නස්රුදින් ලා ඊසොප් ලා සහ අන්දරේ ලා

චීනයේ ජාතීන් 56 ක් වෙසෙන අතර ඉන් මහ ජාතිය “හැන්” වරුය. ඉතිරි ප්‍රමාණය සුළු ජාතීන්ය. ඉන් දෙකකට හැර අනෙක් ජනවර්ගයන්ට ආවේණික වූ භාෂා ද ඇත. ලෝකයේ අති බිහිසුණු කාන්තාර පිහිටි ප්‍රදේශයක කෙළවරෙහි හිමගිරි ශිඛර මධ්‍යයේ පිහිටි සින්කියෑං ඉහත කී සුළු ජාතියක් වන උයිගර්වරුන්ගේ නිජබිමයි.

වෙන ම භාෂාවක් ඇති උයිගර්වරු ජනකතා හා ජනකවි ආදියෙන් පිරි සාහිත්‍යයක උරුමක්කාරයෝ ය. ලොව පුරා ප්‍රකට කවට කථිකයෙක් වන නස්රුදින්ගේ උපන් බිම ද උයිගර් දේශය යැයි මතයක් ඇත. උයිගර් දේශයේදී ඔහු හැඳින්වෙන්නේ ඇසෙන්ඩි නස්රුදීන් යනුවෙනි. අරාබිකරයේදී හෝ වෙනත් මුස්ලිම් රටවලදී ඔහු මුල්ලා නස්රුදින් නම් වෙයි.

ජනකතාවල එන බොහෝ වීර චරිත මෙන් ම නස්රුදීන් ද පොදු ජනයාගේ හිතවතෙකි. එහෙත් ඉහළ පෙළැන්තියට ද ඔහු නැතුව බැරිය. ඔහු සැමගේ ආදරය දිනාගත් පොඩි මිනිහෙකි. උපහාසය ඔහුගේ එකම ධනයයි. ආයුධයයි. අපහාසය ඔහු ළඟ නොවීය. එනිසාම නස්රුදින්ට තරහකාරයින් ද නොවීය.

මීට කලකට ඉහත විමලදාස සමරසිංහ නමැති ශූර පරිවර්තකයා විසින් උයිගර් ජනකතා එකතුවක් සිංහලට නඟා පළකරවන ලදී. ඉතා රසවත් උපහාස කතාවලින් එය පොහොසත්ය. මේ එහි එන එක් කතාවකි.

දිනක් දැකුම්කලු තලප්පාවක් හිසේ බැඳගත් ඇසෙන්ඩි නස්රුදින් නිවසින් පිටව ඇවිදින්නට ගියේය. හදිසියේ ම ඔහු හමුවට පැමිණි මිනිහෙක් නස්රුදින් දෙස බලා මෙසේ කීය.

“මහත්මයා කරුණාකරලා මේ ලියුම මට කියවලා දෙන්න”

“මම අකුරු දන්නෙ නැහැ නෙව. මං උගතෙක් නෙවෙයි” නස්රුදින් අහිංසක සිනාවක් පාමින් කීවේය.

“ඔච්චර අගේ කරන්න එපා... ඔබ හිසේ බැඳ සිටින තලප්පාවේ හැටියට ඔබ බොහොම උගත් කෙනෙක්” මිනිසා නැවත කීවේය.

එය ඇසූ නස්රුදින් තම හිස පැලඳි තලප්පාව ගලවා එය මිනිසාගේ හිස මත තැබීය.

“උගත්කම තියෙන්නේ මේ තලප්පාවේ නම් මම ඒක ඔබට දෙනවා. එතකොට ඔබේ ලිපිය ඔබටම කියවා ගන්න බැරියැ...”

