ටී.එම්. ජයරත්න නම් වූ භාෂා වාදකයා

ටී‍‍.එම් ජයරත්නයෝ හෙළ සංගීතයේ ඉසවු රැසක වෙසෙසි සමත්කම් පෑ මියැසි වෙසරදාණ කෙනෙකි. ඔහු වයලීනය හැසිර වූ අයුරු මෙන් ම ගායනයේ දී මධුරත්වය සමඟ මතු කළ නිරිව්‍යාජත්වය ශ්‍රෝතෘන් ආස්වාදජනක උසස් වින්දන තලයකට ගෙන යාමට සමත් විය. ඔහු මෙහි දී පෑ සිනහව නිර්ව්‍යාජත්වයේ පිළිබිඹුවක් විය‍.

ගුවන් විදුලි මාධ්‍ය ටී.එම්. තම ශිල්ප දක්ෂතා ඉදිරිපත් කළ පළමු මාධ්‍ය වුව ද රූපවාහිනි මාධ්‍යයෙන් ද, ප්‍රාසාංගික වේ‍දිකාවෙන් ද පසුව ඔහුගේ ශිල්පීය දක්ෂතා හා සාත්වික අභිනයන් ද දැක ගත හැකි විය. මේ අනුව ටී.එම්. ගේ කුසලතා ඇගයීමට පාත්‍ර කිරීමේ දී ‍'ශ්‍රෝතෘ' යන්න වැදගත් වදනකි. ශ්‍රවණය කරන්නේ (අසන්නේ) යනු 'ශ්‍රෝතෘ' යන්නෙහි අර්ථයයි.

'කියූවක් නම් අසන්නේයැ. ලියූවක් නම් බලන්නේයැ. ලියවෙනුයෝ ද කියැවෙන දෑමයැ. එහෙයින් ගීතයක් අසන බලන දෙපක්ෂයමැ. ශ්‍රෝතෘ නා‍මයෙන් ගැනීම යෙදේ'

ටී.එම්. ගේ ගැයුමේ දී හ‍ඬෙහි මිහිරත් සාත්වික අභිනයත් ප්‍රාසාංගික වේදිකාවේ දී මෙන් ම රූපවාහිනී තිරයෙන් ද ශ්‍රෝතෘන් ලෙස එකසේ අපි රස වින්දෙමු.

ටී.එම්. තමන්ට ම අනන්‍ය වූ ගායන විලාසයක් ගොඩනඟා ගත් ගායන ශිල්පියෙකි. අභ්‍යාසයෙන් දියුණු කරගත් ස්ථිර භාවයට පත් ශක්තියක් ඔහුගේ හඬ හැසිරවීමේ දී දක්නට ලැබේ. ගීතයක ශ්‍රවණය ප්‍රියකර වූ ශබ්ද පරම්පරාව හසුරුවා ගැනීමේ දී ඔහු භාෂා වාදයකයකු බව පෙන්නුම් කරයි.

වයලීනයේ අළුව ස්වර සාධනයේ දී ශූර ලෙස හසුරුවා ගන්නා වයලීන වාදකයකු සේ ම ඔහු භාෂාව වාදනය කරමින් ගීතයක මාධූර්ය ගුණය තීව්‍ර කරයි. මේ අනුව ඔහු භාෂා වාදකයකු බව ඉඳුරාම කිව හැකි ය.

ජන ගීත, සරල ගීත, සරල ශාස්ත්‍රීය ගීත, වශයෙන් විවිධ වූ ගීත සමුදායක් දශක හතරකට වැඩි කාලයක් තුළ ටී.එම්. ජයරත්න නමැති මියැසු වෙසරදාණන් මුවින් ස්වර සුගායනීය වාදනයක් බවට පත්විය. ගායකයකුට දශක හතරකට වැඩි දිගු කලක් එකසේ ස්වකීය ගායන හැකියාව පවත්වා ගැනීමට හැකිවන්නේ කලාතුරකිනි. එම වාසනාව ටී.එම්. ජයරත්න ශූරින්ට ලැබී තිබේ. ඔහුගේ පුද්ගල දිවියේ හා සංගීත දිවියේ දක්නට ලැබෙන 'සංයත දාන්ත' භාවය මේ සඳහා බලපා ඇත.

ඔහුගේ සංගීත ශිල්පය සලකා බැලීමේදී මෙම සංයත දාන්ත භාවය වමර්ශනයට පාත්‍ර විය යුත්තකි.

