අලුයම පිබිදෙන මිතුරකුගේ මනුස්සකම

අලුයම පිබිදීම හොඳ පුරුද්දකි. එසේ කිරීමෙන් ඇරඹෙන නැවුම් උදය සිතුවිලිවලට උල්පත් සපයයි. සිතට ප්‍රබෝධයක් ගෙන දෙයි. අලුයම් යාමෙහි ඇහැරුණු මනස ඒ මොහොතෙහි අතු අග්ගිසකින් ගිලිහී බිමට වැටුණු සේපාලිකා මලක් මෙන් මො‍ළොක් ය. නොකිලිටි ය. සුවඳ ගහණය. පෙරදා හෝරා ගණනාවක සිතට එක් වූ විවිධ චින්තාවන්ගෙන් සිත නිදහස් ව නව සිතුවිල්ලක් පැළ කිරීම සඳහා හද සරු බිමක් බවට පත් වූ සොඳුරු මොහොතකි එය. මේ මොහොත හරවත් කටයුත්තක් සඳහා යොදා නොගෙන මමන්්කාරයෙන් හා තෘෂ්ණාවෙන් දූෂිතවුණු අදහස්වලින් විපරිත කර ගන්නා උදවිය කොතෙකුත් ෙවි.

අද මගෙන් විය යුතු යුතුකම් කවරේ ද?” එම සිතුවිල්ල කාහට හෝ පහළ වුවහොත් එය අසිරිමත් දෙයකි. කුඩා කල පතින් පොතින් හා වැඩිහිටියන්ගෙන් දැන කියාගත් කරුණු අනුව බලන කල ගෞතම බුදුන් එවැනි චරිතයකි. එතුමන්ගේ චරිත ලක්‍ෂණය අප ඉගෙන ගත්තේ වැඩිහිටියන් විසින් අපට පවරා දෙනු ලැබූ සංස්කෘතියෙනි. එහෙත් අපගේ සැබෑ ජීවිතයෙහි දී ද එබඳු ගති ගුණ ඇති මිනිසුන් ඉඳහිට හෝ අපට හමුවීම කෙමෙන් ක්‍ෂය වී යන ජීවිතාසාව දල්වන්නකි.

මෙහි වැදගත්කම වඩාත් දැනෙන්නේ මනුස්සකම පිළිබඳ බොහෝ කරුණු තම කෘතියෙන් කියාපාන කලාකරුවන්ගේ ජීවිතවලට ළංවී බලනකළ ඔවුන්ගේ සිත් මමත්වයෙන් තෘෂ්ණාවෙන් හා අන්‍යයන් පරදා නැගී සිටීමේ වියරුවෙන් දූෂණය වී ඇති බව දනී ඇති හෙයිනි. ඉතාමත් ම සොඳුරු වූ කලා කෘතියක් නිර්මාණය කරන නිර්මාණකරුවා සහ ඔහුගේ ජීවිතය අතර ඇති මහා පරතරය මට නම් අදහාගත නොහැකි විස්මයක් උපදවයි.

මේ පිළිබඳ නානා නයින් ලියැවුණු කරුණු මම කියවා ඇත්තෙමි. එහෙත් මගේ විමතිය දුරු කිරීමට ඒ ලියැවිලි මෙතෙක් සමත් වී නොමැත. බොහෝ විට මා මියයන මොහොතෙහි මගේ මනස උමතු වී නොතිබුණහොත් එම විමතිය අවසාන තත්ත්පරයේදී ද මට ඉමහත් වධයක් ගෙන දෙනු ඇත. ඒ තරමට ම එම සිතුවිල්ල මසිත රිදවා හමාර ය. එය බියකරු ය. මේ පූර්විකාව ලිවීමේ හේතුව කලාකරුවකු නොවුව ද කලාකරුවකු තුළ පිහිටිය යුතු යැයි මා සිතන මානව දයාව සහ මනුස්සකම ගැඹුරින් පිහිටි පුද්ගලයකු පිළිබඳව කෙටි සටහනක් තැබීමය.

