හා හා තරහ වෙන්න තහනම්!

ආදරය උත්තරීතරද? ආධ්‍යාත්මිකද? ආදරය, ප්‍රේ‍මය බොළඳද? සුන්දරද? ආදරය හෝ ප්‍රේමය යනු හුදෙක් ස්ත්‍රී පුරුෂ සබඳතා, ලිහී නොයනයුරින් එක්ව බැඳ තබනා බැම්මක් පමණක්ද? ආදරය හෝ ෙප්‍ර්මය පිළිබඳ විවිධ මතිමතාන්තර සංකල්ප, දර්ශනවාද, ලොව පවතින බව අපි දනිමු. අප විසින් රස විඳිනු ලබන ඕනෑම කලා නිර්මාණයක් තුළ, සෘජුව හෝ වක්‍රව ආදරය, ෙප්‍ර්මය පිළිබඳ සංකල්පනාවක් ගැබ් වී තිබෙනු විය හැකිය. කලාකරුවන් එකිනෙකාට වෙනස් අයුරින් ආදරය පිළිබඳ නිර්වචන දක්වා තිබෙනු අපට පෙනේ.

මහා කවි විලියම් ශේක්ස්පියර්ගේ දොළොස් වන රාත්‍රිය දෘශ්‍ය කාව්‍යයේ ඔලිවියාගේ මුවට නංවා ඇති පේ‍්‍රමය පිළිබඳ මේ අදහස බලන්න. love sought is good. But love unsought is betterලැබෙන ෙප්‍ර්මය හොඳයි. නොපතාම ලැබෙන ෙප්‍ර්්‍මය ඊටත් වඩා හොඳයි. (සිංහල අරුත ටෝනි රණසිංහ විසින් පරිවර්තනය කරන ලද දොළොස් වන රාත්‍රිය කෘතියෙනි) අපගේ මහා කවින්ද්‍රයා සේ ගුණදාස අමරසේකර සූරීන් විසින් හඳුන්වනු ලබන මහැදුරු එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ බොහෝ දෘශ්‍ය කාව්‍ය තුළ ප්‍රේමය හෝ ආදරය පිළිබඳ අපූරු නිර්වචන හමුවේ. සද්ධර්මාලංකාරයෙහි තේභාතික වර්ගයෙහි ස්වර්ණතිලකා වස්තුව ඇසුරු කරමින්, සරච්චන්ද්‍රයන් විසින් නිර්මාණය කරන ලද පෙමතො ජායතී සොකො, දෘශ්‍ය කාව්‍යයෙහි, ප්‍රධාන භූමිකාව වන උද්දාල බ්‍රාහ්මණ ඇදුරිදුගේ මුවට නංවා ඇති මේ ගීයෙහි අර්ථ පූර්ණ රසය හඳුනා ගන්න.

“ඈත සිට පිරිනමන භක්තිය
ගෙනත් පාමුල තබන බුහුමන
ඒ එකක්වත් නොවේ සෙනෙහස
දිවා රෑ දෙක හද සමීපේ
දෑස නොපියා බලා ඉන්නා
දෙයකි සෙනෙහස
නොලැබ පරිභව මුත් කිසිත් අන්,
මොළොක් තෙපුලක් ලබා ගැනුමට
ජීවිතය තුරු
මුහුණ මත ඇස් රඳා ඉන්නා
දෙයකි සෙනෙහස...”

සෙනෙහස පිළිබඳ, කවියෙකුට මීටත් වඩා තවත් කවර අර්ථකථනයක් ඉදිරිපත් කළ හැකි වේද? එහෙත් මේ ෙප්‍ර්මයම සෙනෙහස, ආදරයම, තම නිර්මාණයකදී අතිශය බොළඳ යයි අපට හැඟෙන අයුරින් ඉදිරිපත් කිරීමට හැකි බව මෙන්ම ඉදිරිපත් කොට ඇති අවස්ථාද අපට හමුවේ. “පෙරදා රාත්‍රියේ ඔබ නිදන’යුරු බලා සිටීමට මම සුර දූතිකාවක් ඔබේ යහන් ගැබට එවීමි. ඈ ඉක්මනින් පෙරළා ආවාය. කිම්දැයි ඇසූ කළ, ඈ දුන් පිළිතුර වුයේ “සුර දූතිකාවක් තවත් සුර දූතිකාවක් දෙස බලා සිටින්නේ නැත” යන්නයි ඇගේ පිළිතුර වූයේ. තමන්ගේ පෙම්වතිය සුර දූතිකාවක් වැනි යයි පෙම්වතකු පැවසූ මේ වදන් බොළඳ ෙප්‍ර්මාලාපයක් සේ සිතෙන්නට ද ඉඩ ඇත. එහෙත් ප්‍රේමය එසේය. ආදරය, සෙනෙහස එලෙසය. මහා පුරුෂයෝ ෙප්‍ර්මය හමුවේ, බොළඳ ලෙස හැසිරුණු අවස්ථා පිළිබඳ අපි කියවා ඇත්තෙමු.

