සීසෝ පැදිල්ල

පහුගිය දවස්වල අඹ ගහ යට කට්ටියත් එක එක විදිහේ ලොකු ලොකු සාකච්ඡා ගැන උනන්දු වුණා මිසක් සෙල්ලමක් ගැන හිතුවෙවත් නෑ. පුංචලා පැංචිලා මේ ගැනත් ටිකක් බයෙන් තමයි හිටියේ.

ඇයි ඉතිං කට්ටියම තමන්ගේ තරමට වැඩිය ඉදිමෙන්න ගිහින් තමන්ටවත් තමන් පාලනය කරගන්න බැරිවෙන දේ වෙන්න පුළුවන් නිසයි. කොහොම වුණත් කාලෙකට පස්සේ අවුරුදු මාසේ පෝය නිවාඩුව දවසේ පුංචලා පැංචිලා ටික අඹ ගහ යටට එක් රැස්වුණා.

"අදවත් සෙල්ලමක් කරමු නේද?” සුදු පුංචා යෝජනා කළා.

” ඒක නේන්නම්. ලොකු ලොකු අයගේ ලොකු ලොකු කතා හින්දා අපට අපේකමත් අමතක වේගෙන යනවා..” කොළ පුංචත් යෝජනාවට හුරේ දැම්මා.

“මොකක්ද සෙල්ලම?” ලොකු පුංචාත් ඇහුවා.

“හැංගි මුත්තම්..” නිල් පුංචා ඇහුවා.

” අපෝ බෑ. කරොත් ඕකම තමයි. හැංගෙන උන් හැමදාම හැංගෙනවා. හොයන උන් හැමදාම හොයනවා. හැමදාම එකම දේ. හරිම කම්මැලියි.” රතු පුංචා විරෝධය පෑවා.

මේ විදිහට එක එක සෙල්ලම් ගැන එක එක යෝජනා ආවා. එක එක විදිහේ තර්ක ගෙනත් ඒවා එක එක විදිහට ප්‍රතික්ෂේප කෙරුණා. අන්තිමට අඹ ගහ යටටත් ප්‍රයෝජනයක් තියෙන විදිහේ සෙල්ලමක් ගැන අදහසක් ගෙනාවේ මදටිය පුංචයි.

” අපි අඹ ගහ යට සීසෝවක් හදමු. දැන්ම හදලා දැන්ම පදින්නත් පුළුවන්. ඒක ඉස්සරහදිත් ඕන වෙලාවට පාවිච්චි කරන්න පුළුවන්නේ? මදටිය පුංචා පැහැදිලි කළා.

ඉතිං හැමෝම ඒ යෝජනාවට කැමති වුණා. කට්ටියක් ලී කපාගෙන එන්න කැලේට රිංගුවා. දෙතුන් දෙනෙක් ලොකු පුංචලාගේ ලී මඩුවට රිංගලා හොඳ පිටපලු ලෑලි දෙකක් ගෙනවා. කහ පුංචයි සුදු පුංචයි තැන ශුද්ධ කළා. පැයක් හමාරක් ඇතුළත හරි අපූරුවට සීසෝවක් හැදුණා. දැන් ඉතිං හැමෝටම සතුටුයි. යෝජනාව ගෙනාව මදටිය පුංචටයි වැඩේට සහාය වුණු හැමෝටමයි ස්තූතිය පුදකරමින් ලොකු පුංචා කතාවක් පැවැත්වුවා. ඊට පස්සේ සීසෝව විවෘත කරන්න හිතාගෙන එක පැත්තක ලොකු පුංචා වාඩිවුණා. එක පාරටම අනෙක් පැත්තෙන් කවුරුවත් වාඩිවෙන්න ගියේ නෑ.

” ඉතිං මට තනියෙන් පදින්න පුළුවනෑ..කවුරු හරි එන්න” ලොකු පුංචා ආරාධනා කළා. ඒත් කට්ටියගේ ම කිචි කිචිය. අන්තිමට මදටිය පුංචයි, රතු පුංචයි ආවා.

