බද්දර මල්ලෙන් අන්තර් සංවාදයක් අරඹමු

සිංහයෝ සහ කොටියෝ නමින් පසුගිය සතියේ මා ලියූ කොළමට නොයෙක් විදියේ ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා. ඒ නිසා මේ වතාවෙත් ඊට අදාළවම යමක් ලීවොත් හොඳයි කියල කල්පනා කළා.

මට ලැබුණු ප්‍රතිචාර අතරින් ඉහළම අදහස ඉදිරිපත් වුණේ අප හිත මිත්‍ර තිඹිරියාගම බණ්ඩාරගෙන්. මිතුරු ආමන්ත්‍රණය අනුව කියනවා නම් තිඹිරිගෙන්. මහාචාර්ය අනුරාධ සෙනෙවිරත්නගේ ‘The Lions and the Tigers’ කියන පොත් පිංච පදනම් කරගෙනයි පහුණු සතියේ එම පොල් අරඹයි – තල් අරඹයි තීරු ලිපිය රචනා කළේ. මට අසුවී තිබුණේ මහාචාර්යතුමාගේ මුල් ඉංග්‍රීසි පිටපත පමණක් නිසා සිංහල පමණක් භාවිතා කරන පිරිසගේ ප්‍රයෝජනය පිණිස එය සිංහලට නැඟුණොත් යහපත් ය කියල මම යෝජනා කළා.

මගේ කොලම දුටු සැණිනa තිඹිරි මට sms එකක් එව්වා මහැදුරුතුමාගේ පොත සිංහලෙන් පළ වී තිබෙන බව දැනුම් දෙමින්. ඉඩක් ලද විගස මම තිඹිරිත් එක්ක මේ ගැන කතා කළා. ‘එකල්හී සිංහයෝද කොටියෝද මෙලෙස ජීවත් වූහ’ යන සිරසින් යුතුව ‘The Lions and the Tigers’ පොත සිංහලට නැඟී තිබෙන බව තිඹිරිගෙන් මට දැනගන්නට ලැබුණා. සාමාන්‍යයෙන් සිංහල බෞද්ධ මතවාදයට වැඩි නැඹුරුවක් දැක්වූ විද්වතෙක් විදිහට ප්‍රකට මහාචාර්ය අනුරාධ සෙනෙවිරත්නයන් අතින් මෙවැනි විවාදාත්මක අදහසක් පළ වී තිබීමේ වැදගත්කම පිළිබඳවත් අපි කතාබහ වුණා.

අපේ රටේ වාර්ගික සබඳතාවල ඉතිහාසය පිළිබඳ විමර්ශනය අවස්ථාවාදී දේශපාලනඥයන් හා අන්තවාදී සමාජ විචාරකයන්ගේ භුක්තියට සවි වී තිබෙන මෙවැනි කාලයක, මෙබඳු විෂයයන් පිළිබඳ ව හරවත් කතිකාවක් ගොඩනැගීමෙහි ලා විද්වත් ප්‍රජාව සතු වගකීමක් තිඹිරි අවධාරණය කළා. අනුරාධ සෙනෙවිරත්න මහාචාර්ය තුමාගේ ‘The Lions and the Tigers’පොත මේ සඳහා කදිම ප්‍රවේශයක් බවයි තිඹිරිගේ යෝජනාව වුණේ.

‘The Lions and the Tigers’ පොත 1999 දී හා 2000 දී පිට පිට දෙවරක් මුද්‍රණය වීමත්, ‘එකල්හී සිංහයෝද කොටියෝද මෙලෙස ජීවත් වූහ’ නමින් සිංහලට නැගීමත් යන කරුණු සලකා බලද්දී ඒ කාලයේ කිසියම් සමාජ කණ්ඩායමක් මේ පොතට අවධානය යොමු කළ බව පැහැදිලියි. එහෙත් එය විද්වත් ප්‍රජාව අතර සංවාදයට බඳුන් නොවූයේ මන්ද කියන එක ගැටලුවක්. සමහර විට යුද්ධය උග්‍ර වීමත් එක්ක දෙපැත්තේම අන්තවාදී බලවේග ඉස්මත්තට ඒම විද්වතුන්ගේ මේ නිහැඬියාවට හේතුසාධක වුණා වෙන්ඩත් පුළුවන්.

