ක්ලැරන්ස් ගේ සින්දු ගුවන් විදුලියට ‘poison

ගීත පොත් මිලදී ගැනීම, කියවීම හා ඒවා එක්රැස් කර තබා ගැනීම කුඩා කල මගේ එක් විනෝදාංශයක්ව තිබුණා. එහෙත් එකල මගේ දෑසට හසුනොවුණු එක්තරා ගීත සංග්‍රහයක් පසුගියදා රුක්ෂාන් කරුණානායක ළබැඳි මිතුරා මට තිළිණ කළා. (එය මුල් පිටපතක් නොව ඡායාස්ථ පිටපතක්)

‘හදවතක ඇඳි ගී’ යනුවෙන් නම්කර ඇති මෙම ගීත පොතට ඇතුළත් වන්නේ මූන්ස්ටෝන්ස්, ත්‍රී සිස්ටර්ස් හා ගෝල්ඩන් චයිම්ස් යන සංගීත කණ්ඩායම් තුනේ ගීත. පොත සංස්කරණය කරලා තියෙන්නේ ෂෙල්ටන් වීරරත්න යැයි සිතෙන්නේ ඔහු ඊට පෙරවදනක් ලියා ඇති බැවින්.

මෙහි එන ‘දිලීප පොඩි පුතු’ ගීතය හැරුණුකොට සෙසු ගී සියල්ලේ පදමාලා හා ස්වර රචනා ක්ලැරන්ස් විජේවර්ධනගේ. (‘දිලීප’ ගීතයේ පදමාලාව කරුණාරත්න අබේසේකරගේ.)

ක්ලැරන්ස් මා කුඩා කල සිටම ආදරය කළ ගායකයෙක් හා සංගීතඥයෙක්. ඔහු ප්‍රමුඛ මූන්ස්ටෝන්ස් සංගීත කණ්ඩායම බිහි වුණෙත් 1966 දී විතර. ඒ වනවිට අන්තර් ජාතිකව බීට්ල්ස්, ෂැඩෝස්, ලා වෙන්බුරාස්, කොමට්ස් වැනි සංගීත කණ්ඩායම් හා ලංකාවේ ලොස් කබයියෙරෝස්, ජෙට් ලයිනර්ස්, සැවේජ් වැනි සංගීත කණ්ඩායම් ද බිහිව තිබුණා. මෙයින් දේශීයව ගත්තම සිංහල ගීත ගැයුවේ නෙවිල් ප්‍රනාන්දු ප්‍රමුඛ ලොස් කබයියෙරෝස් සංගීත කණ්ඩායම පමණයි. මූන්ස්ටෝන්ස් නිර්මාණය කිරීමෙහිලා තමන්ට බලපෑවේ ලොස් කබයියෙරෝස් යැයි ක්ලැරස්ම එක් තැනක කියා තිබෙනවා. ‘මූන්ස්ටෝන්ස්’ මුල් ගීතවල තිබෙන්නේ ලොස් කබයියෙරෝස් වගේම කැලිප්සෝ ශෛලිය. එකුස්ටික් ගිටාර්, කොන්ගා බෙරය (කියුබන් ඩ්‍රම්ස්) තමයි කැලිප්සෝ සංගීතයේ ප්‍රධානම භාණ්ඩ.

ක්ලැරන්ස්ගේ ගී නිර්මාණ අප තුළ ඇති කළේ විචිත්‍ර චමත්කාරයක්. හැටේ දශකය අග භාගයේ විතර රත්නපුරේ ජනපි‍්‍රය තරුණයන් දෙදෙනෙක් හිටියා. එක්කෙනෙක් දේශපාලනඥයෙක් වූ සරත් මුත්තෙට්ටුවේගම. අනිත් තරුණයා ක්ලැරන්ස්. වෙනසකට තියෙන්නේ ක්ලැරන්ස් තවමත් අප හදවත් හි ජීවත්වීමයි.

ක්ලැරන්ස් පදමාලා ඉතාම සරලයි. ඒ වගේම සුගමයි. ඒවායින් උද්ධරණය වෙන්නේ කොළඹ යුගයේ රොමැන්ටික්ස් ලක්ෂණ යැයි මා සිතනවා. පහත එන ගීත ඛණ්ඩය ඊට හොඳ උදාහරණයක්.

සිහින් සිනිඳු දුහුල් රිදී රේණුවල නැඟී
සිහින් දෙපා පොඩි හොවලා ලොවට එන සැටි
පළඟැටි ගී තනුව අනුව මලක් මත නැඟී
සඳ කුමරිය පිනි කැට නා නැවත යන සැටී

පදමාලා විතරක් නෙමෙයි ගී තනු ද අතිශයින්ම සරලයි. කුඩා දරුවකුට වුණත් එක් වරක් ඇසූ පමණින් ඒ ගීත කටපාඩම් වන්නේ ඒ නිසයි.

ක්ලැරන්ස්ගේ සංගීත දිවියේ ලොකුම භාග්‍යයක් වුණේ අති දක්ෂ වාදක පිරිසක් තම කණ්ඩායම්වලට දායක කර ගත හැකිවීමයි. ඒ නම් සියල්ල සඳහන් කිරීමට මෙහි අවකාශ නැතත් ඩික්සන් ගුණරත්න (ලීඩ් ගිටාර්) ශශ්‍රී කාන්ත දසනායක (ඩ්‍රම්ස්) මුන්ස්ටෝන්ස් ආරම්භක සාමාජික, ගායක හා වාදක ඇනෙස්ලි මාලේවන මෙහිලා අපට කිසිසේත්ම අමතක කරන්න බැහැ.

