බ්ලැක් වුණත් සෙක්සිබල්

කොළඹ නගරය තුළ හෝ නගරාසන්න අනෙකුත් නගර කිහිපයක හෝරා දෙක තුනක චාරිකාවක් ගොස් බලන්න, ඔබේ නෙත ගැටෙන, ධාවනය වන ත්‍රිරෝද රථ හෝ නවතා තබා ඇති ත්‍රිරෝද රථ පිටුපස දෙස. ඒවායේ ලියා කියා ඇති, රුවන් වැකි, ආප්තෝපදේශ, දාර්ශනික චින්තා, ගී සංකල්පනා, ආගමික ශාස්තෘවරුන්ගේ ප්‍රකාශ, ධම්මපදයේ, බයිබලයේ, කුරානයේ, මතුනොව භගවත්ගීතාවේ පවා හමුවන විවිධාකාර කියමන් තුළ හාස්‍යය, උපහාසය ද ඇතුළත් බව පෙනේ. හාස්‍යය උපහාසය මතු වී තියෙන්නේ, ත්‍රිරෝද රථ හිමිකරු තමාට ජීවත්වීම සඳහා ආදායම සපයා දෙන රථය කෙරෙහි ඇති ආදරය ප්‍රකාශ කිරීමට ලියා ඇති කියමන් තුළයි.

මේ කියමන්වලට අමතරව, ත්‍රිරෝද රථයකට ගොඩවදින මොහොතේ, ආසනය පිටුපස ඇත්තේ කාගේ ඡායාරූපදැයි ඔබ නිකමට හෝ විමසිලිමත් වී තිබේද? ත්‍රිරෝද රියක ගමන් ගන්නා බොහෝ අවස්ථාවල, අර්නස්ටෝ චේ ගුවේරා, ෆිඩෙල් කැස්ත්‍රෝ පමණක් නොවේ, වී. අයි. ලෙනින් ද මට හමුවූ අවස්ථා එමටය. එම ඡායාරූපවල සිටින්නේ කවුරුන්දැයි බොහෝ රියදුරන් නොදන්නා බව නම් මම හොඳාකාරවම දනිමි.

ත්‍රිරෝද රථ පිටුපස සරසන විවිධ කියමන් පිළිබඳ විශේෂාංග එමට රචනා වී ඇති බවද මම දනිමි. එවැනි විශේෂාංග, මාධ්‍ය තුළ කොතෙක් පළවුවත්, කලින් කලට ඒවායේ අන්තර්ගතය හෝ මුහුණුවර වෙනස්වන ආකාරය පිළිබඳ විශේෂාංග රචනා කිරීමට ඕනෑතරම් ඉඩකඩ ඇති බව පෙනේ. ත්‍රිරෝද රථ පිටුපස ප්‍රදර්ශනය කරමින් ඒවා පිටුපස ගමන්ගන්නා සාමාන්‍ය ජනයාට ලබා දෙනු ලබන උපදෙස්, ඉංග්‍රීසි, සිංහල, දෙමළ යන භාෂාවලින් තිබෙනු අපට පෙනේ.

ඇතැම් උපදේශයක් හෝ කියමනක් සිංහල, ඉංග්‍රීසි මිශ්‍ර බසින් ද සිංහල ඉංග්‍රීසි එක්කොට තැනූ සිංග්ලිෂ්වලින් ලියැවී තිබේ. ලියා ඇති කියමන්වල උචිතානුචිතභාවයක් ඇත්තේම නැත. ඒවා හරියට, ඇතැම් වෙළඳ භාණ්ඩ හෝ වෙ‍ෙළඳ සල් සඳහා තබා ඇති නම් ගම් පරිද්දෙනි. සිදුහත් ලොන්ඩ්‍රි, විමලා ග්‍රයින්ඩින් මිල්ස්, නිසංසලා හඳුන්කූරු, සුමුදු හාඩ්වෙයාර්ස් එලෙස මතකයට නැඟෙන නම් කිහිපයක් පමණි.

පසුගිය දිනෙක, කොළඹ, ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය පසුකරමින් ගමන්ගත් මොහොතක, ඉදිරියෙන් ධාවනය වූ ත්‍රිරෝද රිය පිටුපස මේ වැකිය ඉංග්‍රීසියෙන් ලියා තිබුණේ මෙසේයි. Life is sort - Enjoy is soon. මේ කිනම් අපබ්‍රංසයක් ද කියා තේරුම් ගැනීමට මම දහඅතේ කල්පනා කළෙමි.

ත්‍රිරෝද රථ හිමිකරුට අවශ්‍ය කියමන ඩාර්ලි පාරේ සිටින්නෙකුට දී අකුරු ඇලවීමේදී හෝ පින්තාරු කිරීමේදී සිදුවූ වරදක් වන්නට ඇතැයි සිතී එම කියමන ඉංග්‍රීසියෙන් හෝ සිංහලෙන් වටහා ගන්නට මා ගත් උත්සාහය සාර්ථක විණැයි පසුව මට වැටහී ගියේ මේ සිදුවීම මගේ මිතුරකුත් සමඟ පවසා බෙදා හදා ගැනීමෙන් අනතුරුවය.

මේ ත්‍රිරෝද රථ හිමිකරු රියදුරුට හෝ එය පදවන රියදුරුට පවසන්නට අවශ්‍යව තිබුණේ ජීවිතය කෙටියි, එය ඉක්මනින් විඳින්න යන්න විය යුතු යයි මා විසින් උපකල්පනය කරන ලද්දේ එම ඉංග්‍රීසි වචන මෙසේ විය යුතු යයි නිගමනය කිරීමෙන් අනතුරුවය. “Life is short - Enjoy it soon” යන්නෙහි අර්ථයක් ඇත.