පුරාණ කාලයේ රටින් රටට කටින් කට ගිය ජනකතා, ජන ගී අද ගමන් කරන්නේ විද්‍යුත් මාධ්‍ය හරහා ය. අන්තර්ජාලය ඔස්සේ එන නොයෙකුත් කතා, විවිධ ජාතීන්ට අනුකූල වන අන්දමින් ඒ ඒ භාෂාවන්ට නැගී ප්‍රචාරය වෙයි. විශේෂයෙන් ම දේශපාලන උපහාස කතා, රටින් රටට ගැළපෙන සේ අනුවර්තනය වන ආකාරය විශ්මිතය. එබඳු නිර්මාණකරණයෙහි යෙදෙන නූතන නස්රුදීන්ලා නිර්නාමිකව ම සිටිති. එබඳු ඇතැම් කතාවක් පැරණි ස්වරූපයෙන් සිටියද නව අරුත් සපයයි. මේ ඊට නිදසුනකි.

මොංගෝලියාව නම් රටේ විසූ ඩොං කිං - රොන් ජොං නමැති පුද්ගලයා හැම විට ම තමන් අනුන්ට වඩා උසස්, උගත් කෙනෙකු යැයි සිතුවේය. තම උගත්කමට නොසරිලන්නේ යැයි සිතූ බැවින් කිසිදු රැකියාවක් නොකළේය. මත්පැන් ලොබින් පෙළුණු ඩොං කිං නගරයේ අවන්හලේ ගානේ යමින් අනුන්ට ණය වෙමින් බිව්වේය. තමන් බොහෝ පතපොත කියවා ඇති බව ඇඟවූ ඔහු තම දේශයේ සිටින සියලු කතුවරුනට අපහාස මුඛයෙන් කතා කළේය.

එක් දිනක් අවන්හලකදී හමුවූ ඔහුගේ පැරණි මිතුරෙක්, ඩොං කිං අනුනට බණිනු අසා සිටිය නොහී මෙසේ කීවේය.

“අයිසෙ ඩොං කිං - රොන් ජොං! අනුන්ට ම බැණ බැණ ඉන්නෙ නැතුව තමුසෙත් ලියනවකො පොතක්”

“මම මොකටද පොත් ලියන්නෙ. මම විචාරකයෙක් විතරයිනෙ” ඩොං කිං තර්කයක් දැම්මේය.

කෙසේ වෙතත්, පොත ලිවීම සඳහා අත්තිකාරම් මුදලක් දීමට මිතුරා පොරොන්දු වූ පසු ඩොං කිං කඩදාසි මිටියක් ද ගෙන ගෙදර ගියේය. බොහෝ වෙහෙස වී පොත ලියූවත්, නගරයේ කිසිවෙකුත් එය අගය කළේ නැත. එය ආධුනික කතාකරුවෙකුගේ තලයට ඉහළින් වූයේ නැත. ලැජ්ජාවට පත් ඩොං කිං පොත් ලිවීම අතහැර යළිත් අනුන්ට අපහාස කරමින් විවේචනයෙහි ම නියැළුණේය.

මුල් කාලයේදී ඩොං කිං ගේ මත පිළිගත් කීප දෙනෙක් සිටියද පසුව ඔවුන් ද ඔහු දකින තැන මඟහැර ගියේ, හැම විටම කියන අපහාසාත්මක කතා කරදරයක් වූ බැවිනි.

කාලයාගේ ඇවෑමෙන්, ඩොං කිං ගේ බේබදුකම හා අපහාස කතා ඉවසා ගත නොහැකි ඔහුගේ බිරිඳ ද ආපසු තම මව්පියන් වෙත ගියාය.

අපිරිසිදු අවන්හල්වල දිවා රාත්‍රී ගැවසෙමින් ණයට මත්පැන් බොන්නට වූ ඩොං කිං අවසානයේ නතර වූයේ බන්ධනාගාරයෙහිය. ඔහුගේ ණය ගෙවන්නට කිසිවෙකුත් ඉදිරිපත් නොවූහ.

සිර දඬුවමෙන් පසු නගරයේ දොරක් දොරක් පාසා සිඟා කන්නට පටන් ගත් නමුදු, යන යන තැන ඔහු දකිනාවුන් දොර කවුළු වසා ගන්නේ මේ අර සැමටම අපහාස කළ දුර්ජනයා නොවේදැයි කියමිනි. ටික කලකදීම රෝගී වී ඩොං කිං රොන් ජොං පදික වේදිකාවක වැටී මිය ගියේය. අවසන් හුස්ම හෙළද්දී ද, ඔහු කාටදෝ අපහාස කරනු අසන්නට ලැබුණි.