ඔහු මැදියම් රැයෙහි නින්දට යයි. අලුයම පිබිදෙයි. පිබිද, එම දවසේ කළ යුතු වැඩ කොටස කොළයක සටහන් කරයි. පිළිවෙළින් අංක දමයි. මේ වැඩවලින් වැඩිහරියක් කිසිදු ප්‍රතිලාභයක් නොලැබෙන අනුන්ගේ වැඩ ‍ෙවත්. එවැනි අලුයමක ඉඳ හිට ඔහු මිතුරකුගේ දුක සැප බලන්නට යයි. දිනක් අලුයම ඔහු මා පදිංචි ව සිටින කුලී නිවසට පැමිණියේ ය. එවිට මම ලියමින් සිටියෙමි. ඒ අතරතුර බිරිය සහ මා අතර වාදයක් ද හටගෙන තිබුණි. යතුරු පැදියේ හඬින් මම ඔහු හැඳින්නෙමි.

බිරිය සහ මා අතර ඇතිවූ දෙබස මෙසේ ය.

“ඔය දේශනේට කීයක් ලැබෙනව ද?”

“මං ඇහුවෙ නෑ. දුන්නොත් ගන්නවා”

“බස් එකට කීයක් යනව ද?”

“රුපියල් හාරසීයක් විතර”

“අතිං වියදං කරගෙන යන්ඩ කොහෙද සල්ලි තියෙන්නෙ?”

“............”

“ගෙවල් කුලී ගෙවා ගන්ඩවත් විදියක් නැතුව පැය ගණන් දවස් ගණන් අනුන්ගෙ වැඩවලට මහන්සි වෙනවා. දරුවොයි මමයි දුක් විඳිනවා”. “බාර ගත්තට පස්සේ නොයා ඉන්න හොඳ නෑ.” “ඒක තමයි ඔය වාගේ එව්වා බාර ගන්න එපා කියන්නෙ.”

“ඉස්කෝලවල ළමයිනෙ.”

බිරිය තරමක් කේන්තියෙන් කුස්සියට යයි. මිතුරා යතුරු පැදියෙන් බැස පැමිණෙයි.

“මොකද්ද මේ රණ්ඩුව“

බිරිය ඔහුට අව – නඩුව කියයි. ඔහු සාවධාන ව සවන් දෙයි.

“හරි මම බයික් එකෙන් තිඹිරි එක්ක යන්නං. මීට පස්සෙ, එහෙම වැඩක් යෙදුණ ම මට කියන්න. මම උදව් කරන්නං එතකොට මඟ වියදම් ප්‍රශ්නෙ හරිනෙ” බිරිය සිනාසෙයි. මමිතුරා පුටුවෙහි හිඳගෙන දුම් උගුරක් අදී. දියණිය මගේ ඔඩොක්කුවට පනී. නියමිත දින හිමිදිරියෙහි අපි යතුරු පැදියෙන් ගමන් ඇරඹීමු. සැතපුම් අසුවකට වැඩි දුරක් යා යුතු ය. හිමිදිරියෙහි වට වැස්සෙන් අගනුවර කොවේ මාවේ බොර දියෙන් ආතුර ව සිටී. මඟ අපැහැදිලි ය. අඳුරු ය. වත්තල සරියෙහි දී වළකට වැටුණු යතුරු පැදිය පෙරළිණ. අපි තුවාල නොලබා යන්තම් නැඟිට ගතිමු,

යතුරු පැදිය කෙළින් කරන විට අසුන යට ගැට ගසා තිබූ කාසි පොදියක් ඉහිරී රුපියල් පහේ කාසි විශාල ප්‍රමාණයක් පාර පුරා විසිර ගියේ ය.

“මොනව ද මේ?”

“මං කැටේ කැඩුවා. තෙල් ගහගන්ඩ.”