ගීත පද රචනයකින් මතු කෙරෙන දයාව - ප්‍රේමය යනාදිය දැඩි සංයත ස්වරයකින් යුතුව ඔහු ඉදිරිපත් කරයි.

මගේ පුද්ගල දිවිය හා බැඳි මා නිතරම මුමුණන ගීත කීපයක් ම ටී.එම්. ගේ ගීතාවලියට අයත් ය.

'අම්මා සඳකි - මම ඒ ලොව

හිරුය රිදී

ඒ ඉර හ‍ඳෙන් නුඹෙ ලෝකය

එළිය වුණි

රැකුමට පුතුන් දිවියේ දුක්

ගැහැට විදී

පිය සෙනෙහසට

කව් ගී ලියවුණා මදි'

එම අර්ථපූර්ණ ගීතය මෙන් ම මේ අර්ථපූර්ණ ගීතය ද මගේ මතකයට නැඟේ.

සොඳරු අතීතයෙ

නිමල පැතුම වී

මගෙ හද තුළ ඔබ

ඉන්න ඇති

ඒ හින්දා යළි

සෙනෙහ සිතින් අපි

ආදරයෙන් හමු වෙන්න ඇති

කඳුළු සුසුම් මැද

සතුටු සිනා මැද

භවය පුරා ළඟ ඉන්න ඇති

එදත් මගේ හිත

අද මෙන් කැප වී

ඔබේ නමට

පුද දෙන්න ඇති

ගීත රචනයේ සහජ කුසලතා පිහිටි බිරිඳ මාලිනි රණසිංහ ගෙන් ලද නොමඳ පිටුබලය මෙහි දී අවධාරණය කළ යුත්තකි. බිරිඳ මාලිනි ඔහු ලද වාසනාවකි.

ටී.එම්. ජයරත්නයන්ගේ වින්දන මූලය බවට ඉහත ගී පද රචනා මාලිනියගේ හද පබඳ ලෙස හැඳින්විය හැකි ය.

මාලිනී රණසිංහ කිවිඳියගේ පද පබඳින් මතු කෙරෙන සුබෝධත්වය හා බැඳි භාෂාත්මක ලක්ෂණ ගීත රචනා සලකා බැලීමේ දී වෙසෙසි විමසුමට ලක්විය යුත්තකි.

සිංහල සංගීත සංස්කෘතිය මානවවාදී එකක් විය යුතු ය. මෙම මානවවාදී ලක්ෂණ පැහැදිලි වන ගීත වශයෙන් ඉහත ගී පද උදාහරණ වශයෙන් දැක්විය හැකි ය.

මානවවාදයෙන් මිනිසාගේ වැදගත්කම දයාව - කරුණාව - සමානාත්මතාව වැනි තේමා උද්දීප්තියට පත් වෙයි.

මානවවාදය අවප්‍රමාණයට ලක්ව ඇති යුගයක මෙබඳු ගීත ඉදිරි පරපුරේ සේවනයට යොමු කිරීම වැදගත් ය.

සිංහල සංගීත ඉතිහාසය පිරික්සුමේ දී විවිධ යුගවල විවිධ සංගීත සංකථන බිහි වූ අයුරු දැක ගත හැකි ය. නවසිය හැට හැත්තෑ ගණන්වල දී ප්‍රචලිතව පැවති සංකථනයට මුල් වූයේ ජන ගීය උත්තර භාරතීය රාගධාරී සංගීතය සිංහල සංගීතයක් ගොඩ නැඟීමේ දී කුමන ආකාරයෙන් උපයෝගී කර ගත යුතු ද යන්නයි. ඩබ්ලිව්. බී. මකුලොළුව, සී. ද එස්. කුලතිලක බඳු සංගීත ප්‍රාඥයන් තර්ක ‍කළේ සිංහල සංගීතය සකස් විය යුත්තේ අප ගැමි සංගීතය පදනම් කොට ගෙන බවට ය.

