පට්ටල්කාරයාගෙන් හෙළි වූ හාරලක්ෂෙ මංකොල්ලය

ඩීමන් ආනන්ද ගැන මම ලියපු තීරු ලිපියේ හාරලක්ෂ මංකොල්ලය ගැන සඳහන් කර තිබුණා ඔබට මතක ඇතැයි මම හිතනවා. ඩීමන්, වැල්ලම්පිටිය හන්දියේ තිබුණ ජේම්ස් සෙනෙවිරත්න ගේ මිනී පෙට්ටි සාප්පුවට නිතර ආගිය කෙනෙක් කියලත් එහිලා කියැවුණා. ජේම්ස් සෙනෙවිරත්න තමයි හාරලක්ෂෙ මංකොල්ලයේ ප්‍රධාන මොළකාරයා.

1949 ජනවාරි 31 වැනිදා සිදුවුණු හාරලක්ෂ මංකොල්ලය (ටර්ෆ් ක්ලබ් කොල්ලය) අපේ රට තුළ මහත් ආන්දෝලනයක් ඇති කළ සංසිද්ධියක්.

හාරලක්ෂ මංකොල්ලය ගැන පොතක් ලියැවී තිබෙනවා. එහි පිටපත් හුඟක් දුර්ලභයි. ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී තිලකරත්න කුරුවිට බණ්ඩාර ළඟ තිබුණු පිටපතක් මම මේ ලිපිය සඳහා පරිශීලනය කළේ.

හාරලක්ෂ මංකොල්ලයත් එක්ක තවත් මං කොල්ලයක් ඈදෙනවා. ඒ වයිට් හවුස් මිනීමරුම. ඇත්තට ම ඒකක් අනිකේ ප්‍රතිඵලයක් විදියට තමයි ඇතිවන්නේ. හාරලක්ෂ මංකොල්ලය ඉතා සූක්ෂමව සැලසුම් කළ එකක්. ඇත්තටම ඒ සූක්ෂමත්වය නිසා ඊට සම්බන්ධ වුණු අයට හාරලක්ෂයක මුදලක් තෑගි වශයෙන් දුන්නත් වටිනවා කියන එකයි මගේ හැඟීම.

මංකොල්ලකාරයන්ට රියැදුරු ජෝන් සිල්වා මැරීමේ වුවමනාවක් තිබුණේ නැහැ. ඒත් අනපේක්‍ෂිත අයුරින් ඒක ඒ විදියට සිද්ධ වුණා. ඔය ජෝන් සිල්වාගේ පුතා කාලයක් තම නිවෙසේ සිටි බව මහාචාර්ය සුනිල් ආරියරත්න මාත්තෙක්ක කියලා තියෙනවා. ඔහු පසු කාලෙක පැවිදි ජීවිතයක් ද ගත කර තිබෙනවා.

හාරලක්ෂෙ මංකොල්ලයේ විත්තිකරුවන් උසාවියට රැගෙන ගිය අයුරු

රත්නපුර ප්‍රදේශයේ යුරෝපීය වතු පාලකයකු වන වයිට් හවුස් මහතා තම වත්තේ සේවකයන්ට පඩි ගෙවීම සඳහා රුපියල් 35දාහක මුදලක් කොළඹ බැංකුවක ඉඳන් ගෙන එමින් සිටියදී රත්නපුරට නුදුරින් හිදැල්ලන නමැති ගමේ කරපිංචා පාලම අසලදී ඔහුව මරා පැහැර ගන්නවා. මේ මිනීමැරුම සිදුකරන්නේ ලෑතර බාස්. (ඔහු ජේමිස් සෙනෙවිරත්නගේ මස්සිනා) මෙයින් ලෑතර බාස් රිමාන්ඩ් භාරයට පත්වෙනවා. සෙනෙවිරත්න හාරලක්ෂේ මංකොල්ලය සැලසුම් කරන්නේ තම මස්සිනා බේරාගන්න.

කොළඹ තුරඟ තරග පිටියේ සෙනසුරාදා පැවැත්වෙන තරගවලින් ලැබෙන සල්ලි කොළඹ කොටුවේ බැංකුවක තැන්පත් කරන්නේ සඳුදා. ඒ සල්ලි බැංකුවට ගෙනියන්නේ කොටුවේ එක්තරා ගරාජයක වාහනයකින්. කුරුඳුවත්ත පොලිසියේ පොලිස් පරීක්ෂකවරයකු කැටුව තුරඟ තරග පිටියට එන මෝටර් රිය ටර්න් ක්ලබ් කැෂියර්වරුන්ගේ භාරකාරත්වය යටතේ සල්ලි බැංකුවට ගෙනියනවා. මෙහිදී ආරක්ෂාව සඳහා ටර්න් ක්ලබ් වෑන් එකක් ද රථය පිටුපසින් ගමන් කරනවා.

සෙනෙවිරත්නගේ ප්ලෑන් එක වෙන්නේ මේ මුදල් කොල්ල කෑමයි. ඒ සඳහා ඔහු තවත් කීපදෙනෙකුගේ සහාය ලබා ගන්නවා. එනම්; විජේදාස, රාජපක්ෂ වෙදමහත්තයා සහ මුණසිංහ යන අයයි. ඔවුන් මේ මංකොල්ලය කුමන්ත්‍රණය කරන්නේ සෙනෙවිරත්නගේ මිනීපෙට්ටි සාප්පුවේ ඉඳන්. රාජපක්‍ෂ මෙයට වීරසිංහ නමැති පට්ටල්කාරයෙක් ද සම්බන්ධ කර ගන්නවා.

