පියාගෙන් මාස ගණනකින් ලිපියක් හෝ ලැබී නැත. වැඩිහිටි පිරිමි රට වෙනුවෙන් යුද වදින්නට ගොස් ඇති හෙයින් ගමට අස්වනු ලබන කෙත්වතු වගා කරන්නට ගොවියෝ නැත. මේ අතර සභාපති ‘තීනලිව්’ තීරණයක් ගනියි. ගමෙන් බොහෝ දුර අක්සායි පෙදෙසේ වගාබිම් වගාකරන්නට ගැටවරයන් යවන්නට ය. සුල්තාන්මුරාත්ට ගැටවර නඩයේ අණ දෙන නිලධාරි පදවිය ලැබෙයි. කටුක දේශගුණය මැද සුල්තාන්මුරාත් ඇතුළු ගැටවරයන් පියවරුන්ගේ වගකීම් උදෙසා කටයුතු කරන ආකාරය නවකතාවේ පෙළගැසෙන්නේ වීර කාව්‍යයක් සේ ය.

සැබවින්ම චින්ගීස් අයිත්මාතෝව්ගේ නවකතාවෙන් ඩබ්ලිව්. ඒ. අබේසිංහයන් පරිවර්තනය කළ

‘වේලාසන කොක්කු ඇවිත්’ අපේ යෞවනයන් විසින් ද කියවිය යුතු මාහැඟි කෘතියක් බව සඳහන් කළ යුතු ය.