Vini! Vidi!! Vici!!!

අපේ පොත් ප්‍රකාශයට පත් කරන හිතවත් පොත් ප්‍රකාශකයාගේ විසල් මේසය ඉදිරිපිට පැනවූ අසුන් මත අපි වාඩි වී සිටියෙමු. මා සමඟ සිටි දෙදෙන ම නමක් දිනූ ලේඛකයෝ ය. දෙදෙන ම ජනශ්‍රැති අධ්‍යයනය කෙරෙහි නැඹුරු වූවෝ වෙති. එසේ ම කෙමෙන් ජන විඥානයෙන් බැහැර ව යන ජනශ්‍රැති බොහෝ වෙහෙස දරා සොයමින් ජන මනස පොහොසත් කරන්නෝ වෙති. ඉන් එක් ලේඛකයකු තමන් ප්‍රකාශනය පිණිස රැගෙන ආ කෙටිකතා පොත අපේ ප්‍රකාශක මහතාට භාර දුන්නේ ය. පොත පෙරළා බැලූ ප්‍රකාශක මහතා මන්දස්මිතයකින් මුව සරසා ගත්තේ ය.

“මම බලාපොරොත්තු වුණේ ජනශ්‍රැති පොතක්.” ඔහු එසේ කීවේ අපේ මිත්‍රයාගේ ජනශ්‍රැති මෙහෙවර අගය කරමිනි. ඉන් අනතුරුව ඔහු කෙටිකතා පොත් පිළිබඳ ව කතා කරන්නට ද අමතක නො කළේ ය.

“ඇත්තට ම අපේ ප්‍රකාශකයො කෙටිකතා පොත්, කවි පොත් භාරගන්න කම්මැලියි. ඒ පොත් විකිණෙන්නෙ නෑ කියන මතය නිසා. ඒත් මම පහුගිය කාලෙ කෙටිකතා, කවිපොත් කීපයක් ම පළ කළා. ලේඛකයන්ට අත දෙන්න. මෙතන වැරැද්ද තියෙන්නෙ පොත් සාප්පුවල මිනිස්සු කෙටිකතා කියවන්න අකමැති නෑ. ඒත් පොත් සාප්පුවල. කෙටිකතා පොත්, කවිපොත් තියන්නෙ පාඨකයන්ට නො පෙනෙන මුල්ලක.”

අපේ හිතවත් ප්‍රකාශකයා කියන්නේ ඇත්තකි. වෙළෙඳ ලෝකය විසින් කෙටිකතා හා කවිපොත් බැහැර කර ඇති සේ ය. පොත්හල් හිමියෝ සිය පොත්හලට කෙටිකතා වැද්ද ගන්නට එතරම් කැමැත්තක් දක්වන්නෝ නො වෙත්. පාසල්වල, නගරශාලාවල පොත් ප්‍රදර්ශන පවත්වමින් පොත් අලෙවි කරන වෙළෙන්දෝ ද කෙටිකතා හා කවිපොත් භාරගන්නට කැමැත්තක් නො දක්වති. ඔවුහු පාසල් විභාග සඳහා ලියැවුණු උපකාරක පොත්, පරිවර්තිත හා ස්වතන්ත්‍ර, යොවුන් කතා, පරිවර්තන හා නවකතා ආදියෙන් සෑහීමට පත් වෙති. වෙළෙන්දන්ට දොස් කියන්නට ද නො හැක. ව්‍යාපාරයක නිරත වන අයට අවශ්‍ය වන්නේ වැඩියෙන් අලෙවි වන ඉන් ලාභ ලද හැකි වෙළෙඳ භාණ්ඩ මිස අලෙවියක් නැති දේ නො වේ.

