කවුදෑ මේ රෑ

ඉන්න තැනක හොඳින් ඉන්න බලන්න පොඩිහාමුදුරුවනේ යැයි එදා මහණ පිංකම දවසේ ඔක්කෝ ම වැඩ කටයුතු අවසාන වී ගෙදර යන්න යන මොහොතේ කියා ගියාට ඒ නික්මන් ගමනේ මව්සෙනෙහස තාමත් වරින් වර පොඩිහාමුදුරුවන්ගේ හිතින් අදිනවා අදිනවා වාගේ ය. චෛත්‍යය මළුවේ මල් ආසනයේ මල් අස්කර ඈත පාර දෙස බලන පොඩිහාමුදුරුවන්ට උන්වහන්සේගේ අම්මා හසරැල්ලෙන් මුව සරසාගෙන ඇතින් පන්සල පැත්තට එනවා එනවා වගේ ය.

ඇත්තට ම දැන් මේ වෙලාවේ ගෙදර අය මොනවා කරනවා ඇත් ද අක්කා නම් හෙට දවසේ ඉස්කෝලේ පාඩම් වැඩ කරනවා ඇත. චුටි මල්ලී සුදුමල්ලී නම් මේ වෙලාවේ ඇත්තේ මොකක් හරි ලොකු ගෝරියක ය. අම්මා ඒ දෙන්නාට ම හොඳට ම බනිනවා ඇත.

පොඩි මල්ලීට අම්මා කියන්නේ රණ්ඩු කෙක්ක ය කියා ය. මොකක් හරි අරියාදුවක් හදාගෙන ඔහු අනික් අය සමඟ ගෝරියට ම එයි. එක දවසක් සුද්දා ඉරිදා දහම් පාසලේ පන්තියේ කොල්ලන් එක්ක ගෝරියක් දාගෙන තිබුණි. දවසක් හැන්දෑවේ ගෙදර මේ සිද්ධිය පිළිබඳ කතාව ඇදුණු වෙලාවක චු‍ටි මල්ලි ගත් කටට ම කිව්වේ ඔන්න වීරයාට මේ සතියෙ නම් කොල්ලන්ගෙන් සබ්බුව හම්බ වෙයි කියා ය. චුටි මල්ලි එහෙම කිව්වේ සුද්දා හැම වෙලාවෙ ම මොකක් හරි ගෝරියක් ඇදගෙන වැරැද්දක් කර අම්මා ගාව සුදනා වෙන්න දඟලන නිසා ය.

අම්මා උගේ පැත්ත ම ගෙන නඩු විභාග කර තීන්දුව ඉදිරිපත් කරන නිසාත් ය. අම්මාත් වැඩිපුර ම ආදරය දක්වන්නේ සුද්දාට නිසාත් ඇති වූ කේන්තිය නිසා ය. හැබැයි ඔන්න දැම්ම කිව්වේ කොල්ලෝ එහෙම සුද්දට ගැහුවොත් මන්නං එන්නේ නෑ බේරන්න. ගු‍ටි කද්දාවේ කියල අහක බලාගෙන යනවා යැයි චුටි හයියෙන් කිව්වේ ය. පොඩි හාමුදුරුවෝ ඒ දවස්වල මහණ වෙලා හිටියේ නැත. උන් වහන්සේත් එදා කතා කළේ චුට මල්ලීගේ පැත්තට ය. එහෙම කිව්වේ සුද්දා මට්ටු කිරීමේ අදහසින් ය.’චුටි කියන එක ම තමයි මමත් කරන්නේ කොල්ලන්ගෙන් ගුටි කෑවොත් මාත් අහක බලාගෙන ඉන්නවා මගේ මල්ලී නොවෙයි විදිහට’ලොක්කාත් කිව්වේ ය.

එදා නම් සුද්දා හොඳට ම බයෙන් රත් විය. මූණත් රතු වී ආවේ ය. කටත් ඇද වී ගියේ ය. ‘මුං එකෙකුටවත් සහෝදර කැක්කුමක් නැත්දැ’යි කියමින් සුද්දා එදා අම්මාගේ ගවුමේ එල්ලී හොඳට ම ඇඬුවේ ය. උඔට ඔහොම ම තමයි වෙන්න ඕනෙයි චුටි ඒ වෙලාවෙ කිව්වේ උන් දෙන්නා දවල් වරුවේ ඇති කරගෙන තිබු රණ්ඩුව නිසා වුව ද ලොක්කාට නම් එදා සුදු මල්ලී ගැන හරිම අනුකම්පාවක් ඇති විය. තාමත් හෝඩියේ පන්තියේ ඉගෙන ගන්නා සුදු මල්ලි ‘සහෝදර කැක්කුම’ වැනි වචන කොහොම ඉගෙන ගත්තා දැයි ලොක්කාට හිතාගන්නටත් බැරි ය. සුද්දාගේ ඇඬිල්ල නතර වෙන්නේ ම නැති තැන අම්මා කිව්වේ උඹලා මොනවා කිව්වත් මල්ලී රැකබලා ගැනීම අයියලා දෙන්නාගේ වගකීම කියා ය.

