සියලු සත්වයෝ බවුන් වඩත් වා!

“මගේ අතේ ඔයාට වෙනසක් දැනෙනව ද? කලකට පසු ව හමු වූ මිතුරෙක් මගෙන් ඇසී ය. ඔහු සිය සුරත මවෙත දිගු කර මඳ වේලාවක් එය මගේ සුරතෙහි ස්පර්ශ වන්නට ඉඩ හැරියේ ය.”

“නෑ - මට විශේෂත්වයක් දැනුණෙ නැහැ” මම කීවෙමි.

ඔබේ හිත කලබල වැඩියි. සන්සුන් ව හිටියා නම් වෙනස දැනේවි”

“මොකක් ද ඔබ කියන වෙනස?”

“මම භාවනා කර කර ඉඳලා ආවේ. මගේ අල්ලෙන් කිරණ පිට වෙනවා දැනුණා. අල්ල රත් වෙලා තියෙන්නේ”

මේ අප දෙදෙනා අතර ඇති වූ දෙබස ය. මම මිතුරාගේ දෑස පිරික්සා බැලීමි. (ඕනෑම රෝගියකු පරීක්‍ෂා කිරීමට පෙර ඔහුගේ දෑස නිරීක්‍ෂණය කිරීමෙන් පුද්ගලයාගේ කායික හා මානසික ස්වභාවය පිළිබඳ යම් වැටහීමක් ලබා ගත හැකි බව මම අත්දැකීමෙන් ම දැන සිටියෙමි. එහෙත් මම වෛද්‍යවරයකු නොවෙමි.) මිතුරාගේ දෑස යට ඇසිපිය යටින් අඳුරු පැහැති රේඛා විහිද තිබෙන්නේ බොඳ වූ චිත්‍රයක් පරිද්දෙනි. ඔහුගේ දෑස විවර වනුයේ පමණට වඩා විශාල ව ය. එමෙන් ම එහි නොසන්සුන් බවක් පෙනේ.

“හැමදාම භාවනා කරනව ද?”

“ඔව්, දිනපතාම. මට දැන් ලොකු වෙනසක් දැනෙනවා. ඒ වෙනස මම ආශ්‍රය කරන අයටත් බලපාල තියෙනවා. ඒ අයගෙ මනසත් දියුණු වෙනවා.”

භාවනාවේ මහිමයෙන් තමා ඉහළ මානසික තත්වයකට පත් ව ඇතැයි සිතමින් දවසකට පැය කිහිපයක් භාවනාවෙහි යෙදෙන අප මිතුරා තව නොබෝ දිනකින් ම මනෝ වෛද්‍ය සායනයකට කැඳවාගෙන යෑම කිසිවකුට වළක්වනු නොහැකි වනු ඇතැයි මට සිතේ.

එහෙත් අප මිතුරා එම සායනයෙහි දී ද අනතුරකට ලක් වීමේ ඉඩකඩක් ඇතැයි මට සිතේ. ඊට හේතුව භාවනාවෙන් “සිත දියුණු කර ගත් උදවිය ද, මනෝ උපදේශන ඩිප්ලෝමාවක් හැදෑරූ අය ද “මනෝ වෛද්‍ය” නාමය භාවිත කරමින් වෛද්‍යවරයාගේ භූමිකාව රඟපෑම ය. මෙබඳු සායනවලට පැමිණෙන රෝගීන් ගෙන් ඇතැම් විට රුපියල් දසදහස ඉක්මවා මුදල් අයකරන අවස්ථා ද ඇති බව මා අසා ඇත. සිංහල සහ රසායන විද්‍යාව යනා දී ටියුශන් පන්තිවලට ඇති ආකර්ෂණය ම භාවනා පන්ති සහ මනෝ උපදේශන පාඨමාලාවලට ද ඇති බව දැන් දැන් තහවුරු වෙමින් පවතී.

මේ ඇතැම් භාවනා පන්තිවලින් මාර්ගඵල වලට පිවිසීම තහවුරු කරන ලද සහතික ද නිකුත් කරනු මා අසා ඇත. ඇතැම් මධ්‍යම පාන්තික කාන්තාවෝ සෝවාන් සහතික ලබා ගැනීම සඳහා තම ඉඩකඩම් ද පරිත්‍යාග කරති. අගනුවර ආසන්නයේ භාවනා පුහුණු මධ්‍යස්ථානයක භාවනාව ප්‍රගුණ කරන හා උගන්වන මාර්ගඵලලාභී භික්‍ෂූන් භාවිතා කරන නවීන සුඛෝපභෝගී මෝටර් රථ දකින විට “භාවනාව යනු කෙතරම් මහත්ඵල මහානිශංස” ලබා දෙන කටයුත්තක් දැයි ප්‍රබෝධයක් ඇති වේ.