මූන්ස්ටෝන්ස් වලින් පස්සේ ක්ලැරන්ස් ගෝල්ඩන් චයිම්ස් හා සුපර් ගෝල්ඩන් චයිම්ස් හා මදාරා යන සංගීත කණ්ඩායම් ද පිහිටුවා ගන්නවා.

අපේ ගුවන්විදුලිය එදා කණ්ඩායම් සංගීතය දිහා බැලුවේ අවඥාසහගත දෘෂ්ටිකෝණයෙන්. ගුවන්විදුලිය කණ්ඩායම් ගී ප්‍රචාරය කිරීම ප්‍රතික්ෂේප කළා. එය ගුවන්විදුලිය පවත්වාගෙන ගිය වැරදි සංගීත ප්‍රතිපත්තියේ අනිටු විපාකයක්. ඒ සඳහා ඔවුන් පාවිච්චි කළ වචනය තමයි ‘පොයිසන්’ යන්න. poison ‘වස’ යන අර්ථයයි ඉන් කියැවුනේ. ඇත්තටම කණ්ඩායම් ගීත එබඳු වස විසක් යැයි කියන්න පුළුවන් ද? ඒක තනිකර අගතිගාමි මතයක්.

ක්ලැරන්ස් ගේ ගීත ‘වෙස්ටර්න්’ සින්දු යැයි ඇතමුන් කිව්වත් ඇත්තටම ඔහුගේ ගී සියල්ල එසේ යැයි කීම සහේතුක නැහැ. ‘උඩරට නිළිය’ වැනි ගීතයක් ගත්තම එහිලා ගැටබෙරය පවා පාවිච්චි වුණු ආකාරය අපි දන්නවා. එසේම ‘සුරඟන වෙස් වළා’ ගීතයෙන් ඇසෙන්නේ ‘ගුඳ ගුඳ ගුඳ, තකිත තකිත’ නම් වූ රබන් පදය. එසේම ‘කඳ සුරිඳුනි’ වගේ ගීතයකින් ඇහෙන්නේ මොන වෙස්ටර්න් ද? එය තනිකරම නාගසලම් නැත්නම් නාදසුරම් ශෛලිය ඇසුරු කරගත් ගීතයක්.

ක්ලැරන්ස් ගැන කතා කරද්දි ඔහු වෙනත් ගායක ගායිකාවන්ට නිර්මාණය කළ ගී තනු ගැනත් අපේ අවධානය යොමු විය යුතුයි. මල් පිබිදෙන එක වසන්ත සමයක (එච්. ආර්. ජෝතිපාල) එදා රෑ ගුවන් තොටුපළේ දී (මිල්ටන් මල්ලවආරච්චි), ඈත රන් විමන් තුළින් (ප්‍රියා සූරියසේන), සිකුරුලියා (මිල්ටන් පෙරේරා), සමුගෙන යන්නෙමි (වර්නන් පෙරේරා / ඉන්ද්‍රානි පෙරේරා), රුවට රුවේ සකුරා ඉවුරේ (ටී. එම්. ජයරත්න) වැනි ගීත ක්ලැරන්ස් ගේ ඉමිහිරි තනු. ඇතැම් ගායක ගායිකාවන්ගේ අප්‍රමාණ ජනප්‍රියත්වයට බොහෝ දුරට බලපෑවේ මේ සුමධුර ගී තනු.

ගායකයකු වශයෙන් ක්ලැරන්ස් ගේ ඉතාම විශිෂ්ට මට්ටමේ ගීත රැසක් තිබෙනවා. ‘දිලීප පොඩි පුතු’, ‘ගමෙන් ලියුමක් ඇවිල්ලා’, ‘කිරිමුහුද’, ‘සිහින ලොවක්’, ‘රෑ තාරකාවෝ’, ‘රම්‍යා’, ‘මාලිනියේ’, නිදිබර නෙත් දෙක’, ‘ඈත එපිට හිම කන්දෙන්’, ‘විකසිත හදමල්’, වැනි ගීත මට මෙහිලා මතකයෙන් සඳහන් කළ හැකි නිර්මාණ.

ඒ විතරක් නෙමෙයි බොහෝ රසිකයන් අහලා නැති ක්ලැරන්ස්ගේ තවත් ගී රාශියක් තැටිවල තිබෙනවා. ඒවා ගුවන් විදුලියේ කෙසේ වෙතත් පෞද්ගලික ගුවන්විදුලි නාළිකාවල ප්‍රචාරය වෙනවා මට ඇහිලා නැහැ.

ප්‍රසංග වේදිකාවේත් ක්ලැරන්ස් පෑ පෙළහර උත්කෘෂ්ඨයි. ඔහුට පුළුවන්කමක් තිබුණා, රිදම් ගිටාර් එක අතට අරගෙන එළිවෙනකම් වුණත් වේදිකාව මත නැඟලා සින්දු කියලා රසිකයන්ව පිනවන්න. ඒක හොඳ හැටි සාක්ෂාත් වුණු අවස්ථාවක් තමයි ක්ලැරන්ස්ගේ නිව්යෝර්ක් ප්‍රසංගය.

මේ තීරු ලිපියේ මෙවර මා ක්ලැරන්ස් ගැන මෙබඳු සටහනක් තැබුවේ 3 වැනිදාට ක්ලැරන්ස්ගේ 70 වැනි ජන්ම අනුස්මරණ දිනය යෙදී තිබූ බැවින්. ජීවතුන් අතර සිටියා නම් දැන් ඔහු 70 හැවිරිදි වියපත් පුද්ගලයෙක්.