මහා පුරුෂයකුගේ බිරිය හමුවී

මහා පුරුෂයෝ වනාහි, දේශයක ජාතියක පිනෙන් පහළවන දුර්ලභ ගණයේ උත්තමයෝ වෙති. මොවුහු තමා උපන් රටට, එහි වෙසෙන ජනතාවට, තමන්ගේ බුද්ධි මහීමයෙන්, ශාස්ත්‍ර ඥානයෙන් වෘත්තීමය දැනුමින් නිර්මාණ කෞශල්‍යයෙන් දැනුම බෙදා දෙති.

ජනතාවගේ රස වින්දනය උදෙසා මෙන්ම ඔවුන්ගේ බුද්ධි මණ්ඩල ප්‍රසාරණය සඳහාද තම කලා නිර්මාණ මගින් ශාස්ත්‍රීය පර්යේෂණ හා පොතපත මඟින් තම ජීවිත කාලය පුරා ජනතාව සමඟ ජීවත්වන මේ මහා පුරුෂයෝ අප අතරින් වියෝ වුවද, අප අතරම තවත් සියවස් ගණනාවක් ජීවත් වෙති. මේ මහා පුරුෂයන්ගේ ඇතැමෙක් මවුබිමෙහි මතු නොව දේශ දේශාන්තරවල අපගේ මේ කුඩා දිවයිනෙහි නාමය රඳවන්නට සමත්වුවෝ වෙති. මේ මහා පුරුෂයන් ජීවත් වු කාලය තුළ ඔවුන්ගේ ජීවිත හා ඉතාම සමීපව ඔවුන් රැකගනිමින්, ඔවුන්ගේ දුක සැප බෙදා ගනිමින් ශරීර සුවය පිළිබඳ කල්පනාවෙන් සිටින්නේ ඔවුන්ගේ බිරින්දෑවරු හා දූදරුවෝ වෙති.

අපගේ දේශයෙහි ජීවත් වු සහ ජීවත්වන බොහෝ මහා පුරුෂයන්ගේ නම් ගම් සමඟ ඔවුන්ගේ ජීවිතයේ අවසාන භාගය තෙක් ඔවුනට උවටැන් කරමින් රැකබලා ගනිමින්, ඔවුන්ගේ ජීවිතයේ සැදෑ සමය අවුලින් තැවුලින් තොරව ගත කරන්නට ඉඩහසර සැලසු හා සලසන කාන්තාවන් පිළිබඳව මගේ මතකය අලුත් වුයේ මෑතකදී අප අතරින් වියෝ වු මහා පුරුෂයකු පිළිබඳ කියවන්නට ලැබුණු තොරතුරුවලිනි.

මාර්ටින් වික්‍රමසිංහ හා ප්‍රේමා ද සිල්වා විවාහ වූ දා

එතුමෝ නම් භාෂා හා සාහිත්‍ය ක්ෂේත්‍රයෙහි පරතරට පත් මහඇදුරු සුචරිත ගම්ලත්හු වම්හ. එතුමන්ගේ අවමඟුල හමාර වී එහි උණුසුම මැකී යන්නටත් පෙර, හද පාරවන නෙක කතා මාධ්‍ය තුළ දක්නට ලැබීම අප සිත් කම්පා කරවන බව කිව යුතුය. හතළිස් වසරක් එතුමන් බලා කියා ගත් පියඹ ශාන්තා පද්මපෙරුම ගම්ලතුන් අවසන් ගමන් ගිය දිනයේ දී අද මුහුණ දුන් අතිශය දුක්මුසු ඉරණම පිළිබඳ තතු මා දැනගත්තේ. පසුගිය සති අන්තයක උපුල් ශාන්ත සන්නස්ගල විසින් සාහිත මං පෙත එළි කළ පැනසර ඇත් රජාණෝය. පෑ නෙක බල සුබස් ආර පිරිසද දත් වෙදාණෝය යනුවෙන් ජාතික පුවත්පතකට ලියන ලද දීර්ඝ ලිපියකිනි. ගම්ලතුන් මිය ගොස් හමාරය.