එදිරිවීර සරච්චන්ද්‍ර, අමරදේව වැනි සංගීතත ප්‍රාඥයන්ගේ තර්කය වූයේ උත්තර භාරතීය රාගධාරී සංගීතයෙන් ආභාසයක් ලද යුතු බවකි. කේමදාස වැනි සංගීතවේදීහු මෙම සංගීත සංකථනයේ දී බටහිර සංගීතයේ වැදගත්කම හුවා දැක්වූහ. ටී.එම්. ජයරත්න මහතා මෙම සංකථනයේ යෙදුණේ ය. සෑම පාර්ශ්වයක් සමඟ සමීප වූ සුහදතාවක් ගොඩනඟා ගනිමින් මෙම කිසිදු පාර්ශවයකට නොගැතිව සිය කුසලතා උපයෝගී කර ගැනීමට ඉඩදුන් ස්වාධීන ගායන ශිල්පියෙක් වශයෙන් ඔහු හැඳින්විය හැකි ය.

හෙළ සංගීත රටාව අපේ නාට්‍ය සංගීතයට දැඩි ලෙස බලපෑම් කළ යුගය 1966 වසරයි. මෙම වසරේ බිහි වූ ප්‍රවණතාවයට මූලික හේතුවක් වූයේ ඩබ්ලිව්.බී. මකුලොළුව මහතාගේ දෙපානෝ සංගීතමය නාට්‍යයයි. මකුලොළුව මහතා අපේ ම පැරණි ගැමි ගී තනුවලට නව ජීවයක් දී එයින් සංගීත විකාශනයක් ඇති කිරීමට උත්සුක විය. 'දෙපානෝ' නාට්‍යයේ දී මෙන් මකුලොළුව මහතාගේ සෙසු සංගීතමය අත්හදා බැලීම්වල දී ‍ටී.එම්. ජයරත්න මහතා වෙසෙසි දායකත්වයක් දුන් ශිල්පියෙක් විය. මෙම ව්‍යායාමය තවදුරටත් ඉදිරියට ගෙන ගිය සී. ද එස්. කුලතිලක ශූරීන්ගේ ගුවන්විදුලි පර්යේෂණ ගීත රසහව් මතුකර දීමේ දී ද ටී‍.එම්. ගෙන් ලද පිටුබලය වෙසෙනින් කැපී පෙනෙන්නකි. 'දෑතට වළලු' වැනි ටී.එම්. ගායනා කළ ගීත යුගයෙන් යුගයට ජාතියේ රසහව් මතුකිරීමට ඉවහල් වෙයි.

ජන ගායනයේ එන ප්‍රචලිත සිවුපද විරිත්, සිලෝ විරිත් තුළින් මතුවන වෘත්ත වෛචිත්‍රය ගීතමය උසස් තලයකට ගෙන ඒමට ටී.එම්.ගේ ගායන ශිල්ප විධික්‍රම ප්‍රබල ලෙස බලපානු ලැබී ය.

කවි ස්වරූපයේ ගායනා ගීත ස්වරූපී ගායනා බවට පත් කිරීමේ දී ටී.එම්. ජයරත්න නමැති සංගීතවේදියාගෙන් වූ යුග මෙහෙවර ඓතිහාසික ස්මෘතියේ සදාකල් රැදෙනු ඇත.

අමරදේවයන් ගුවන්විදුලිය ආශ්‍රභූමිය කොට ගෙන කළ නිර්මාණ සංගීත කාර්යයට සේ ම කේමදාසයන්ගේ නිර්මාණ කාර්යයට ද ටී.එම්. ගෙන් වෙසෙසි මෙහෙවරක් සිදු වී තිබේ.

ටී.එම්.‍ ජයරත්න වැනි විරල ගණයේ කලාකරුවන්ගේ කටහඬ මෙන් ම නිර්මාණ ද ඉදිරි පරපුරට රැකදීමේ ජාතික සංරක්ෂණ වැඩපිළිවෙළක අවශතාව පෙනී යයි.

ටී.එම්. ජයරත්න නමැති කලාකරුවා ප්‍රසිද්ධිය පතා වෙසෙසි ආයාසයක නොයෙදුණු පුද්ගල චරිතයක් වශයෙන් කැපී පෙනෙයි.

නිර්ව්‍යාජත්වය හා මානවවාදය ඔහුගේ නිර්මාණ තුළින් මෙන් ම පුද්ගල චරිතයෙන් ද මනාව පැහැදිලි වෙයි. ටී.එම්. සමකාලීන සංගීත සංස්කෘතියේ වෙසෙසි සලකුණකි.

මෙම විරල ගණයේ සංගීතවේදියාගේ ඉදිරි සංගීත දිවියට සුබ පතමි.