පිනි ජම්බු හා තිත්ත බේත්

හිරු හතක් පායා ඇත්දැයි සැක සිතෙන තරමට උණුසුම දැඩිව දැනෙයි. සූර්ය තාපයෙන් තව්මැරණු ගහකොළ දැකීම ද දුකකි. මල් නොවරන වතු සුද්ද පඳුර පවා දුක්ඛිත දසුනකි. සුපුරුදු දීප්තියෙන් විකසිත වද මල් සැඩ හිරුට අභියෝග කරනු වැන්න.

“ඉර හුඟාක් ඈත තියෙද්දීත් මේ තරම් රස්නෙ නම් ළඟට කොහොම ඇද්ද අම්මා”

මද්දු ප්‍රශ්න කරන්නේ දහදිය වගුරුවමිනි.

“ළං වෙන ඕනම දෙයක් පිච්චිලා අළු වෙලා යනව ඇති නේද අම්මා?”

නිවුන් පුතුන්ගේ විස්මිත නෙත් මා මුව‍'ඟ සිනාවක් නංවයි.

ලාබාල වියෙහිදී ම හිරුගේ බලපරාක්‍රමය වටහා ගැනීම කොතරම් හොඳදැයි මට සිතිණ. අනෙක් අතට පාසලින් ගෙදරටත් ගෙදරින් ටියුශන් පන්තියටත් පමණක් සීමා වූ දරුවන් හා සසඳා බලන කල ඔවුන් භාග්‍යවන්ත ය. ඇළේ දොළේ ගිලී දිය නාන්නට ගහකට නඟින්නට ... මිදුලේත් වත්ත පිටියේත් දුව පනින්නට ඉඩකඩ ලැබීමෙන් ඔවුන් පරිසරයේ ම කොටසක් ව පරිසරයේ විපර්යාසයන්ට ඉතා ඉක්මනින් සංවේදී වීම පිළිබඳ ව මම බෙහෙවින් සතුටු වෙමි.

කවදා හෝ දවසක ඔවුන් සිය ළමාවිය සෙනෙහසින් සහ සොම්නසින් ආවර්ජනය කරනවා නිසැක ය. ‘බඩ රිදෙනවා අම්මේ’ යි පුංචි පුතා පැමිණිලි කළේ මගේ නිශ්ශබ්දතාවය නොඉවසන නිසා ම නොවේ. ඔහුගේ මුහුණ වේදනාවෙන් හැකිළී තිබෙන බව දුටු මම නොසන්සුන් වීමි.

“මොනාද අන්තිමට කෑවෙ?” යි මා ප්‍රශ්න කළේ ඔවුන් දවස මුළුල්ලෙහි ම මොන මොනවා හෝ ගිල දමන බැවිනි.

“ඉස්සෙල්ලාම කාපු දේ අහන්න අම්මා. අන්තිමට කාපු දේ තාම දිරවලා නැතිව අතිනෙ... ඒකෙන් කොහොමද බලපෑමක් වෙන්නෙ මේ තරම් ඉක්මනට..”

මද්දු මට උපදෙස් දෙන්නේ ආහාරත් සිරුරත් පිළිබඳ ව විශේෂඥ දැනුමක් ඇතිවාක් මෙනි.

“හරි හරි.. මම නම් නරක දෙයක් දුන්නෙ නෑ ඔයාලට කෑමට. මට හොරෙනුත් ඔයාලා එක එක දේවල් කනවනෙ. කරුණාකරලා මට දෙන්න පුළුවන් ද ඒ ආහාර ලැයිස්තුව...?”

චූටි පුතා මා දෙස විමසිල්ලෙන් බැලුවේ ය. මා භාවිත කළ සුවිනීත බසට ඔබ්බෙහි කිසියම් කෝපයක් නොරුස්නා සහගත බවක් වේදැයි දැනගන්නට වාගේ.

“අද නිවාඩු හිංදා අම්මා අපට උදේට දුන්නෙ කිරිබත්. ඊට පස්සෙ අපි සියඹලා කෑවා.” මද්දු දෑස හකුළුවා ගනිමින් සිහි කරයි.

“ඇයි ඇඹරැල්ලා?” යි චූටි පුතා සිය සොහොයුරා හට උපකාර කළේ ය.

“එහා ගෙදර කුමාරි නැන්ද රොටී දුන්නා. මෙහා ගෙදර කළු නැන්දා අග්ගලා දුන්නා”

“බත් වේලලා බැදලා සීනි දාපු අග්ගලා කෑවට බඩ රිදෙන්නෙ නෑ. මම අග්ගලා නිදොස් කොට නිදහස් කළෙමි.

“නාමල් ගෙනාව නෙළුම් ඇටත් කෑවා.”

පුංචි පුතා දෑතින් ම උදරය මිරිකාගනිමින් හෙළි කළේ ය.

“නරක නෑනෙ. තාම හවස හතරයි. ඔයාල සුමානෙකට හරියන්න කාල තියෙනවනෙ. දවස ඉවරවෙන්නත් කලින්.”

මම කොල්ලන් තිදෙනා දෙස නෝක්කඩු බැල්මක් හෙලුවෙමි.

“ඇයි කාංචනා දුන්න නාරං චූටි පුතා මා දෙස යටැසින් බලමින් වුව ඇත්තම කීවේ ය.

“ලක්ෂාන් පේරත් ගෙනල්ලා දුන්නා අම්මේ.”

පුංචි පුතා කියන්නේ පේර ගෙන ආ මිතුරා පිට වරද පටවමිනි.