මේ එළැඹී ඇත්තේ එතුමන්ගේ ශ්‍රී නාමය බෙදා හදා ගැනීමට කැසකවන විවිධ පාර්ශ්ව අතර දියත් වී ඇති සටනක් දැයි මට හැඟුනේ උපුල්ගේ ලිපියෙහි සඳහන් ශාන්ති පද්මපෙරුම ප්‍රියම්බිකාවට අමතරව තවත් ආයතන හා පුද්ගල චරිත සුචරිත ගම්ලතුන්ට හිමිකම් පෑමට ඉදිරිපත් වී සිටින විලාසය දුටු කල්හිය. මගේ මතකයට නැගෙන ජීවතුන් අතර නොමැති මහා පුරුෂ චරිත ඔවුන් සමඟ, ඔවුන්ගේ වියෝව තෙක් ඔවුන් රැක බලා ගත් බිරින්දෑවරු කිහිපපොළක්ම වේ. සැබැවින්ම ඔවුන් තම ස්වාමිපුරුෂයන් රැක බලා ගත් මාතු භාර්යාවෝම නොවෙත් දැයි මට සිතේ. වජිරා විමලා, සුමිත්‍රා, ලලිතා, ශීලා, සුමනා ප්‍රේමා ආදී කාන්තාවන්, චිත්‍රසේන අමරදේව, ලෙස්ටර්, සරත්චන්ද්‍ර, සුගතපාල ද සිල්වා, කේ. ජයතිලක හා මාර්ටින් වික්‍රමසිංහ ආදී මහා පුරුෂයන්ගේ සෙවණැල්ල ලෙසින් ජීවත් වු හා ජීවත්වන බව නොරහසකි. මේ කාන්තාවන් අතරින් අද අප අතර නොමැති එක් සුවිශේෂී කාන්තාවක් හමුවීමේ අපූරු අත්දැකීමක් එදවස සොදුරුමය තීරුවට එක්කරන්නට මට කල්පනා වූයේ මහැදුරු ගම්ලතුන්ගේ පියඹ ශාන්තාවන්ට අත්වු දුක්මුසු ඉරණම හා ඈ එතුමන් රැකබලාගත් අන්දම පිළිබඳ තතු කියැවීමෙන් පසුවය.

මේ බිරින්දෑ නමින් ප්‍රේමා වික්‍රමසිංහ වුවාය. විවාහයට පෙර කතළුවේ ප්‍රේමා ද සිල්වා නම් වු ඕ අපගේ මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහයන්ගේ බිරිඳ ප්‍රේමා වික්‍රමසිංහ වුවාය. එතුමිය තමාගේ ස්වාමිපුරුෂයා මහා පුරුෂයකු මෙන්ම, ශ්‍රී ලංකාව සතු වු අගනාම ජාතික සම්පතක් බව මැනවින් වටහා ගත්තියකැයි මා නිගමනය කළේ, ජීවිතයේ එක් මොහොතකදී හෝ මහා ගත්කරු වික්‍රමසිංහයන් මුණ ගැසෙන්නට ලද දුලබ අවස්ථාවක ඈ හැසිරුණු විලාසයකිනි.

මේ සිදුවීම සිදුවු කාලවකවානුව නිශ්චිතවම මගේ මතකයෙහි නොවූවත් නිසැක වශයෙන්ම 1977 ට පෙර ඊට ආසන්න වසරකදී බව කිව හැකි ය. මෙකල ගුවන් විදුලියේ අධිපතිව සිටි රිජ්වේ තිලකරත්න නම් වු පරිපාලකයා හා කලාකරුවා විසින් හඳුන්වා දෙන ලද විශිෂ්ට ගණයේ ශ්‍රාවක ආකර්ෂණය දිනු ගුවන්විදුලි වැඩසටහනක් වුයේ ඉරිදා රාත්‍රී 7.30ට සිංහල පළමුවන සේවය ඔස්සේ විකාශය වු සඳැල්ල වැඩසටහනයි. ගුවන්විදුලි සංස්ථා සඟරාවේ මේ වැඩසටහන හඳුන්වා දී ඇත්තේ සංවර්ධන සංග්‍රහය සඳැල්ල. සංගීතාංග ඇතුළත් සරල සංග්‍රහයක් යනුවෙනි. සඳැල්ල නිර්මාණය කොට ඉදිරිපත් කරන ලද්දේ එකල ගුවන්විදුලියෙහි ප්‍රවීණයකු වූ මා මිත්‍ර ලූෂන් බුලත්සිංහල විසිනි.

සඳැල්ලට සවන්දීමට ඉරිදා රාත්‍රී 7.30 වන තෙක් ශ්‍රාවකයන් ගුවන්විදුලිය අසල එක්ව සිටි බව ඒ දිනවල රහසක් නොවීය. ලූෂන්ගේ ඇරැයුමින් ඉඳහිට සඳැල්ලට කෙටි නිර්මාණයක් ඉදිරිපත් කරන්නට හෝ අදහසක් පැවසීමට ලත් අවස්ථාවක අගය අපට කියා නිම කළ නොහැකි විය. අදාළ සිදුවීමට මා මුහුණ දුන්නේ ගුවන්විදුලියට ගිය ඉරිදාවක උදෑසන ලූෂන් බුලත්සිංහලගේ කාර්යාලය තුළදී පැවරුණ කටයුත්තක ප්‍රතිඵලයක් ලෙසයි.