ත්‍රීවිලරයේ ඇඳ තිබුණේ short යන්නට sort බවත් it යන්නට is බවත් නොදුටු හිමිකරුවන් තම රථය පිටුපසින් ගමන් ගන්නා අයගේ භාෂා ඥානය පරීක්ෂා කිරීමට හෝ හිතට වද දෙමින් මේ ලියා ඇත්තේ කුමන බහුබූතයක්දැයි විසඳන්නැයි කියා සිටින්නාක් මෙන් ප්‍රහේළිකා ඉදිරිපත් කොට තිබිණි.

ඉංග්‍රීසියෙන් පමණක් නොව සිංහලෙන් වුව විකෘති භාෂා භාවිතය රජා මැරිල්ලක් පමණක් නොව රැජිණ ද මැරිල්ලකි. ඉහත කී ත්‍රිරෝද හිමිකරුගේ හෝ රියදුරුගේ, රජා මැරිල්ල කුමක්ද මෙය නොවේ ද නියම රජා මැරිල්ල යයි, ඔබ සිතනවා නො අනුමානයි, පහතින් මා ඉදිරිපත් කරන මේ කතාව කියවීමෙන් පසුව.

සිද්ධිය සත්‍ය වුවත්, නම් ගම් මනඞ කල්පිතයි. මේ කතාව මට අසන්නට ලැබුණේ 1967 තරම් ඈත කාලයක විද්‍යෝදය විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි වකවානුවේදීයි. පිරිවෙන් විශ්වවිද්‍යාල යයි නම්කොට තිබූ විදුදය - විදුලකරට ප්‍රථම වරට ශිෂ්‍ය මානවිකාවන්ට දොරටු විවෘත වූයේ 1966 – 67 අධ්‍යයන වර්ෂයේ විය යුතුය. ඩඩ්ලි සේනානායක අගමැති වූ එකල අධ්‍යාපන ඇමැති වූයේ අයි. එම්. ආර්. ඒ. ඊරියගොල්ලය.

විදුදය විදුලකරට ශිෂ්‍යාවන්ගේ ආගමනය කතරකට වැසි වැටුණා හා සමාන වූ බවක් පෙනුණේ, නුගේගොඩ අවට බාලිකා පාසල් සිසුවියන්ට වැඩිපුර පෙම්කරන්නට පුරුදුව සිටි උපාධි අපේක්ෂකයන්ට සරසවිය තුළම නිදහසේ පෙම් කරන්නට සම වයසේ බාලිකාවන්, තරුණියන් හමුවීම නිසායි. විදුදය සරසවි පරිසරය තුළ අපූරු සුන්දර බවක් ඇති කිරීමට, එවකට උප කුලපති ආචාර්ය වල්පොල රාහුල හිමියන් උත්සාහ ගත්තේ සෝර්බෝන් වැනි විශ්ව විද්‍යාලයක දී උන්වහන්සේ ලත් අත්දැකීම් ද මනාව මිශ්‍රකොට ගැනීමෙනි. ශිෂ්‍ය මානවක මානවිකාවන්ට ප්‍රේමයද අත්‍යවශ්‍ය බව උන්වහන්සේ දැනසිටියාක් මෙන් ගස් සෙවණක හිඳ කතාබහ කරන්නට, සෙවණ සඳහා ගස් සරසවිය පුරා වවන්ට කටයුතු කළ ආකාරය මතකය.

මෙලෙස පෙම්කරන්නට පටන් ගත් අපේ මිත්‍රයකු ප්‍රේමයෙන් ඇලී වෙළී සිටියේ දකුණේ පාසලකින් පැමිණි තරමක කළු කෙල්ලක් සමඟය. මිත්‍රයා, ප්‍රේමසිරි යයි ද ඔහු ගේ පෙම්වතිය සීතා යයි ද සිතමු. කැන්ටිමේදී පෙම්වතුන්ගේ සුළං කපොල්ලේදී, මේ පෙම් යුවළගේ ප්‍රේමාලිංගන දැක සිටි අපි මවිතයට පත්වී සිටියෙමු. පෙම්වතියගෙන් තොර ලෝකයක් ඔහුට නැති තරම් විය. ඉඳහිට විවේකයක් ලද මොහොතක තෙල්බැම්මේදී ඔහු කියූ කතාවයි මේ. “මචං කොහොමද මගේ සීතා” අපේ කණ්ඩායම කීවේ නරක නෑ කියා පමණි.

“බ්ලැක් වුණාට සෙක්සිබල් නේද” ඒ ඔහුගේ විශේෂණයි. මා අන්දුන්කුන්දුන් වූයේ මේ කිනම් ඉංග්‍රීසියක්දැයි කල්පනා කරමිනි. ඔහුට පවසන්නට ඕනෑ වූයේ තම පෙම්වතිය කළු වුවත් ටිකක් රාගික පාටයි කියා විය යුතුයි. Dark හා sexy යන වචන මිස Black හා Sexyble යයි හැඳින්වීමක් නැති බව මම දැන සිටියෙමි. ඔහු අපගෙන් ඈතට ගිය පසු අපි හැම සිනාසුණේ ඒ ඉංග්‍රීසියට රැජිණගේ ඔටුන්න බිම වැටෙන්නට ඇතැයි කියමිනි.