ඊසොප්ගේ උපමා කතා ද ලොව පුරා පැතිරුණි. ඔහුගේ ඇතැම් කතාවක චරිත, සත්වයින් ය. එහෙත් ඒ කතාවල එන ආදර්ශය මිනිසුන්ටය. ඊසොප් ඇසුරින් කළ නව නිර්මාණ ද කියවන්නට ලැබෙයි. මේ එබඳු කතාවකි. (මේවාටද කර්තෘ භාග හිමිකරුවන් නැත.)

ඉහත කී ඩොං කිං පසු කලෙක මැඬියෙකුව මඩ වළක උපන්නේය. එහි සිටි සෙසු මැඬියන්, කෘමියන්, පණුවන් හෝ කුඩා මාළුන් ආහාරයට ගනිද්දී ඩොං කිං මඩ කෑමට පුරුදු වුණේය.

“මඩ වළේ උපන් අපි මඩට ම පුරුදුවිය යුතුයි” ඩොං කිං නිතර එසේ කීවේය.

මිතුරන් ඊට එරෙහිව තර්ක කළ විට ඩොං කිං ඔවුනට මඩවලින් ම පහර දුන්නේය. මඩ කෑම නිසා ම තරබාරු වූ ඩොං කිං ගණන්කාරයෙකු ලෙස ජීවත් වූයේ අන් සියලු දෙනාට පරිභව කරමිනි.

රසවත් හා ගුණවත් ආහාර පිළිකෙව් කරමින් මඩ ම ගිලිනා ඩොං කිං ගැන කනගාටු වීම හැර වෙනත් දෙයක් කරන්නට, මැඬියනට මඟක් තිබුණේද නැත.

කාලය මෙසේ ගෙවී යද්දී, මහා නියං සමයක් උදා වූයේය. මඩවළ ද සිඳී, වියළී යන්නට විය. අනතුර කල්තියා ම දුටු අනෙක් මැඬියෝ වෙනත් පෙදෙස් බලා යන්නට වූහ.

මඩට ලොබ බැඳි ඩොං කිං එහි ම රැඳුණේය. දැඩි හිරු රැසින් අවසන් මඩ ටික ද වියළී ගොස් කළල්ගොඩ කාන්තාරයක කොටසක් බවට පත් විය. මඩ ද අහිමි වූ ඩොං කිං නිරාහාර ව එක තැන වැද හොත්තේය. එකල්හි ගොදුරු සොයමින් අහසේ සැරිසරමින් සිටි උකුස්සෙක් පහත් බිමෙහි සිටි මැඬියා දැක වහා පහළට බැස, ඌ තුඩගින් ඩැහැගෙන ඈතට පියා සැළුවේය.

ජනකතා තුළින් ඉස්මතු වූයේ සාමාන්‍ය මිනිසාගේ සහජ බුද්ධියයි. එය කිසි කලෙක කිසිවෙකුට වාරණය කළ නොහැකි විය. නස්රුදින්ලා ඊසොප්ලා පමණක් නොව අන්දරේලා ද අදටත් වලංගුය. ඔවුනට ඕනෑම රටකට යාමට ගමන් බලපත් ඇත. එහි අවසර මුද්‍රාව තබනුයේ ද සාමාන්‍ය ජනතාව ම ය.

ලොව පුරා පතළ නොවූවත් සෑම ජාතියකට ම ගෝත්‍රයකට ම ඔවුන්ට ම ආවේණික ජන සාහිත්‍යයක් ඇත. චීන සමූහාණ්ඩුව මගින් මොංගෝලියානු සාහිත්‍ය ඉතිහාසය පිළිබඳ ග්‍රන්ථයක් සම්පාදනය කිරීමට විද්වත් පිරිසකට ආරාධනා කළේය. ඔවුනට එය නිමා කිරීමට වසර පහළොවක් ගතවූයේ, මොංගෝලියානු සාහිත්‍යයේ විශාලත්වය ලොවට ම කියාපාමිනි.