එම ඉරිදාවේ උදෑසන ලූෂන් කලබලයෙන් තම මිත්‍ර බන්දුල විතානගේ අමතා ;මසේ කියනු මට ඇසිණ. බන්දුල කෝ අද රෑට ගන්න ෂෙඩුල් කරපු මාර්ටින් වික්‍රමසිංහ මහත්තයාගේ වොයිස්කට් එක. අපි උදෙන්ම එනවා කියලා නේද කිව්වේ. බැරිද දැන්ම ඌහර් (Uhar) එකක් අරගෙන කිරි මණ්ඩල මාවතට දුවලා රෙකෝඩ් කරගෙන එන්න.

ඌහර් යනු බාහිර පටිගත කිරීමේ යන්ත්‍රයක වෙළෙඳ නාමයයි. යන්ත්‍රයද ඒ නමින්ම හැඳින්විණ. බන්දුල ප්‍රවාහන පහසුකම් ලැබෙන තෙක් සිටි විරාමයෙ දී මා ලුෂන්ගෙන් විමසුයේ මටත් ඒ ගමනට එක්විය හැකිද කියායි. ඊට ඔහුගේ විරුද්ධත්වයක් නොවුණු බැවින් බන්දුල සමඟ මමද ගමනට එක්වීමු. කිසිදා වික්‍රමසිංහයන් සැබැවින් දැක නොසිටි මට මෙය වාසනාවක් ලෙස දැනිණි. නාරාහේන්පිට කිරිමණ්ඩල මාවතට අප යනවිට දහවල් දොළහට පමණ ආසන්නව තිබිණි. වික්‍රමසිංහ මැතිනිය අප පිළිගත්තාය. මහා පුරුෂයා සිටියේ ඔහුගේ කාමරයේය. ඔහු අප පැමිණෙන තෙක් බොහෝ වේලා බලා සිටි බවත් පසුව ගුවන්විදුලියට පැවසීම සඳහා ලියාගත් පිටපත ඉරා දැමු බවත් කියැවිණි.

ජීවිතයේ ප්‍රථම වරට මේ මහා පුරුෂයා ජීවමානව දැක ගැනීමට හැකිවීමේ සතුටින් මම පිනා ගොස් සිටියෙමි. වික්‍රමසිංහයන් අපට තැඹිලි වතුර වීදුරුවකින් සංග්‍රහ කොට පමාවීම නිසා අප නොඑතැයි සිතූ බැවින් සටහන ඉරා දැමූ බවත් පැවැසීය. බන්දුල ඇතුළු අප දුර්මුඛව කුමක් කළ යුතු දැයි කල්පනා කරමින් සිටි මොහොතෙහි කාමරයට පියමැන්නේ වික්‍රමසිංහ බිරිඳ ප්‍රේමාවතීය. ඈ අතෙහි කඩදාසි කිහිපයක් විය. මහගත්කරුගේ මුහුණෙහි සිනාමලක් පිපී තිබිණ. අප හදවත්හී මල් දහසක් පිපුණු කලක සතුට ගලා යන්නට විය. ඌහරය ක්‍රියාත්මක වු පසු මහා පුරුෂයා සෙමින් සටහන බලමින් තම අදහස් පටිගත කර ගන්නට ඉඩ හැරියේය. මහා පුරුෂයාගේ බිරිඳ ප්‍රේමා නොවන්නට, පටිගත කිරීමක් සිදුනොවන්නට ඉඩ තිබිණ. අප තැඹිලි වතුර බොන අතරතුරේ ඈ තම ස්වාමි පුරුෂයා විසින් ඉවත ලද කඩදාසි සියල්ල එකිනෙක අවුස්සා ඉරා දමන ලද සටහන සොයා ගෙන නැවත අලුත් කඩදාසියක් මත තබා අලවා ගෙනැත් දුන් බැවින් වික්‍රමසිංහයන්ට තම මුල් අදහස් සඳැල්ලට එක් කිරීමට ඉඩ ලැබිණි. මහා පුරුෂයකුගේ සිතුම් පැතුම් ජීවන රටාව හඳුනා ගත් සැබෑ බිරිඳකට හැර අන් කවරකුට හෝ මෙවන් යුතුකමක් ඉටුකළ හැකි නොවේ. ප්‍රේමා වික්‍රමසිංහ මහා පුරුෂයකු සමඟ ජීවත්විය යුතු සැබෑ බිරිඳක් වු බව මම අදත් අදහමි.