සංස්කෘතික පාරම්බෑම සහ මහදැනමුත්තෝ

පසුගිය දා ප්‍රධාන පෙළේ සති අන්ත පුවත් පතක මුල් පිටුවේ ම සඳහන් වූ පුවතක් මසිත කම්පනයට පත් කළේ ය. එහි සඳහන් වූයේ උඩරට පාසලක බාලිකාවන් 43 දෙනෙක් වසරක් තුළ දී ගැබ් ගෙන ඇති බව සමීක්ෂණයකින් සොයාගත් බවයි. එසේ ම එම සමීක්ෂණයෙන් අනාවරණය වී ඇති තවත් කරුණක් වූයේ කොළඹට නුදුරු පාසලක ශිෂ්‍යාවන් පස්දෙනකු විවාහ වී පාසල් අධ්‍යාපනය ලබන බවයි.

පුවත්පත සඳහන් කරන ආකාරයට මෙම සමීක්ෂණය සිදුකර ඇත්තේ බ්‍රිතාන්‍යයේ ක්‍රීඩා වෛද්‍ය ඒකකයේ විශේෂඥ වෛද්‍ය ‘අසංග විජයරත්න’ මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු ‘ස්කොට්ස්ඔර්බිට්’ සංවිධානයේ ආසියානු අංශයේ අනුග්‍රහයෙනි.

දිවයින පුරා පාසල් ආශ්‍රිතව මෙම සමීක්ෂණය සිදු කර ඇති අසංග විජයරත්න මහතා ප්‍රමුඛ කණ්ඩායම පාසල් ශිෂ්‍යාවන් මෙවන් ඛේදනීය තත්ත්වයකට පත්වීමට බලපාන ප්‍රධාන හේතු ද අනාවරණය කරයි. ඒ අනාවරණයට අනුව නූගත් බව, දිළිඳු බව, මාපිය රැකවරණ නොලැබීම, අන්තර්ජාල භාවිතය හා ලිංගික අධ්‍යාපනය පිළිබඳ අවබෝධයක් නොමැති වීම වැනි හේතු කාරණා සඳහන් ය.

අපි කොහොමටත් අපේ හැදියාව, සංස්කෘතිය ආදිය අතිශයෝක්තියට නංවන ජාතියක් වෙමු. මාධ්‍ය වෙතින් ලැබෙන ඉඩප්‍රස්තා ප්‍රයෝජනයට ගෙන අපේ හැදියාව උත්කර්ෂයට නංවන මහදැනමුත්තන්ගේ කතා නිරතුරුව ම අසන්නට ලැබේ.

උහු අපේ හැදියාව ඉපැරැණි සංස්කෘතිය ආදියේ ගුණ වරුණ දෙසා බාමින් අපරදිග ඇත්තන්ට ද උසුළු විසුළු කරත්. අපේ රටේ ම සුළු ජාතීන්ගේ ඇවතුම් පැවතුම් ද හාස්‍යයට ලක් කරත්. පාසල් ළමයි ද මේ කතා ධාරණය කරගෙන රචනා ආදිය ලියන විට අර ඇත්තන් මාධ්‍යයෙන් දෙසා බාන කරුණු කාරණා ඒ අයුරින් ලියත්. ජීවිතය ගැන වැදගත් දේ කියාදෙන අය අපේ සමාජයේ හිඟ බැවින්දෝ සිය වටිනා ජීවිත අකල්හි අවාසනාවන්ත කර ගනිත්.

මෙම සටහන ලියන දිනයේ ම මාධ්‍ය වාර්තා කළේ ඛේදනීය සිද්ධියකි. ඒ රාගම වෛද්‍ය පීඨයේ වෛද්‍ය ශිෂ්‍යයකු හා ඔහුගේ පෙම්වතියගේ ශෝචනීය මරණය පිළිබඳ කතාවයි. වෛද්‍ය ශිෂ්‍යයාගේ පෙම්වතිය රෝහල් ගත කර ඇත්තේ දිවිනසා ගන්නට තැත් කළ නිසා ය. පෙම්වතිය බලන්නට වෛද්‍ය ශිෂ්‍යයා ගියේ කිරිපැකට්ටුවක් ද රැගෙන ය. සිය පෙම්වතා දුන් කිරි පැකට්ටුව පානය කළ තරුණිය අවසන් ගමන් ගියා ය. මරණය කැඳවන හලාහල විස කිරිවල අන්තර්ගතව තිබිණි.

ඉන්පසු පෙම්වත් වෛද්‍ය ශිෂ්‍යයාගේ මළ සිරුර සොයා ගැනුණේ කුරුණෑගලනි. ඔහු මාරාන්තික සයනයිඩ් සිය සිරුරට එන්නත් කර ගෙන තිබිණි. සරසවි සිසුවා ජීවත් වූ ප්‍රදේශයෙන් මට අසන්නට ලැබුණු තොරතුරුවලට අනුව ඔහු බොහෝ දේ උපයා ගෙන ඇත්තේ අන්තර්ජාලයෙනි. සිය දිවිය මෙන් ම ඇගේ දිවිය කෙළවර කරන්නට අවශ්‍ය විස පිළිබඳ තොරතුරු ලබා ගන්නට ඇත්තේ ද බොහෝ විට අන්තර්ජාලයෙනි. නූතන යුගයේ ඉටු මිතුරකු වන අන්තර්ජාලය ද වැරදි භාවිතයෙන් සතුරකු විය හැක.

