බසක මහිම බස මළ කල දැනේයා

බ්‍රසීලයේ සැම්හේලෝ නගරයට මඳ දුරක් ඈතින් පිහිටි ‘ලුස්’ දුම්රියස්ථානය ඉදිරිපිට නිතර දක්නට ලැබෙන පෝලිම, දුම්රිය ටිකට් ගැනීම සඳහා නොවේ. එහි ඉහළ මාලයෙහි පිහිටි පෘතුගීසි භාෂා කෞතුකාගාරය නැරඹීම පිණිසය. එකම භාෂාවක් සඳහා ලෝකයේ ඇති එකම කෞෟතුකාගාරයද එයයි.

‘සන්දේශය’ චිත්‍රපටයට පෘතුගීසිකාරයා රටවල් අල්ලන්න සූරයා යන ගීතයක් ලියුවේ හොද හෙළයකු වූ අරිසෙන් අහුබුදුය. නාවික බලයත්, ආයුධ බලයත් පෙරටුකොට ගෙන ඈත රට රාජ්‍ය ආක්‍රමණය කළ පෘතුගීසීහු ඔවුන්ගේ නම්ගම් ආගම හා භාෂාව යටත් වැසියන්ට ‘සමරු’ වශයෙන් තබා ගියහ.

සිංහල ජනතාව තුළ පෘතුගීසී වාසගම් තවමත් පවතින්නේ එනිසා ය. ඔවුන්ගේ වචන සිංහලය සමඟ මුසුවී “තෙම්පරාදු” වී ව්‍යවහාර වෙයි.

අද ලෝකයේ වැඩිම ජනතාවක් කතා කරන්නේ චීන – මැන්ඩරින් භාෂාවය. ගණනින් මිලියන 935කි. ඉන්පසු පිළිවෙළින් ස්පාඤ්ඤ, ඉංග්‍රීසි, හින්දි, රුසියානු, අරාබි, බෙංගාලි, ජපන්, පෘතුගීසි හා ජර්මන් භාෂා කතා කරති. පෘතුගීසි බස කතා කරන ජනයා මිලියන 178ක් ලොව පුරා වෙසෙති. මැකාවු, වෙනිසියුලා, ඇංගෝලා යන රටවලද පෘතුගීසිය ජන බසකි. බ්‍රසීලයේ එය ජාතික භාෂාවයි.

 කෝරෝ භාෂාව පටිගත කරන නැෂනල් ජියොග්‍රැෆික් කණ්ඩායම

පෘතුගීසි භාෂා කෞතුකාගාරයට යන්නෙකුට එම භාෂාවේ ඉතිහාසය,, ව්‍යාප්තිය, භාවිතය යනාදි අංශ ගණනාවක් පිළිබඳව නව තාක්ෂණික උපකරණ හා ඉදිරිපත් කිරීම් මාර්ගයෙන් දැනුම හා අවබෝධය ලබා ගත හැකි ය.

පෘතුගීසි බසින් සාහිත්‍යකරණයෙහි යොදන ගත් කරුවන්ගේ විශිෂ්ට කෘතීන් මෙහි දී චිත්‍ර ප්‍රදර්ශනයක ආකාරයෙන් දැක ගත හැකි ය. බ්‍රසීල ජාතික මහා නව කතා කරු ජාඕ ගුමියාරෙස් රෝසාගේ Grande sertao:Veredas(The devil to pay in the Backlands) නමැති සුප්‍රකට නවකතාවේ විශාල ප්‍රමාණයේ පිටු කෞතුකාගාරයේ එක් මහලක සිවිලිමේ සිට පහතට එල්ලා ඇත. එම ගත්කරුවා, මුල් පිටපතේ කළ සංශෝධන පවා එම පිටුවල දැකගත හැකි ය. (ඇතැම් සාහිත්‍ය විචාරකයෝ මෙම නවකතාව, ජේම්ස් ජොයිස්ගේ ‘යුලිසිස්’ නවකතාව හා සමතැන්හි තබා අගය කළෝය.)

කෞතුකාගාරය විවෘත කෙරුණේ 2006 දීය. එහි ප්‍රධාන ආරාධිතයා වූයේ බ්‍රසීලයේ සංස්කෘතික අමාත්‍ය ගිල්බර්ටෝ ජිල්ය. ඔහු ගායකයෙකු හා සංගීතඥයෙකු වශයෙන් ප්‍රකටව සිටියෙකි. සිය දේශනයෙහිදි භාෂාව යනු කුමක්දැයි නිර්වචනය කරන ගිල්බර්ටෝ ලොව වැඩිපුරම කතා කරන භාෂා විසිපහට අයත් පෘතුගීසිය තම මව්බස වීම පිළිබඳ අභිමානය පළ කරයි.

