දැන් පෙන්නනවා - කාමරේ පොරේ

‘‘ දැන් පෙන්නනවා - කාමරේ පොරේ - කාමරේ පොරේ...” කියා ගෙන පෙත්සම් කන්තෝරුව ඉස්සරහින් කවුදෝ කෙනෙක් දුව ගෙන ගියේ ය. පෙත්සමක් ලියමින් සිටි ටොම්සන් මහත්තයා හනිකට පාරට පැන්නේ මේ මොකාටද එන්න හදන්නේ කියලා ය. බැලින්නම් හරි හරියට ඉංගිරිසි ඇඳුම් කට්ටලයක් ඇඳ ගත්තු මහත්තුරු කට්ටියක් පාරේ එහාට මෙහාට දුවමින් කෑ ගසති. ඒ එක්ක ම සාරි ඇඳ ගත්තු හැඩ වැඩ ඇති නෝනලා කට්ටියකි. ටොම්සන් මහත්තයා ටිකක් ළං වී බැලූවේ මේ කවුද කියලා ය. බැලින්නම් මෙන්න බොලේ බෙල්ලේ දොස්තර නළාවකි. ඒ කියන්නේ මේ කෑ ගහන්නේ දොස්තර මහත්තුරු ය. දොස්තර නෝනලා ය.

ටොම්සන් මහත්තයා දොස්තර මහත්තුරු කට්ටිය ළඟට යන්ඩ ගියේ මේ මොකක්ද පෙන්නන්නේ කියලා හරියට අහලා දැන ගන්නට ය. සමහර විට පෙත්සමක් ගහන්ඩ පාරක් පෑදෙන්ඩ බැරි නැත. ඒත් ටොම්සන් මහත්තයා පාරට යන්ඩ ඉස්සෙල්ලා මෙන්න බොලේ තවත් ගෝසාවකි.

"දැන් පෙන්නනවා කාමරේ පොරේ... කාමරේ පොරේ... " කියා ගෙන පාරේ අනිත් පැත්තෙන් මතු වුණේ සුදු ඇඳුම් ඇඳ ගත්තු නෝනලා මහත්තුරු කට්ටියකි. බැලූ බැල්මට ම මේ නම් ඉස්පිරිතාලේ නර්ස් නෝනලා ය. නර්ස් මහත්තුරු ය.

දැන් ටොම්සන් මහත්තයා පාර මැද්දේ ය. එක පැත්තක දොස්තර නෝනලා සහ මහත්තුරු කෑ ගසමින් පාරේ එහා මෙහා යති. අනික් පැත්තේ නර්ස් නෝනලා සහ මහත්තුරු කෑ ගසමින් පාරේ එහා මෙහා යති. දෙගොල්ල ම කියන්නේ එක ම දෙයකි.

"දැන් පෙන්නනවා. කාමරේ පොරේ... කාමරේ පොරේ... එන්ඩ බලන්ඩ. රස විඳින්ඩ... ටවර් හෝල් යුගයේ නාට්‍යවලටත් වඩා ලස්සනයි. නූර්ති නාඩගම් කැලේ... අලූත් චිත්‍රපටි මොනවාද ? මේක තමයි අලූත් ම ටෙලි නාට්‍යය....” කියලා ඒ සැරේ දෙපිරිස ම කෑ ගහන්ඩ ගත්තෝ ය. ටොම්සන් මහත්තයා මේ දෙපිරිස මැද්දේ හිට ගෙන බලා හිටියේ විස්තරේ දැන ගන්ඩ කතා කරන්නේ කාටද කියලා හිතා ගන්ඩ බැරුව ය. අන්තිමේ බොහොම අමාරුවෙන් දොස්තර මහත්තයෙක් කතාවට අල්ලා ගන්ඩ ටොම්සන් මහත්තයාට හැකි වුණේ ය.