සොරකමින් පසු සල්ලි ගෙවන්නේ මාස හයකට පසුව බව සෙනෙවිරත්න සගයන්ට කියද්දී වීරසිංහ ඊට විරුද්ධ වෙනවා. වීරසිංහ වැන්නකු මෙවැනි කුමන්ත්‍රණයකට එක්කර ගැනීම සම්බන්ධයෙන් සෙනෙවිරත්න රාජපක්‍ෂට දොස් පවරනවා. වීරසිංහ වෙනුවට රූපානන්ද නමැත්තකු යොදවා ගන්නේ ඉන් අනතුරුවයි.

1949 ජනවාරි මස 29 වැනි දින සැලසුමට අනුව රූපානන්ද ගරාජයට ගොස් රුපියල් 50ක අත්තිකාරම් මුදලක් දී පුත්තලමට යෑම සඳහා වාහනයක් වෙන්කරවා ගන්නවා. ඊට පසුව රූපානන්ද, මුණසිංහ සමඟ ගරාජයට ගොස් මෝටර් රිය ලබා ගන්නවා. Z 6033 දරන චවලට් රියක්. රියැදුරු වන්නේ කුරුවිටගේ ජෝන් සිල්වා. තොටළඟ වික්ටෝරියා පාලම අසලදී විජේදාස රථයට ගොඩ වෙනවා.

මේ අතර සෙනෙවිරත්න හා රාජපක්‍ෂ CE 757 දරන කුඩා ස්ටැන්ඩර්ඩ් වර්ගයේ මෝටර් රියකින් පුත්තලම බලා පිටත් වෙනවා.

ජෝන් සිල්වා ගේ මෝටර් රිය අනුරාධපුර පාරේ පුත්තලම් 13/4 දරන බෝක්කුව වෙත ළඟාවෙද්දී විජේදාස බඩේ කැක්කුමක ව්‍යාජයක් පා රිය නවත්වා ගන්නවා. ඒ අතර කැලයේ සිට කඩා වදින සෙනෙවිරත්න හා රාජපක්‍ෂ රියැදුරාව කැලයට පැහැර ගෙන යනවා. ඔවුන් දෙදෙනාම සිටින්නේ වෙස්වළාගෙන. ඔවුන් රියැදුරා ගසක බැඳ ගෑස් මුහුණක් පලඳවනවා. ඔහු මිය යන්නේ එහි ප්‍රතිඵල වශයෙන්.

31 වැනි දින උදේ මරදානේ හෝටලයකින් ගරාජයට දුරකථනයෙන් කතා කරන රූපානන්ද ටර්ෆ් ක්ලබ් වෙත එවන මෝටර් රිය මෙදින මඳක් ප්‍රමාදකොට එවන මෙන් ඉල්ලා සිටිනවා. ජෝන් සිල්වා මරා පැහැර ගත් මෝටර් රියේ නැඟී රියැදුරු ලෙස විජේදාසත් පොලිස් පරීක්ෂක ලෙස මුණසිංහත් තුරඟ තරග පිටියට එනවා. ලක්ෂ හතරේ ට්‍රන්ක් පෙට්ටිය රියට දමන කැෂියර් වරයා තවත් කැෂියර්වරුන් දෙදෙනකු සමඟ රියට ගොඩ වෙනවා.

මෝටර් රිය කොළඹ කෞතුකාගාරය ආසන්නයට ‍ෙවද්දි මුණසිංහ කෑෂියර්වරුන්ට රිවෝල්වරයක් එල්ලකොට ඔවුන් බිය වද්දනවා. ඒ සමඟම මෝටර් බයිසිකලයක එන සෙනෙවිරත්න හා රාජපක්‍ෂ මෝටර් රියට කඩා වැදී මුදල් පෙට්ටිය සොරකම් කරගෙන වෙනත් රියක නැඟී පලා යනවා. අලුත්කඩේ සාංචි ආරච්චිගේ වත්තට පැමිණෙන හොරු එහි වේලු නමැත්තකුගේ නිවෙසක මුදල් සඟවා රථය නොරිස් පාරේ අතහැර දමනවා.

1949 පෙබරවාරි 04 වැනි දින පැවති නිදහස් සමරු උත්සවයට සහභාගි වන වීරසිංහ නමැති පට්ටල්කාරයා අදාළ මංකොල්ලය දැනගන්නේ පුවත්පත් මාර්ගයෙන්. රාජපක්ෂ සොයා ගොස් සල්ලි ඉල්ලනවා. එහිදී රාජාගේ පිළිතුර වන්නේ සල්ලි දෙන්නේ තෙමසක් ගතවූ පසුව බවයි. මංකොල්ලය පිළිබඳ ඔත්තු සපයන අයට රුපියල් 20 දාහක මුදලක් දෙන බවට රජය නිවේදනය කරන්නේ මේ අතර. වීරසිංහ පොලිසියට ඔත්තුව දෙනවා. හොරුන් එකිනෙකා හසුවන්නේ ඒ අතර. තුන්වැනි විත්තිකරු වන රාජපක්‍ෂ රජයේ සාක්‍ෂිකරුවකු වශයෙන් පෙනී සිටිනවා. සෙනෙවිරත්න, රාජපක්‍ෂ, මුණසිංහ හා විජේදාස යන සිවුදෙනා පෝරකයට නියම වෙනවා.

හාරලක්ෂෙ මංකොල්ලය ඇසුරෙන් ටයිටස් තොටවත්ත අධ්‍යක්ෂණය කළ චිත්‍රපටය (හාර ලක්සෙ) විශිෂ්ට සිනමා නිර්මාණයක්. එය අනිවාර්යයෙන්ම මෙරට හදපු හොඳම චිත්‍රපට දහයෙන් එකක්.