විවිධ සමාජ සංස්ථා තුළ, ෙප්‍ර්මසබඳතා, පෙම් බැඳුම්, පෙම් ලිහුම්, පෙම්වතුන් හා පෙම්වතියන්ගේ හැසිරීම් රටා නෙක හැඩ තල ගනී. සුන්දරත්වය, බොළඳ බව, සම්භෝගය, විප්‍රයෝගය, ලිංගිකත්වය, ඊර්ෂ්‍යාව, වෛරය, ශෝකය කනගාටුව, සිනහව, කඳුල, උතුම් වේවා, බොළඳ වේවා, ගැඹුරු වේවා, ළාමක වේවා, කවර වූ ප්‍රේමයකටම පොදු ලක්ෂණ වේ. සරසවි ෙප්‍ර්මය, කාර්යාලීය ප්‍රේමය, පාසල් වියේ ප්‍රේමය, කලාපයේ පේ‍්‍රමය, ක්‍රීඩා ක්ෂේත්‍රයේ, කලා ක්ෂේත්‍රයේ, විවාහ ජීවිතයේ, බස් රියේ, දුම්රියේ ප්‍රේමය මතු නොව, නාගරික, ගම්බද ප්‍රේමය යනුවෙන් වූවද ප්‍රේමය හෝ ආදරය පිළිබඳ වර්ගීකරණ දැක ගත හැකිය. සාහිත්‍ය කලා ආදියෙහිදී මේ වර්ගීකරණ, බොළඳ ප්‍රේම කතා, ගැඹුරු ප්‍රේමය විෂය කොටගත් නව කතා වශයෙන් ද ගීත සාහිත්‍යයෙහි දී බොළඳ ප්‍රේම ගීත, ප්‍රබුද්ධ, සුභාවිත පෙම් ගීත ආදී වශයෙන් බෙදා හඳුන්වනුද පෙනේ.

ගොළු හදවත බොළඳ පෙම් කතාවක් ලෙස දුටු විචාරකයෝ, විරාගය, මළගිය ඇත්තෝ, කරුමක්කාරයෝ, හෙවණැල්ල වැනි නව කතා බොළඳ ප්‍රේ‍්‍ම කතා ලෙස නොදුටහ. ගාට ගාට ඇවිදින් ඇස් දෙක වහලා හිනාවෙන්න, ආදරේට කොනිත්තලා පෑල දොරින් පැන දුවන්න වැනි ගීයක අත්දැකීම බොළඳ නොවේ යයි අපට පවසන්නට හැකිද? රෑට රෑට ඉහඉද්දර කොඳුර කොඳුර කවි කියන්න. පාට පාට පන් පැදුරේ මටත් ටිකක් ඉඩ තියන්න යයි කරනු ලබන ඉල්ලීම පෙම්වතියකගේ හෝ බිරියකගේ බොළඳ ඉල්ලීමක් යයි ඔබ නොසිතන්නේද? මේ ආදරය බොළඳද, ගැඹුරුද කියා විමසා බැලිය යුතු ද? මේ බොළඳබවට අප ඇලුම් නොකරන්නේද?

දීපිකා ප්‍රියදර්ශනී සොයුරිය 2010 සැප්තැම්බරයේ දවසක සුදු හංසිනී යනුවෙන්, ඇගේ අලුත්ම ගීත එකතුව ශ්‍රාවකයන් අත පත්කිරීමට සමගාමීව, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සමුළු ශාලා පරිශ්‍රයේදී සංගීත ප්‍රසංගයක්ද ඈ පිළිබඳ රසික, විචාරක ජන සමූහයා ලියූ ලිපි එකතුවක් ද ඊට ඇගේ බොහෝ ගී සංකල්පනා ඒවායේ ස්වර ප්‍රස්ථාර ද සහිතව ‘ගීතය නම් දීපයෙන් ප්‍රිය දසුන් මවන්නී’ නම් කෘතියක් ද අපට ප්‍රදානය කළාය. මේ ග්‍රන්ථය සංස්කරණය කර දෙන්නැයි ඈ මගෙන් ඉල්ලා සිටි මොහොතේ, මා නැගූ පළමු ප්‍රශ්නය වූයේ ඒ සා භාරදූර කටයුත්තක් නිශ්චිත කාලරාමුවක් තුළ ඉටු කිරීමට නම්, මා සමඟ කටයුතු කරන අනෙක් පිරිස කවුරුන්ද කියායි.

කෘතියට ඇතුළත් සියලු අලුත් ඡායාරූප සරත් පෙරේරා විසිනුත්, දෘශ්‍ය සංකල්පය, මුද්‍රණ අලංකරණය හා පිටු සැලසුම ඩබ්. එම්. කේ. විජයබණ්ඩාර විසිනුත් ඉටුකරනු ලබන්නේය. දීපිකා කී පසු සංස්කරණ අභියෝගය භාර ගතිමි. ඇතුළත් කළ යුතු ලිපි පිළිබඳ දීපිකා සමඟ රණ්ඩු කරමින් සිටින අතරෙහි ඇතුළත් කිරීමට තෝරාගෙන තිබු එක් ගීත රචනාවක් වෙත මසිත බැඳුනේ නිතැතිනි. ගීත රචකයා කවුරුන් දැයි නොදැන සිටි බැවින්ද ගීතය අසා නොතිබුණෙන්ද විජයබණ්ඩාර සමඟ එම ගීයට සවන්දීමට මග පාදා ගත්තෙමි.