"මේක මොන චැනල් එකේ පෙන්නන ටෙලි නාට්‍යයක් ද දොස්තර මහත්තයා..? මං නං තවම දැක්කේ නෑ... කවද්ද පටන් ගන්නේ? ”

"ආ... මුන්නැහේ තවම දන්නේ නැද්ද? මේක මේ පේරාදෙනිය නාළිකාවේ පෙන්නන්නේ... තවම දැක්කේ නැද්ද? පුදුමයි.. ලංකාවට ම එකයි... ලෝකෙට ම එකයි... ” කියා ගෙන දොස්තර මහත්තයා ආයෙත් කෑ ගහ ගහ පාරේ එහා මෙහා දුවන්නට පටන් ගත්තේ ය. ඒ සැරේ ටොම්සන් මහත්තයා කිට්ටු වුණේ පාරේ අනිත් පැත්තේ කෑ ගසමින් සිටි නර්ස් නෝනා කෙනෙක් ළඟට ය.

"ඇත්තට නර්ස් නෝනා... මේ පේරාදෙනිය නාළිකාවේ ටෙලි නාට්‍ය පටන් අරන් හුඟක් කල් ද? මං නං තවම දැක්කේ නෑ නේ...”

"හානේ... ඔයා තවම දැක්කේ නෑ... ඔයා නං හරි කෙනෙක් තමයි... බලන්ඩකෝ පේරාදෙනිය නාළිකාව... ලෝකෙට ම එකයි... මේක පටන් අරන් ටිකක් කල් වෙනවා... තාමත් දැක්කේ නෑ නේද? එහෙනම් අදවත් බලන්ඩ....”

"ඒ කියන්නේ නෝනා මේක ඒකාංගික ටෙලි නාට්‍යයක් නෙවෙයිද? ”

"මොන ඒකාංගිකද මහත්තයා... මේක මාලා නාටකයක්... ඒ කියන්නේ වැල් ටෙලි නාට්‍යයක්.. දැන් එපිසෝඩ් කීයක් පෙන්නලා ඉවරද? වරින් වර නතර වෙනවා... අනුග්‍රහයට කවුරු හරි එපායැ... ඒ හින්දා... ඒ වුණාට ආයෙත් පටන් ගන්නවා... හරි ම ජොලි... අපට ලෙඩ්ඩුන්ට සාත්තු කරන්ඩ වෙලාවක් නෑ.. කාමරේ පොරේ හින්දා... අපි නං දෙයි අපේ කාමරේ අර ගොල්ලන්ට...” කියා ගෙන නර්ස් නෝනා ආයෙත් කෑ ගැහිල්ලට එකතු වුණා ය.

"අපිත් දෙන්නේ නෑ.. මේවා අපේ අයිතිවාසිකම්... මේ කාමරේ තියෙන්නේ අපට විවේක ගන්ඩ... ඒක තව කාටවත් දීලා කොහොමද? ” කියලා දොස්තර නෝනා කෙනෙක් ආයෙත් ඉස්සරහට පැන්නා ය.

"ඉතින් නෝනා.. මේ කාමරේ පොරේ අර රැඟුම් පාලක මණ්ඩලය අනුමත කරලා ද තියෙන්නේ?”

"අපොයි ඔව්, සියලූ අනුමැතිය සහිතයි. තව කොටස් ගොඩක් තියෙනවා.. ඒවා අපි ඉස්සරහට පෙන්නනවා... ”

ටොම්සන් මහත්තයා මුහුණ දුන්නේ හරි ම නන්නත්තාර වෙච්චි තත්වෙකට ය. එහෙන් දොස්තර නෝනලා මහත්තුරු. අනික් පැත්තෙන් නර්ස් නෝනලා මහත්තුරු. මේ දෙගොල්ල දෙපැත්තේ කෑ ගහන්නේ. බැරි වෙලාවත් එකට හැප්පුණොත් මාර වැඩක් නේ වෙන්නේ.. මොන වින්නැහියක් වෙයිද දන්නේ නෑ.”

"දැන් මේ දෙගොල්ල ම මට කියන්ඩ කෝ.. මේ කාමරේ පොරේ ටෙලි නාට්‍යයේ ඉන්නේ මේ දෙගොල්ල විතරයි ද කියලා... ලෙඩ්ඩු නැද්ද? ”

"ඉන්නවා.. ඉන්නවා... ” කියලා දොස්තර ගොල්ලත්, නර්ස් ගොල්ලත් එක හඬින් කෑ ගැසුවෝ ය.

"එතකොට ඒ ගොල්ලන්ට මොනවද වෙන්නේ... මේකේ ඒ ගොල්ලෝ පෙන්නන්නේ නෑ නේ..”