පසුගිය කෙටි කාලය තුළ මාධ්‍ය වාර්තා කළ ඛේදනීය තොරතුරු එක් කළ ද අපේ සමාජයේ සිය දිවි හානි කරගන්නේ, මිනිස් ඝාතනයේ යෙදෙන්නේ නූගතුන් පමණක් නො වන බව තහවුරු වනු ඇත. කොහොමටත් ආවේග පාලනය, ගැටුම් කළමනාකරණය ආදිය අපේ පාඨමාලාවලට බෙහෙවින් දුරස්ථ ය. ඉ'දින් තිබුණ ද ප්‍රමාණවත් නැත. අප මහා සංස්කෘතිය පිළිබඳ පුරසාරම් ඇද බෑවත් මිනිස් ජීවිතයේ වටිනාකම් අන්තයට ම පිරිහීමට පත් ව ඇත.

අපේ පාසල් සිසු සිසුවියන්ට ප්‍රාමාණික ලිංගික අධ්‍යාපනය ලබා දිය යුතු ය යන හඬ නැඟෙන්නේ අද ඊයේ පටන් නො වේ. කලක සිට ය. එහෙත් වගකිවයුත්තෝ නෑසූ කන්ව සිටිත්. විෂය මාලාවලින් සාකච්ඡා කෙරෙන ලිංගිකත්වය යෞවන දිවි සරු කරගන්නට ප්‍රමාණවත් නො වේ.

කොහොමටත් විධිමත් අධ්‍යාපනයෙන් බැහැරව ලැබෙන ලිංගික දැනුම අතිශයෝක්තියෙන් ගහණය. කෝට්ටේ කාන්තාවන්ගේ රූසිරිය අතිශයෝක්තියට නංවන තොටගමුවේ සිරිරහල් හිමියෝ මෙසේ පවසති.

”සිසිවන වුවන ඉඟ සුඟ ගත හැකි මිටින
නිසි පුළුලූකුල රිය සක යුරු තිසර තන”

මිටින් ගත හැකි ඉඟ, කරත්ත රෝදයක් වැනි පුළුල් උකුළ, මෙවන් කතුන් මිහිපිට නම් සිටිය නොහේ. අවාසනාවකට මෙන් අද අන්තර්ජාලය හා ඇතැම් සඟරා ආදියෙන් ද හුවා දක්වන්නේ අසමාන රූසිරියෙන් යුතු කාන්තා රූපයෝ ය. සැබෑ ලෝකයේ ජීවත්වන කාන්තාවන් හා මේ නිරූපිකාවන්ගේ කැමරා ඇස්බැන්දුම් මඟින් මවන ලද රූපය බොහෝ පරස්පරය. ඉතින් අහිංසක යෞවනියෝ ද මෙවන් රූසිරි සිය සිරුරට ආරෝපණය කරගන්නට වෙහෙසෙති.

ශක්තිය උදෙසා ආහාරපාන ඇවැසි යෞවනයේ නො කා නො බී දුක් වළඳති. යෞවනයන්ගේ තත්ත්වය ද වෙනස් නැත. කුතුහලයෙන් පිරි ලිංගික වෙළෙඳ ලෝකය සොයා යන උහු විශාල පුරුෂේන්ද්‍රියන්ගේ සේයා රූ දකිති. එවන් අවයව තමන්ට නැති වීම පිළිබඳ දුක්වෙති. පත්තරවල දැන්වීම් දමන ඊනියා හොර වෙදුන්ගේ බෙහෙත් වට්ටෝරුවල පිහිට පතා අමාරුවේ වැටෙති. සත්‍ය පෙන්වා දී යොවුන් පරපුර බේරා දෙන්නට උපදේශකයෝ අපේ සමාජයේ හිඟ වෙත්.

ආදරය ද වැරදි උත්කර්ෂයකට නංවා කියා දී තිබේ. බොළඳ නවකතාවලින් හා වෙනත් මාධ්‍යවලින් පෙන්වා දුන් ආදරයේ විචිත්‍ර චින්තාව සොයා යන්නෝ දිවි කතරේ අතරමං වෙත්. ඛේදවාචක සිදු වූ විට එය තළු මරන මාධ්‍ය විසින් ම දින දෙක තුනකින් ඒ ඛේදවාචකය අමතක කොට දැමෙයි.

සංස්කෘතිය ගැන පාරම්බාමින් අප යන වැරදි මාවත දැන් වත් නිවැරදි විය යුතු ය. ජීවිතයේ මඟහසර නිවැරදිව කියා දෙන්නට වෙර දරන ගුරුවරුන්, උපදේශකයන් වෙත් නම් ඔවුනට දිරි දිය යුතු ය. පාසල්වල ශිෂ්‍ය උපදේශනය මීට වඩා පුළුල් විය යුතු ය. ඉඳින් එවන් ව්‍යායාමයන් තුළ හෙට දවස වඩා අර්ථවත් වනු ඇත.
 

මහානාම දුනුමාල
[email protected]