කෙටිකතාව හෝ කවිය මෙසේ බැහැර කළ යුතු සාහිත්‍යාංගයෝ වෙත් ද? කිසිසේත් ම නැත. කවිය හා කෙටිකතාව ලෝකය ම මහත් ඉහළින් අගයන සාහිත්‍යාංගයෝ ය. කෙටිකතාවෙන් ලෝක පූජිත වූ සාහිත්‍යධරයන් ගේ නාම ලේඛනය ඉතා දිගු නාම ලේඛනයකි. අපේ රටේ බොහෝ ලේඛකයෝ ද කෙටිකතාවෙන් සිය සාහිත්‍ය ජීවිතය ආරම්භ කෙළෝ වෙත්. ජී. බී. සේනානායක සිය දිගු සාහිත්‍යමය චාරිකාව ආරම්භ කරන්නේ ‘දුප්පතුන් නැති ලෝකය’ කෙටිකතා සංග්‍රහය ලියමිනි. ඔහු නවකතාවක් ලියන්නේ ‘පළිගැනීම’ හා ’මිතුරිය’ යන ඊළඟ කෙටිකතා සංග්‍රහ ද පළ වීමෙන් පසු ය. ගුණදාස අමරසේකර සූරීන්ගේ මුල් ම සාහිත්‍ය නිර්මාණය ‘රතුරෝස මල’ නම් කෙටිකතා එකතුවයි. කේ. ජයතිලක සාහිත්‍යයේ අත් පොත් තබන්නේ පුනරුත්පත්තිය සහ තවත් කෙටිකතා’ කෘතිය පළ කරමිනි. ඒ. වී. සුරවීර ද ‘කාටත් මා එපා වෙලා’ කෘතියෙන් නිර්මාණාත්මක ලේඛනයට එක් විය.

ජයතිලක කම්මැල්ලවීර, ටෙනිසන් පෙරේරා, කමල් පෙරේරා, සෝමරත්න බාලසූරිය ආදීන්ගේ නම් අපේ මතකයේ රැඳුණේ ඔවුන් විසින් අපේ සාහිත්‍යයට එකතු කරන ලද කෙටිකතා කෘති හේතුවෙනි. (මෙකියන අය පසුව නවකතා ලිවීම වෙන ම කාරණයකි) නිශ්ශංක විජේමාන්න, කීර්ති වැලිසරගේ, ලියනගේ අමරකීර්ති, පියල් කාරියවසම්, තරංගා රණසිංහ වැන්නෝ මෑත කාලීනව ලාංකීය කෙටිකතාවේ ඉඩහසර පුළුල් කරන්නට දායක වූ ලේඛක ලේඛිකාවෝ ය.

වසරකට නවකතා සිය ගණනක් දොරට වඩින විට කෙටිකතා පළවන්නේ අල්පයකි. පසුගිය වසරේ කිය වූ කෙටිකතා කෘති අතුරින් වෙසෙසින් මා සිත් ගත්තේ ආචාර්ය ලියනගේ අමරකීර්ති ලියූ ‘අර මිහිරි සීනූ නාදය” කෙටිකතා කෘතියයි. අභාග්‍යකට මෙන් 2013 වසර ගෙවුණේ කිසිදු සිංහල කෙටිකතාවක් කියවන්නට අවස්ථාව නො ලබමිනි. එහෙත් සතියකට පමණ පෙර දොරට වඬින ලද කෙටිකතාවක් කියවන්නට අවස්ථාව ලැබිණි. කෙටිකතාකරුවා මින් පෙර කෙටිකතා එකතුවක් පළ නො කළ නවක කෙටිකතාකරුවෙකි. ‘දීප්ති දහනක’ නම් ඔහු කලකට පෙර වේදිකා නාට්‍ය ආදිය සඳහා විවිධ අයුරින් දායක වූවෙකි.