භාවනාවෙහි අරමුණු සිත දියුණු කර ගැනීම සහ මමත්වය තුනී කර ගැනීම යැයි මොහොතකට සිතමු. තර්කානුකූලව බැලූ විට සිත දියුණු කළ හා දමනය කළ පුද්ගලයන් අතින් අපරාධ සිදුවීමේ ප්‍රවණතාව ද අඩු විය යුතු ය. එහෙත් භාවනා කරන්නන්ගේ සංඛ්‍යාව වැඩි වන තරමට අපරාධ වර්ධනයෙහි ද වැඩි වීමක් මිස අඩුවක් නම් නොපෙනේ. භාවනා වැඩසටහන් රට පුරා පැතිරීම අපරාධ වැඩි වීමට බලපා නැතත්, අපරාධ අඩු වීමට ද බලපා නැති බව කිව යුතු ය. භාවනාව සහ සමාජ සංවර්ධනය අතර කිසිදු සම්බන්ධයක් ද නොපෙනේ. එහෙත් දවසේ පැය විසි හතරෙන් පැය හත අටක් භාවනාවට වෙන් කරන්නන් බහුල වීම වැඩ කළ හැකි මිනිසුන්ගේ ශ්‍රමය අපතේ යන ‘ලෙඩක්’ බවට පත් වීම රටේ සමාජ සංවර්ධනය අඩාළ වීමට ඍජුව ම බලපාන බව නොකියා ම බැරි ය.

මානව ශිෂ්ටාචාරය විසින් අත්පත් කරගෙන තිබෙන විද්‍යා, තාක්‍ෂණික සහ ආධ්‍යාත්මික සංවර්ධනයේ ප්‍රතිපල පිටුපස ඇත්තේ වසර දහස් ගණනක් තිස්සේ වඩා යහපත් ජීවිතයක් ගත කිරීම සඳහා පොදුවේ මානව සංහතිය විසින් අඛණ්ඩ ව ගෙන ගිය අරගලය යි. මිනිසාගේ සිතීමේ ශක්තිය දියුණු වූයේ මොළය වෙහෙසීමෙන් හා දෑතින් වැඩ කිරීමෙනි. අලුත් දේවල් නිර්මාණය කරන්නට මිනිසාට හැකි වූයේ ඔහුගේ මෙම ගති ලක්‍ෂණය නිසා ය. අත පය වකුටු කරගෙන පැය ගණනක් එක ම ඉරියව්වෙන් සිටින පුද්ගලයා කායික හා මානසික වශයෙන් දුබල වනු විනා ඇති වන ප්‍රගතියක් නොමැත.

එහෙත් අවාසනාව වී ඇත්තේ මානව ශිෂ්ටාචාරය විසින් පොදුවේ දිනා ගනු ලැබූ ජයග්‍රහණ අලසව ජීවත් වන කුසීත කල්ලියකට පවරා දීමේ ප්‍රවණතාවක් දිස්වීම ය.

අනුන්ට භාවනාව උගන්වන්නට යන භාවනා විශාරදයන් අතරින් මමත්වය තුනී කළ නිවුණු පුද්ගලයකු සොයා ගැනීම නිකිණි සෙවීමටත් වඩා අසීරු කටයුත්තකි. මෙම භාවනාකරුවන් ගෙන් බොහෝ දෙනකු රත්තරන් කරඬුවට ලොල් වූ උපාසකම්මලා වැන්නෝ ය.

ගමේ පන්සලේ භික්‍ෂුවගේ උපදෙස් මත බවුන් වැඩූ එක් උපාසිකා මාතාවකට රත්තරන් කරඬුවක් පෙනුනේ ලු. මේ ගැන ආරංචි වූ අනෙක් උපාසිකාවෝ ද තරගයට මෙන් භාවනා කරන්නට වූහ. තමන් ට රත්තරන් කරඬු නොපෙනුණේ මාර්ග ඵලයකට පැමිණීමට බැරි වූ නිසා යැයි සිතූ මේ උපාසිකාවෝ කරඬුව දුටු උපාසකම්මා මාර්ග ඵලයකට පැමිණ ඇතැයි සිතා ඇය ප්‍රධාන උපාසකම්මා තනතුරට පත් කළහ.

රත්තරන් කරඬුව යනු කාගේත් සිත්වල තෘෂ්ණාව උපදවන වස්තුවකි. මේ ආත්මයෙහි රත්තරන් නො ලැබුණ ද බවුන් වඩා පින් රැස් කිරීමෙන් ඊළඟ ආත්මයෙහි දී හොඳ තැනක ඉපි ද රන් අබරණ පැළඳ ජීවත්විය හැකි ය. අපේ භාවනා පුහුණුකරුවන් ලියන පොත්වල ද සිත දියුණු කිරීම ඔස්සේ පෙනුණු අද්භූත වස්තූන් හා පුද්ගලයන් පිළිබඳ සඳහන් වේ. තමන් මාර්ග ඵලයකට පැමිණ ඇතැයි මමත්වයෙන් යුතු ව කෙරෙන වර්ණනා මේවායෙහි බහුල ය. මේවා කියවන පෘතග්ජන සිත්හි තෘෂ්ණාව ලියලා වැඩේ. තමන් බුදු වී ඇතැයි සිතන මානසික රෝගීහු ද ඔවුන් පසු පස යන මානසික බෙලහීනයෝ ද මෙකල සුලබ වෙත්.

බවුන් වැඩීම ඔස්සේ මාර්ග ඵල ලැබීම කෙසේ වෙතත් මහත්ඵල මහානිසංස භාවනා පුහුණුකරුවන්ට ලැබී ඇති බව ඔවුන් කන බොන, අඳින පලඳින සැටියෙන් ද ඔවුන් සතු යාන වාහනවලින් ද පෙනේ. භාවනා සන්දර්ශන පසුපස සැබැවින් ම ඇත්තේ සී.ඩී., ඩී.වී.ඩී සහ පොත් ජාවාරම යි.