සැබැවින් ම භාෂාව යනු සංස්කෘතියක විශිෂ්ටතම නිෂ්පාදනයයි. අනෙක් අතට භාෂාවක් විසින් සංස්කෘතිය පෝෂණය කරවයි. සාරවත් කරවයි. පොහොසත් භාෂාව හැම විටම ජාතියක අභිමානය සඳහා හේතුවෙයි.

සෑම භාෂාවක්ම ශ්‍රේෂ්ඨ ය. එහෙත් ලෝකයේ කුඩා භාෂා මැඩගෙන ප්‍රබල භාෂා ව්‍යාප්තවීම ඉතිහාසය පුරා දක්නට ලැබෙන දෙයකි. තම මවුබස දෙවෙනි තැනට දමා ආක්‍රමණිකයාගේ භාෂාව උගෙනීමට යටත්විජිත වැසියාට සිදුවෙයි. අප්‍රිකානු රටක දිළිඳු වැසියෙක් ප්‍රංශ බසින් කතා කරන්නේත්, ශ්‍රී ලංකාව වැනි කුඩා දූපතක වැසියෙක් ඉංග්‍රීසිය දැනීම හෝ නොදැනීම සිය පෞරුෂය පිළිබඳ කාරණයක් කර ගන්නේත් ඒ අනුව ය.

මෙහි වඩාත් කනගාටුදායක තත්ත්වය වන්නේ ප්‍රබල භාෂාවන්ගේ ආධිපත්‍යය විසින් කුඩා භාෂාවන් ගිල ගැනීම ය. යුනෙස්කෝ වාර්තාවකට අනුව ලොව පවතින භාෂා 7000න් අඩක් පමණ එබඳු අවදානම් තත්ත්වයක පසුවෙයි. ලොව පැවති භාෂාවන්ගෙන් 7000ක් පමණ දැනටමත් මිය ගොසිනි.

පෘතුගීසී භාෂා කෞතුකාගාරයේ ජාඕ ගුමියාරෙස් රෝසා ගේ Grande sertao:Veredas නවකතාවේ පිටු පෘතුගීසී භාෂා කෞතුකාගාරයේ
සිවිලිමේ එල්ලා ඇති අයුරු

භාෂා පිළිබඳ පර්යේෂකයකු වන ඩේවිඩ් හැරියන්ගේ (The Last Speakers) නමැති ග්‍රන්ථයෙහි දැක්වෙන අන්දමට ලෝකයේ ඇතැම් භාෂා කුඩා ජන කණ්ඩායම් වලට සීමාවී පවතී. සුනාමියක් හෝ භූමි කම්පාවක් වැනි ස්වාභාවික ව්‍යසනයකදී එම ජන කණ්ඩායමක් සමඟම එම දුලබ භාෂාවද විනාශ වී යා හැකි ය.

කුඩා භාෂා “රතු දත්ත පොතට” ඇතුළුවන්නේ ප්‍රබල භාෂාවට ගොදුරුවීම නිසා ය.

අමෙරිකාවේ පැවති ස්වදේශීය ඉන්දියානු භාෂා හා ඔස්ට්‍රේලියාවේ ඇබොර්ජීනියන් භාෂාවන් සිය ගණනක් අතුරුදහන් වූයේ ඒ නියාමය අනුවය. තායිවානයේ භාෂා 23ක්, චීන භාෂාව විසින් යටපත් කෙරුණි. කෙන්යාවේ ඔමෙටික් භාෂාව කතා කළ අය, 1980 සිට ඉතිරිව සිටියේ 50කි. දැන් ඔව්හු මසායි බසට හුරුව සිටිති. (අප්‍රිකානු භාෂාවන් දෙදහසකින් 80%කටම ලිඛිත භාෂාවක් නැත.)

කැනඩාවේ ටොරොනටෝටේ වැඩිහිටි නිවාසයක සිටි 101 හැවිරිදි මිස්ටර් බර්ටි හෝල්ඩ් නමැති ලැට්වියානු ජාතිකයා, ලිටෝනියන් භාෂාව දැන සිටියේය. ඔහුගේ භාෂා ව්‍යවහාරය ලැට්වියානුවන්ටවත් නොතේරුණි. 2009 දී බර්ට් හෝල්ඩ් මිය ගියේය. ඉන් පසු ලැම්බියාවේ සුළු පිරිසක් (සිය ගණනක් පමණ) තම භාෂාව සැඟව ගිය මුල් ගැන උනන්දුවෙමින්, බර්ට් හෝල්ඩ් කතා කළ බස ගැන පර්යේෂණ කරති. එය එදිනෙදා වහරෙහි යොදා ගනිති. ජන ගී ගයති. රැස් කරති.