දීප්ති දහනක සිය කෙටිකතා කෘතිය නම් කරන්නේ ‘බාලසූරිය ආර්. ආර්’ නමිනි. සිය කෙටිකතා නාමකරණයේ දී වෙනස් මගක් අනුගමනය කරන්නට සිතැති ඔහු සිය කෙටිකතා කෘතියේ එන මුල් ම කෙටිකතාව Vini! Vidi! ! Vici!!! යනුවෙන් නම් කරයි. මේ වනාහි ලතින් භාෂාවේ එන වචන තුනෙකි.

ජුලියස් සීසර් ජය ගන්නට අසීරු යයි සැලකුණු ‘ගෝල් සිටි’ පෙදෙස ජය ගනිමින් පවසන ලද උදාන වාක්‍යයක් සේ මෙම ලතින් වචන තුන සැලකේ. එහි සිංහලාර්ථය මෙසේ ය. ‘පැමිණියෙමි, දිටිමි’ ජයගතිමි: භාෂණය ගුරු කොටගත් ආඛ්‍යාන රටාවෙකින් ලියැවෙන මෙම කෙටිකතාවේ කථකයා සිනමා සහාය අධ්‍යක්ෂවරයෙකි. ඇඹිලිපිටියේ රූ ගත කිරීම්වලට සහභාගී වන ඔහු බිරිඳගේ උපන් දිනය දා බිරිඳට නො දන්වා නිවෙසට පැමිණෙයි. තමා අත ඇති යතුරකින් පිටුපස දොර ඇරගෙන නිවෙසට ඇතුළු වන ඔහුට අවශ්‍ය බිරිඳ මවිතයට පත් කරන්නට ය. එහෙත් දකින දසුනින් ඔහු භ්‍රාන්තියට පත්වෙයි. ඔහු දකින්නේ නිදන ඇඳ මත සිය බිරිඳ හා සැතපෙන නන්නාඳුනන පිටස්තරයෙකි.

එතැන් සිට දීප්ති කථකයාගේ සිත තුළ මොහොතින් මොහොත මතුවෙන සිතිවිලි හා සිය වියරු සිතිවිලි සමඟ කථකයා කරන අරගලය පාඨකයාට රුචිකර ශෛලියකින් විවරණය කරන්නට වෙහෙසෙයි. කථකයා කුස්සියෙන් කැපෙන පිහියක් රැගෙන එයි. බිරිය දරුවන් වෙනුවෙන් ජීවත් කරවිය යුතු ය. අනෙකා මරා දැමිය යුතු ය. එහෙත් සිතිවිලි සමඟ දැඩි අරගලයක නිරත වන ඔහු අවසානයේ කිසිවක් නො දත්තකු සේ ඉදිරිපස දොරට තට්ටු කරයි. දීප්ති දහනකගේ කෙටිකතාවලියේ වෙසෙසින් ම මා සිත් ගත් කෙටි කතාව Vini! Vidi!! Vici!!! නම් කෙටිකතාවයි.

කෙටිකතා අටකින් සමන්විත දීප්තිගේ ‘බාලසූරිය ආර්. ආර්.' කෙටිකතා කෘතියට ප්‍රකාශනයෙන් දායක වන්නේ උපුල් ශාන්ත සන්නස්ගලගේ සංහිඳ ප්‍රකාශන ආයතනයයි. අලුත් කෙටිකතාකරුවකුට සිය කෘතිය ප්‍රකාශනය කරගන්නට ඉමහත් වෙහෙසක් දැරිය යුතු කාලයක උපුල් ශාන්ත සන්නස්ගලගේ මෙහෙවර අගය කළ යුතු ය. අලුත් කෙටිකතාකරුවන් අපට ඇවැසි වන මෙවන් කාලයක දීප්ති වැනි කෙටිකතාකරුවන්ගේ අඩු ලුහුඬුකම් තිබුණත් ඔවුන් නිර්දය විචාරය නැමැති කෙවිටෙන් තලා පීඩාවට පත් නො කොට දයාවෙන් ගුරු හරුකම් දීම වඩාත් උචිත යයි මට හැඟෙයි.