"ඒ ගොල්ලන්ට වෙන්නේ මොනවද කියලා අපි දන්නේ කොහොමද? ” කියලා ආයෙත් දෙගොල්ලම එක හඬින් කෑ ගැසුවෝ ය.

"ඒ කියන්නේ මේ මහත්තුරු - නෝනලා මහජනයාගේ මුදලින් ඉගෙන ගෙන මේ තනතුරුවලට ඇවිල්ලා තියෙන්නේ කාමරවලට පොර අල්ල අල්ලා ඉන්ඩද? සමාජයේ ලොකුවට පෙනී හිටින ලොකු නෝනලා, මහත්තුරු නේද? ලැජ්ජා හිතෙන්නේ නැද්ද?”

"අනේ යන්ඩ ටොම්සන් මහත්තයා... අපට මොකටද ලැජ්ජා හිතෙන්නේ... අන්න ලෙඩ්ඩුන්ට ලැජ්ජා හිතෙන්ඩ පුළුවන් අපි මේ මොකටද ඉස්පිරිතාලෙට ආවේ කියලා... එතකොට ඒ ගොල්ලෝ ආපහු යයි... අපට ඒ ගොල්ලන්ට වඩා මේ කාමරේ වැදගත්... ඒකයි මේ නාට්‍යයට නම දැම්මේ කාමරේ පොරේ... ඉස්සරත් ඔය නමින් මොකක් හරි වේදිකා නාට්‍යයක් තිබිලා තියෙනවා.. මේ ඒක නෙවෙයි... වෙනස් ම වෙනස් එකක්.... ”

"ඔව්... කාමරේ අපට දුන්නේ නැතිනම්... අපි ලෙඩ්ඩුන්ට බේත් කරන්නේ නෑ... ”

"අපිත් එහෙමයි.. අපි ලෙඩ්ඩුන්ට සාත්තු කරන්නේ නෑ... ”

ටොම්සන් මහත්තයා ටිකක් වෙලා කල්පනා කළේ කියන්නේ මොකක්දැයි හිතා ගන්නට බැරුව ය. මේක මේ කුල දෙකක් වගේ එක ආයතනයක් ඇතුලේ ගහ ගන්නේ. සංවිධානය වීමේ මූලික අයිතිවාසිකම් නේ. ඉතින් මොකක්ද කියන්නේ. උගත් කියලා කිව්වාට, එකෙකුට එකෙක් නෑ.. තවත් එකෙක් එක්ක බෙදා හදා ගෙන ජීවත් වෙන්ඩ දන්නේ නෑ. තිරිසන්නු මීට වැඩිය හොඳයි. ටොම්සන් මහත්තයා දෙගොල්ල ම දිහාවට හැරිලා මහ හඬින් කෑ ගැසුවේ ය.

"මං මේ දැන ගන්ඩ අහන්නේ... මේ මහත්තුරුන්ට, නෝනලාට බැරිද ඔය කාමරේ පොරේ නාට්‍යය නවත්තලා, මනුස්සයෝ වාගේ මේවා බෙදා හදා ගන්ඩ... අර බල්ලෝ බත් පිඟාන බෙදා ගන්ඩ පොර අල්ලනවා වාගේ නැතිව... ”

"එව්වා කොහෙද? අපට අපේ ආත්ම ගෞරවය ලොකුයි.. අපි නම් දෙයි අපේ කාමරේ... ” කියලා දෙපිරිස ම එක හඬින් කෑ ගසන්නට පටන් ගත්තෝ ය.

"මොන ආත්ම ගෞරවයක් ද මේ මහත්තුරුන්ට නෝනලාට... මේක විහිළු නාට්‍යයක් නේ... අපොයි මේ මොකද මේ ? ” කියලා ටොම්සන් මහත්තයා එක සැරේම දෙපිරිස දෙස ම බැලූවේ මහ පුදුමයෙනි. බැලින්නම් දොස්තර කට්ටියත්, නර්ස් කට්ටියත් මේ කාමරේ පොරේ රඟ දක්වන්නේ ඇඳුම් නැති ව ය. ”

"අපෝයි... ” කියා ගෙන ටොම්සන් මහත්තයා පෙත්සම් කන්තෝරුව ඇතුළට රිංගා ගත්තේ ය.

"තව එපිසෝඩ් ගොඩක් ඇති.... ”

[email protected]