මරණ බය හෝ වෙනත් කරුණු කාරණා මත එදා නිහඬ වූ විද්වතුන්, කලාකරුවන් හා මාධ්‍යවේදීන් ඇතුළු සමාජ කණ්ඩායම්වලට තමන්ගේ හඞ අවදි කිරීමට සුදුසුම කාලය දැන් එළඹ තියෙනවා. එය, ආණ්ඩුව වෙනුවෙන් හෝ තමන් නියෝජනය කරන ජනවර්ගය වෙනුවෙන් හෝ පෙනී සිටීමක ලෙස නොසැලකිය යුතුයි. ඇත්තෙන්ම හෙට දවසේ යහපත් සමාජයක් ප්‍රාර්ථනා කරන අව්‍යාජ බුද්ධිමතුන් පෙනී සිටිය යුත්තේ විවිධත්වය තුළින් බිහි වන ඒකීයත්වයක් වෙන්‍රුවෙනුයි. වෙනත් විදිහකින් කියනවා නම් සිංහල, දෙමළ, මුස්ලිම් ආදි වාර්ගික අනන්‍යතාවයන්ට ගරු කරන ශ්‍රී ලාංකික ජාතියක් වෙනුවෙනුයි.

මහාචාර්ය අනුරාධ සෙනවිරත්න මුල පුරා තිබුණේ එවැනි ජාතික මෙහෙවරකට. එතුමා පමණක් නොව වෙනත් සිංහල, දෙමළ හා මුස්ලිම් විද්වතුන් විටින් විට මෙවැනි උත්සාහයන් දරා ඇති බව අප දන්නවා. යටපත් වී ඇති එවැනි ප්‍රයත්නයන් මතු කරගන්නට මේ හොඳම කාලයයි. ඒකට ප්‍රධාන හේතුව තමා එදා තුවක්කුවෙන් - බෝම්බයෙන් ක්‍රියාත්මක කළ බෙදුම්වාදය, අද ජාත්‍යන්තර මට්ටමේ මතවාදී යුද්ධයක් බවට පරිවර්තනය වී තිබීම. නවීන ආයුධවලින් සන්නද්ධ හමුදාවකට මේ යුද්ධයෙන් ජයගත නොහැකියි. එය ජයගත හැක්කේ බුද්ධිමය ආම්පන්නවලින් සන්නද්ධ විද්වත් සමාජයකටයි.

අපේ බද්දර මල්ලත් එවැනි කතිකාවක් ගොඩනගන්න සුදුසු වේදිකාවක් ය කියා මට හිතෙනවා. බද්දර මල්ලේ පළවන බොහොමයක් තීරු ලිපිවලින් සාකච්ඡා කෙරෙන්නේ අපේ සමාජ ගැටලු. ඒ වගේම විවිධ තලයන්හි සමාජ දේශපාලන කතිකාවක් ගොඩනගන්න මැදිහත් වූ දෙස් - විදෙස් විද්වතුන් – කලාකරුවන් පිළිබඳවත් නිබඳවම කතාබහ වෙනවා. තම තමන්ගේ ලිපිවල අනන්‍යතාව රැකගන්නා ගමන්ම අද අපේ ලංකාව ඉල්ලා සිටින ජාතික කතිකාවටත් කිසියම් දායකත්වයක් ලබා දෙන්න අපට බැරිකමක් නැහැ නේද?

බද්දර මල්ලට තීරු ලිපි ලියන අප අතරම කතිකාවක් - සංවාදයක් ගොඩනඟා ගැනීම මේ සඳහා තැබිය හැකි එක් පියවරක් ය කියා මට හිතෙනවා. සහෝදර තීරු ලිපියකට ඌණ පූරණයක් කිරීම මගින්, එහෙමත් නැත්නම් ඊට එකඟ නොවීම මගින් මේ කාර්යයට උරදිය හැකියි.

මා මේ කරන්නේ ඊට මුල පිරීමක්. අප මිත්‍ර තිඹිරියාගම බණ්ඩාර මගේ පසුගිය තීීරු ලිපියට දක්වපු ප්‍රතිචාරය ඔස්සේ එක් පියවරක් ඉදිරියට තැබුවා. මීට පෙර ද මා මෙවැනි ප්‍රයත්නයක් දරා තිබෙනවා. ඒ අපේ තවත් හිත මිතුරකු වන සුනිල් මිහිඳුකුල ගේ තීරු ලිපියක් ආශ්‍රිතවයි. වරක් ඔහු විජය කුමාරතුංගයන් පිළිබඳව ලියූ අනුස්මරණ සටහනක් පාදක කරගෙන වාර්ගික සුහදත්වය වෙනුවෙන් විජය කළ මෙහෙවර අගයන්නට මා පොටක් පාදා ගත්තා.

බද්දර මල්ල තුළින් මෙවැනි අන්තර් සංවාදයක් ඇරඹුවොත් බද්දරමල්ලෙන් අපට ඉටු කළ හැකි සමාජ මෙහෙවර තවත් පුළුල් වෙනවා නියතයි.