පසුගිය වසරේ ඔක්තෝබර් 03දා, ස්කොට්ලන්තයේ ‘බ්ලැක් දූපතේ’ විසූ 92 හැවිරිදි බොබි හොග්ගේ මරණය ලෝක ප්‍රවෘත්තියක් බවට පත්වූයේ ඔහු කතා කළ ක්‍රොමාට් නමැති ධීවර ජන බස ද ඒ සමඟම නැතිව ගිය බැවිනි.

එක් එක් වෘත්තීන් අනුව, කුඩා භාෂා පවුල් නිර්මාණය වෙයි. දකුණු තායිවානයේ “යාමි” භාෂාව ද එබඳු ය. එය ඕචර්ඩ් දූපතේ වෙසෙන ධීවර ජනතාවට සීමාවූවකි. ඔවුන්ගේ බසෙහි මාළු වර්ග 450කට භාවිත කරන නම් ඇත.

කැල්මයිකියානු ජනරජය, කැස්පියන් මුහුදු තීරයේ, යුරෝපීය - රුසියානු කලාපයේ පිහිටි එකම බෞද්ධ රාජ්‍යය විය. මොංගෝලියානු මුල් සහිත එඬේර ජාතියක් වූ ඔවුන් 1940දි විසිර ගියේ, ස්ටැලින්ගේ ආක්‍රමණයෙන් බේරීමට ය. අමෙරිකාවේ නිව් ජර්සියේ වෙසෙන කැලමයික්වරු තවමත් ඔවුන්ගේ බස හා සංස්කෘතිය රැක ගැනීමට කටයුතු කරති.

ලෝකයේ කුඩා භාෂා විනාශ වී යන අතරේ, සැඟව තිබූ භාෂා සොයා ගැනීම භාෂා පර්යේෂකයන්ගේ ආඩම්බරයටත්,සතුටටත් කාරණයක් විය. නැෂනල් ජියොග්‍රැෆික් සඟරාවේ පර්යේෂක කණ්ඩායමක් මෑතකදී ඉන්දියාවේ අරුනාචාල් ප්‍රදේශයෙන් “කෝරෝ”(Koro) නමැති අප්‍රකට භාෂාවක් සොයා ගත්හ. ටිබෙට් - බුරුම භාෂා පවුලට අයත් ‘කෝරෝ’ භාෂාව ඔවුනට හමුවන්නේ අසා සහ මිජී යන කුඩා භාෂා ගැන පර්යේෂණ කරමින් සිටියදීය.

අප්‍රකට හෝ අනතුරෙහි පවතින කුඩා භාෂාවන්හි වචන හා උච්චාරණ විධි පටිගත කොට කථන ශබ්දකෝෂ (Talking Dictionary) නිපදවා සංරක්ෂිත කිරීම භාෂා පර්යේෂණ ආයතන මඟින් සිදුවන සේවාවකි.

ශ්‍රී ලංකාව තුළද කුඩාභාෂා කුණ්ඩායම් කීපයක් වෙති. ඉන් ආදීවාසින්ගේ ‘වැදි බස’ ප්‍රධානය. වැදිනායක වන්නිල ඇත්තා හා ඔහුගේ නෑ පිරිවරෙන් පසු වැදිබසද අභාවයට යනු ඇත. දැනටමත් ඔවුනගේ දරු මුණුබුරන් උගන්නේ සිංහල භාෂා මාධ්‍යයෙනි. අනාගත පරපුරෙහි ප්‍රයෝජනය පිණිස, වැදි බසෙහිද ‘කථන ශබ්දකෝෂයක්” සම්පාදනය වැදගත් යැයි සිතමි.

කුඩා භාෂා රැක ගැනීම පිණිස කෙරුණු යෝජනා අතර ප්‍රධාන වූයේ, මවු බසින් අධ්‍යාපනය ලබා දීම ය. ළමා පරපුර වෙතින් මවු බස ඈත් කිරීම එහි අවසානයට මඟ පෑදීමය. රතු දත්ත ලැයිස්තුවට එක්වී ඇති භාෂාවන් කතා කරන්නේ වැඩිහිටි ජනයා විසින් පමණි.

ජනමාධ්‍යයට ද භාෂාවක් විනාශ කළ හැකි ය. එය ආරම්භ වන්නේ වෙනත් භාෂාවක වචන හා යෙදුම් මිශ්‍ර කරමින් තම භාෂාව අවධානයටත් අගෞරවයටත් ලක් කිරීමෙනි. දෙවෙනි භාෂාව ඉදිරියේ දණින් වැටෙන ජාතියක් අවසානයේ නතර වන්නේ රතු දත්ත සිතියමෙහි ය.