මිතුරා සිනාසුණේ්ය. ඔහුගේ බිරිය නීතිඥවරියකි. සාපේක්ෂ වශයෙන් සැපවත් ජීවිතයක් ගත කරන ඔහු තම නිවස ඉදිකර ගත්තේ දෙවැනි කැරැල්ල සමයෙහි ජවිපෙන් මරන තර්ජන එල්ල වූ පසු ඉතාලියට ගොස් දුෂ්කර දිවියක් ගතකර හම්බකරගත් මුදලිනි. ඔහු 71 කැරැල්ලේ විත්තිකරුවෙකි. යහපත් මිනිසෙකි. හොඳ හදවතක් ඇත්තෙකි. අප ගියේ කුඩා පාසලකට ය. එහි පුස්තකාල කාමරයක් ඇතත් පොත් නැත.

මම ගොගොල්ගේ කබාය කෙටිකතාව පිළිබඳ දරුවන්ට විස්තර කළෙමි. මගේ මාතෘකාව වූයේ කෙටිකතාව ය. එහි දුප්පත් ඇඳුම් මහන්නා ලිපිකරුවාගේ කබාය මසා දුන් පසු ව ලිපිකරුවා එය හැඳගෙන යන විදිය බලා සතුටු වන්නේ අතුරු පාරවල් ඔස්සේ ඉක්මනින් ගොස් ඉදිරි පෙනුම පැති පෙනුම නැරඹීමෙනි. අනුන්ගේ සතුට වෙනුවෙන් සතුටු වූ දුප්පත් ඇඳුම් මහන්නා එදින රාත්‍රියෙහි කෙතරම් සතුටින් නිදාගන්නට ඇතිද? ඒ කෙටිකතාවේ මුඛ්‍ය රසයට අමතරව එහි ඇති අනුරසවල සුවිශේෂත්වය මතු කළ අවස්ථාවෙහි සිසු දරුවන්ගේ දෑස්වල කඳුළු දකින්නට මම වාසනාවන්ත වෙමි. මමිතුරාට ද කතාවක් සඳහා ඇරියුම් ලැබිණ. ඔහු ජීවිතය පිළිබඳ අපූරු කතාවක් කළේ ය. ඔහු ඉතාලියෙහි දී රැකියාව වශයෙන් කර ඇත්තේ පාරෙහි බලු බෙටි ඉවත් කිරීම ය. දරුවන්ගේ ඉල්ලීම පරිදි ගොගොල්ගේ කබාය කෙටි කතාව ඇතුළත් රුසියන් කෙටිකතා පොත ද තවත් පොත් 50 ක් පමණ ද ම මිතුරා විසින් එම විදුහලට සතියක් ඇතුළත යවන ලදී. ආපසු එන ගමනේ දී ඔහු වත්තල සරියෙහි දී මී කිරි හට්ටි දෙකක් ද පැණි බෝතල් දෙකක් ද මිලදී ගත්තේ ය. දෙකක් මට ලැබුණි. දෙකක් ඔහුට ය.

“ඉස්කෝලෙන් ලැබුණු සල්ලිවලින් ගත්තා කියන්න” ම මිතුරා උපදෙස් දුන්නේ ය.

“ඔයා ගෙදරට මොක ද කියන්නෙ? මම ඇසීමි.

“තිඹිරි අරන් දුන්නා කියනවා” - අපේ ගෙදරත් ඔහොම තමයි.” ඔහු කී ය.

ඔහුගේ බිරිය මෙන් ම මගේ බිරිය ද සැමියන්ගේ කල්කිරියාව නිසා කිසියම් පශ්චත්තාපයකින් දිවි ගෙවන බව මම දනිමි. ඔවුන්ගේ ජීවිත සුපුෂ්පිත කරවීම අප වගකීමක් බව ඊටත් වඩා දනිමි. මේ බිරින්දෑවරුන්ගේ රළුවචන උපදින හදවත්හි සැමියාගේ ආරක්ෂාව පිළිබඳ ඇති අවංක හැඟීම අප දෙදෙනාටම හොඳින් දැනේ. ම මිතුරා යතුරු පැදිය ගසක් යට නවත්වා දුම් රැල්ලක් අහසට යවා ඒ පිළිබඳ මට බොහෝ දේ කියා දෙන්නේ වැඩිහිටියකු හැටියට ය. එහෙත් ඔහු මට කලකින් හමු නොවී ය. මසිත දුකින් බර වේ.

[email protected]