අම්මාගේ ඒ වචනය සුද්දාගේ හිසේ මලක් පිපුණා වගේ විය. ඉන් පසුව උගේ ඇඬිල්ලත් එහෙමම නතර වී ගියේ ය. ඇස් දෙකේ කඳුළුත් එසැනින් වියළී ගියේ ය. දෙකම්මුල් පිරි හසරැල් මල මුණේ මොදු වී ආවේ ය. වේලාසනින් ම පාහේ සැතපෙන්නට කුටියට වැඩිය ද පොඩිහාමුදුරුවන්ගේ හිත අද පන්සලේ නැත. අද හිත ඇත්තේ ගෙදරට ඉව අල්ලමින් ය. උන් වහන්සේට ගෙදර ම මතක් වෙයි. අක්කා මල්ලිලා අම්මා තාත්තා මතක් වෙයි. නැවත ද නැවත ද ඒ සුවඳට හිත ඇදී යයි. ඔවුන් කළ කී දේවල් ආයෙ ආයෙ මතක් වෙයි. සහෝදරයන් සමඟ ඇතැම් වෙලාවල්වල කළ ගෝරි බෝරි හෙම මතක් වී හිතේ තියෙන දුක තව තවත් වැඩි වෙයි.

ඉස්කෝලේ පන්තියේ හිටපු යහළුවන් මතකයට නැඟෙයි. ආයේමත් ඉස්කෝලෙට යන්න වෙන්නේ නැහැනේ දැයි කියා හිතන විට හිතේ දුක තවත් වැඩි වෙයි. ‘මං මහණ වුණේ වැරදිලා, ගිහි ජීවිතේ මීට වැඩිය හොඳයි. මට මෙහෙම ඉන්න බෑ’ ආදී වශයෙන් විවිධ දේවල් මතකයට එයි. ඒවා ඉබේ ම වචන බවට පත්වී කටින් පිට වෙයි. හිත හදා ගන්න හැදුවත් එය හරිම අමාරු ය. ඇස් දෙකේ නිදිමත තිබුණත් නින්ද යන්නේත් නැත. යහනේ එහාට මෙහාට පෙරලෙමින් සිටි පොඩි හාමුදුරුවෝ එකවර ඇඳෙන් නැඟිට කුටියේ දොර විවර කර ඉවත බැලී ය. පන්සලේ බීරා ගොරොද්දේ ඇද ඇදා තද නින්දේ ය. ඌ මොන මොනවදෝ නින්දෙන් කියවයි.

පොඩිහමුදුරුවන්ට මහාභිනික්මන මතක් වෙයි. පන්සලේ ඇතුළු පැත්ත කෑල්ලේ දම්පහල හාමුදුරුවන් ද තද නින්දේ වගේ ය. ඔරලෝසුවේ බට්ටා එහාට මෙහාට වැනෙන හඬ නිශ්චල පරිසරයේ ඉතා හොඳින් ඇහෙයි. ඔරලෝසුව දිහාවට ඇස් යොමු කළ පොඩිහාමුදුරුවන්ට හිතුණේ තව ටික වෙලාවකින් ඔරලෝසුවේ බට්ටා විසිහතර පාරක් එක දිගට වදින බව ය. අයෙත් ආපසු හැරී තම කුටියට ඇතුළු වු පොඩි හාමුදුරුවෝ කුටියේ ජනේලය විවර කොට එළිය බැලූහ. පුර පෝය ළඟ ළඟ එන හින්දා මහ රෑ වුව ද ඒ හැටි ගන අඳුරක් දකින්නට නැත. නාමල් පිස එන සීත සුළං රැළි නැහැයට අරගෙන එන්නේ අමුතු ම මිහිරකි.

කුටියේ ජනේලයේන් එළිය බලන විට පෙනෙන චෛත්‍ය මළුවේ ලාවළු ගහ ළඟ පොඩිහාමුදුරුවන් දෙස ම බලාගෙන කව්දෝ යාන්තමට ඉන්නවා වගේ උන්වහන්සේට දැනෙයි. 'කවුදැ මේ මහ රෑ’ යි උන්වහන්සේට සිතෙයි. ඒත් එක්කම ඒ රූපය ටිකෙන් ටික උසයයි. හේ දකුණු අතින් අත වන වනා පොඩි හාමුදුරුවන්ටත් ඒ අසළට එන්නයැයි කතා කරයි. මහ රෑ මැදියමේ දුටු දර්ශනයෙන් ඇති වු භීතිය නිසා උන්වහන්සේගේ සියොළඟ ගැහෙන්නට විය.

එසැණින් කුටියේ ජනේලය වසා දැමූහ. කුටිය තුළ යාන්තමට දැල්වෙන චිමිනි ලාම්පුව ඔහේ දැල්වෙමින් තිබියදී ම පොරොවාගෙන සිටි සිවුරෙන් ම හිසේ සිට දෙපතුළ දක්වා හොඳින් වසාගත් පොඩි හාමුදුරුවෝ ඇස් දෙක තදකර පියා ගත්හ. ඇස් දෙක කොතරම් තදින් පියා ගත්තත් ලාවළු ගහ ළඟ සිටි ටිකෙන් ටික උස යන හොල්මන් රූපය පන්සලේ පඩිපෙළ බැසගෙන පොඩි හාමුදුරුවන්ගේ කුටිය පැත්තට එන අඩි සද්දය ද උන්වහන්සේට හොඳින් ම ඇහෙයි. උන් වහන්සේ කන් දෙක ද දෑතින් ම වසා ගත්හ.