දීපිකාගේ මධුරතර ස්වරයට සංගීතය මුසුකොට තිබූ රෝහණ වීරසිංහයන්ගේ මිහිරි තනුවද ඇසූ සැණින් බොළඳ යයි හැඟෙන සරල වදන් මාලාවද රැගත් අපුරු ගීතයෙන් මසිත මත් වූ බව තවමත් මතකයි. එය පෙම්වතියකගෙන් පෙම්වතෙකුට කෙරෙන අතිශය බොළඳ ඉල්ලීමක් නොවේද? ගීයෙහි පද හා සංකල්පනාව කුමාර කවිරාජ නම් තරුණ ගීත රචකයෙකුගේ බව දැන ගතිමි. පෙම්වතිය පෙම්වතාට මෙසේ කියන්නීය. ඔබේ මුවේ රැඳුණු සිනාව, මුකුලිත වනවා, පරවී යනවා දකින්නට මම ආසයි. ඒත් එක්කම යාන්තමට වගේ හිත රිදවන්නටත් විහිළුවක් කරන්නම්. හැබැයි ඔන්න තරහ වෙන්න නම් ඔට්ටු නෑ.

“විකසිත හසරැලි
මුකුලිත වෙනකොට
බලා ඉන්න ආසයි
යාන්තමට වගෙ හිත රිදවන්නට
විහිළු කරන්නම් මං
හා හා තරහ වෙන්න තහනම්..”

ආලවන්ත වදන් පිරුණු පෙම්පතක් මාවෙත එවූ පසු දින තුන හතරක් පිළිතුරු නොලියා පමා කරන්නම්. හැබැයි ඒකට තරහ වෙන්න බෑ ඔන්න. කුඩා දරු දැරියන් එක්වී සෙල්ලම් කරන කළ මෙවැනි වදන් පවසනු අපට ඇසී ඇත. මම හැංගෙන්නම්, ඔයා මාව හොයන්න, හැබැයි වත්තෙන් එළියට ගිහින් හැංගෙන්න ඔට්ටු නෑ..” මේ එවැනිම බොළඳ, එහෙත් සුරතල් ඉල්ලීමක් නොවේද? පෙම්පතකට පිළිතුරු පමාවන කල පෙම්වතාට තරහ යෑම ස්වභාවික වූවත්, මේ පෙම්වතාට එසේ තරහ වන්නට නොහැකිය.

“ආලවදන් පිරි පෙම්පත් ලැබුනම
සෙනෙහස උතුරන හිත රිදවන්නට
පිළිතුරු නොලියා දින තුන හතරක්
පමා කරන්නම් මං
හා හා තරහ වෙන්න තහනම්....”

පෙම්වතුන් පෙම්වතියන් කලින් ගිවිස ගත් පරිදි ගිවිසගත් හෝරාවක ගිවිස ගත් ස්ථානයක හමුවීම පෙම්කරනා සමයේ නුහුරු නුපුරුදු චර්යාවක් නොවේ. එහෙත් මේ පෙම්වතිය ඔහු හමුවන්නට යන්නේ අඩහෝරාවක් පමාවීය. එසේ පමා වී ගිය කල තරහ වන්නට තහනම් යයි. ඈ ඔහුට අණ පණවයි. කුමාර කවිරාජ ගීත රචකයා දීපිකාගේ මුවට නංවන්නේ අතිශය බොළඳ ඉල්ලීම් මාලාවක්. එහෙත් එසේ වූ පමණින් ඔවුන්ගේ ආදරය බොළඳ යයි අපට පැවසිය හැකි ද? පැවසීම සාධාරණ ද? බොළඳ වුවත් එය ආදරයේ සුන්දරත්වය, චමත්කාරය, කෙළිලොල්බව මතු කිරීමක් නොවන්නේ ද?

හා, හා තරහ වෙන්න තහනම් යයි යළි යළිත් ඈ පවසන්නී, ඔහු වෙත ඇති අසීමිත ස්නේහයේ ගැඹුර අපට ද දැනෙන්නට ඉඩ හරිමිනි. මේ ගීතය ගායනයේ දී දීපිකා කෙළි ලොල් දඟකාර යෞවනියකගේ මුදු ‘බොළඳ හඬින් අප අමතන්නීය. සරොජා ගායනාවේදී අපට ඇසෙන ශෝකී ස්වරය වෙනුවට ගීයෙහි අත්දැකීමට අපූරුවට ගැළපෙන යෞවනත්වයේ බොළඳ මිහිරි ස්වරයම ඈ තෝරා ගනී. ඉදින් ඒ හඬට වශී වන්නෙකුට තරහ වන්නට හැකිද? අප විසින් මේ පෙම්වතියට මෙසේ පිළිතුරු දිය යුතු යයි මට සිතේ. “හා හා තරහ නොවී ඉන්නම්...”