“දෙන්නටම එක පාර නඟින්න බෑනේ. එක විඩේක පදින්න පුළුවන් දෙන්නකුටයි. නැත්නම් දෙපැත්තට දෙන්නා ගානෙ හතර දෙනකුටයි." සුදු පුංචා මතක් කළා.

” එහෙම වෙන්නෙ නෑ. සමහර විට ලොකු පුංචා තරම් මේ දෙන්නම බර නෑ. ඒ හින්ද එක පැත්තක ලොකු පුංචයි අනෙක් පැත්තට රතුයි, මදටියයි දෙන්නම ඉඳගත්තත් ප්‍රශ්නයක් වෙන එකක් නෑ..” කහ පුංචාගේ අදහස වුණා.

ලොකු පුංචත් ඒ අදහසට එකඟ වුණා. අන්තිමට කහ පුංචගෙ අදහස ඇත්තක් වුණා. එක පැත්තක ලොකු පුංචයි අනිත් පැත්තේ මදටිය පුංචයි, රතු පුංචයි දෙන්නමත් වාඩිවෙලා. හරි අපූරුවට තුන්දෙනෙක් එක විඩේ සීසෝව පදිනවා.

ටික වෙලාවක් යද්දී රතු පුංචයි මදටිය පුංචයි රණ්ඩු අල්ලන්න පටන් ගත්තා. දෙන්නගෙ පා‍ට ටිකක් එක වගේ හින්දා ද කොහෙද මේ දෙන්න අතර නොහොඳ නෝක්කාඩු ඇතිවෙන එක සාමාන්‍ය පුරුද්දක් වෙලයි තිබුණේ. සීසෝවේ ඉහළට පහළට යන ගමන් දෙන්නට දෙන්නා ඇර ගත්තා. අනිත් පැත්තෙ වාඩිවෙලා සිටින ලොකු පුංචා මේ රණ්ඩුව දැක්කත් නොදැක්ක වාගේ ඔහේ ඉන්නවා. තමන්ගේ ඉහළ පහළ යාමට ඒක බාධාවක් නොවන විත්තිය ලොකු පුංචා ඉවෙන් වාගේ දන්නවා.

“ලොකු පුංචට මේ දෙන්නගෙ රණ්ඩුව ගාණක් නෑ..” නිල් පුංචා මතක් කළා. ඒක රතු පුංචට ඇහුණා.

“පොඩි අයගෙ සද්ද ලොකු අයට ඇහෙන්නෙ තමන්ගෙ පැවැත්මට බාධාවක් කියල ‍තේරුණොත් විතරයි..කියලයි අපෙ අපුච්චා අපට කියලා දෙන්නේ..”

රතු පුංචා , තමන්ගෙ දකුණු අතේ වැලමිටෙන් පහරක් මදටිය පුංචාට ගහන ගමන් කීවා.

” ඒක ඇත්ත. මහ ආණ්ඩුවේ පවිත්‍රා නෝනයි චම්පික මහත්තයයි දෙන්නත් ඔය ඇරගන්නේ. ‍දෙන්නගෙන් කවුරු හරි පැත්ත දාලා ගියොත් ඔන්න සමබරතාව බිඳිලා අනතුරක් වෙන්න පුළුවන්..” මදටිය පුංචාත්, රතු පුංචාගේ කොනිත්තන ගමන් උත්තර දුන්නා.

“ඇත්ත නේන්නම්. මදටිය පුංචයි රතු පුංචයි දෙන්නගෙන් කවුරුහරි බිම වැටුණොත් තමයි ලොකු පුංචටත් බිම වැටෙන්න වෙන්නෙ. එහෙම නැතුව කොච්චර ගහගත්තත් මොකද? සුදු පුංචා හැමෝටම ඇහෙන්න කියලා දැම්මා.