“අපි ඇළේ නාද්දි මනුවංශ මාමගෙ පිනි ජම්බු ගහෙන් ජම්බුත් කඩාගෙන කෑවා. කී මද්දු මඳක් ඈතට ගියේ ය. මා කෝපයට පත් වන බව කල්තියාම දැන ගත්තාක් මෙනි.

“හොරෙන්?” යි මම රකුසු වෙසක් මවා ගතිමි.

“කඩාගන්නද කියල අහන්න එයා පේන්න හිටියෙ නෑනෙ අම්මේ..”

චූටි පුතා බැගෑපත් බැල්මක් හෙලුවේ ය.

“මං කියල තියෙනවනෙ ඔයාලට අනුන් ගෙ දේවල් ගන්න එපා කියල. ගහක ගෙඩියක් වුණත් කඩාගන්න ඕන අයිතිකාරයගෙන් අහලා. එහෙම නැත්තං ඒක හොරකමක්.”

තිදෙනාටම දඬුවම් කළ යුතු යැයි සිතමින් වුව මම තවදුරටත් ඉවසුවෙමි. මේ දඟකාර කොල්ලන්ට ගුටි බැට දීම ඔවුන්ගේ පියාත් වැඩිමහල් සොහොයුරාත් බාරගෙන කලක් ගත වී තිබේ. ශාරීරික වධහිංසා පැමිණවීම නොඉවසන මම ඒ හැම වරෙක ම ඔවුන් බේරාගන්නට ඉදිරිපත් වෙමි. ළමයින් නරක් කරන බවට ඔවුන්ගේ පියා මට චෝදනා කරන්නේ එවන් අවස්ථාවන්හි දී ය.

“කෙනෙක් පැළයක් හදන්නෙ ලොකු ආසාවකින්. ඒකට සාත්තු සප්පායම් කරල උස් මහත් කරගන්නෙ දරුවෙක් හදනවා වගේ. ඉතිං කිසිම කෙනකුට අයිතියක් නෑ අනවසරයෙන් ඒ ගසේ කොළයක්වත් කඩන්න. තේරුණාද තුන්දෙනාටම...?” යි මම දැඩි හඬින් අවවාද කළෙමි.

“චන්ද්‍රවංශ මාමා අපේ තාත්තට හරි ලොකු අයියට හරි කියයි ද අම්මෙ...?” චූටි පුතා බියගුළු ලෙස ඇසුවේ ය.

“අයියලා මල්ලිලා තුන්දෙනෙක් පිණි ජම්බු කැඩුවා කියල එයා දැනගනීවි. සමහර විට කියයි.”

“අනේ අම්මේ..” කොල්ලන් තිදෙනාම මගේ ඇඟේ එල්ලුණේ භීතියෙන් විසල් වූ නුවන් අයාගනිමිනි.

“මං කියල තියෙනවනේ”. මම අනුකම්පාවක් නොදක්වමින් කතා කළෙමි.

“මං නං අම්මෙ නඟින්න කලිං ඇහුවා“ චූටි පුතා හැඬුම්බර හඬින් කීවේ ය.

“කාගෙන්ද?” යි මම වහාම ප්‍රශ්න කළෙමි.

“පිනි ජම්බු ගහෙං...”

“ඇත්තට මොකද එතකොට කිව්වෙ...?”

“අතු හෙලවුණේ හා කමක් නෑ ටිකක් කඩාගන්න කියනවා වගේ අම්මේ....”

මම සිනාව මැඬ ගන්නට වෑයම් කළෙමි.

“අනික් එක අම්මේ පුංචි ළමයි ආසයිනෙ පලතුරු කන්න. මද්දු බලගතු හේතුවක් ගෙන හැර පෑවේ ය.

“හොරෙං පිනි ජම්බු කාපු හින්ද ද අම්මෙ මගෙ බඩ රිදෙන්නෙ?”

පුංචි පුතා දැනටමත් පසුතැවෙන බව ඒ හඬ කියා පායි.

“වරදක් කළා කියලා පිළිගන්න එක හොඳයි. සමාව ඉල්ලන එක ඊටත් වඩා හොඳයි. වැරදි නොකර ඉන්න පුළුවන් නම් තමා හුඟාක් හොඳ. කමක් නෑ තුන්දෙනාම මට පොරොන්දු වෙන්නකෝ ආයෙත් එහෙම කරන්නෙ නෑ කියල. මං අපේ ලෙඩාට ඉඟුරු ඉස්ම ටිකක් බොන්න දෙන්නම්. අනිත් දෙන්නත් ටිකක් බීවට කමක් නෑ අමාරුවෙන් වුණත්.”

කොල්ලන් තිදෙනා ගේ ම මුහුණු හැකිළී ගියේ ඉඟුරු යුෂ පානය කළාක් මෙනි.

“මගේ බඩ රිදෙන්නෑ.” මද්දු එක හෙළා කියා සිටියේ ය.

“මගෙත් රිදෙන්නෑ අම්මේ..” චූටි පුතා පැන දුවන්නට සැරසුණේ ය.

“මගෙ බඩත් දැං එච්චර රිදෙන්නෑ...”

පුංචි පුතා සිනාවක් පාන්නට වෙහෙසුණේ ය.

“නෑ. නෑ. ඔයගොල්ලො ඉඟුරු ඉස්ම බොන්නම ඕන.” මම ආවධාරණය කළෙමි.

“ඇයි ඒ?” ඔවුන් එකවර ඇසුවෝ ය.

“වැරැද්දක් කළොත් දඬුවමක් විඳින්නම ඕන නේ”

“අනේ අම්මේ...”