පැණි කෝං

පැය ගණනාවක නිශ්ශබ්දතාවය බිඳ දැමූ සෙනෙහෙබර කුණාටුව දෙස මම විමසිලිමත් බැල්මක් හෙළුවෙමි. කුණාටුවක් සෙනෙහබර වන්නේ කෙලෙසද...? එහෙත් පැය හයකට පසු මා දකින කොලු පැටවුන් මට සෙනෙහෙබර කුණාටුවකි. ගෙදර දොර පමණක් නොව බල්ලා ද, ගහකොළ ද ප්‍රමුදිත කරවමින් ඔවුන් ඒ මේ අත දිව යති. කෑ කෝ ගසති. මෙතෙක් වේලා තැවරී තිබූ පාළු මලානික බව අතුරුදහන් ව යයි. ජීවයෙන් අපිරිමිත ජීවයෙන් ද, ජවයෙන් ද සියල්ල පණ පෙවෙන අයුරු විස්මයජනක ය. මේ ඇබිත්තන් මිනිසුන් නොමැතිව මා විසිතුන් වසරක් ජීවත් වූයේ කෙලෙසදැයි මට සිතා ගන්නට නුපුළුවන. ඔවුන්ගෙන් වැඩිමලා මට හමුවන්නේ මා විසිහතර වියැතිව සිටියදී ය.

“මොකක් හරි කුමන්ත්‍රණයක් වගේ?” මා සැක පහළ කළේ මගේ දරු පැටවුන්ගේ ඉඟි බිඟි දුටු බැවිනි.

“අම්මා... පැණි කෝං...” මද්දු පැහැබර බැල්මක් හෙළුවේ ය.

“නෑ... නෑ... කෝං කඩන්න යන්නෙ නෑ මේ ගිනි මද්දහනේ.. ඉස්කෝලෙ ඇරිල ආව විතරයි” මම කෝපයෙන් කෑ ගැසුවෙමි.

“අනේ අම්මා... අපි ඉක්මනට එනවනේ”

නිවුන්නු ආයාචනා කළ ද මම බුරුලක් නොපෙන්වීමි.

“හරි රසයි අම්මා... පැණි කෝං... කාල බලන්නකෝ බොරු ද කියල”

මද්දුගේ උපායශීලී බව මගේ කෝපය තුනී කරයි.

“ඒ කියන්නෙ ඔයාලා මීට කලිනුත් කෝං කඩන්න ගිහින් තියෙනවා?”

“එක ම එක සැරයයි...” චූටි පුතා කෙඳිරි ගෑවේ ය.

“මටත් නොකියා? හොරෙං?”

“ඉතිං අම්ම යන්න දෙන්නෙ නෑනෙ...”

පුංචි පුතා නිදහසට කරුණු ගෙන හැර පායි.

“බලන්න කොච්චර නරක ද කියල... ඕගොල්ලො හොරෙං ඔහොම ගමන් ගිහිල්ල ගහෙන් වැටුණ නම් එහෙම...?” මම තරවටු කළෙමි.

මුහුණු හකුලාගත් පොඩිත්තන් තිදෙනා උත්තර සොයන්නාක් මෙන් එකිනෙකා දෙස බැලුවෝ ය.

“ඒක පුංචි ගහක් අම්මා. එච්චර උස නෑ... අපි වැටෙන්නෙ නෑ...”

මද්දුගේ කතාව මා අස්වසන්නට සමත් නොවෙයි.

“වරදින්න මහ වෙලාවක් යන්නෙ නෑ ළමයිනේ...”

“අනේ අම්මා... අද විතරක් අපිට යන්න දෙන්න. අපි පරිස්සමට කෝං කඩාගෙන එන්නං”

“තාත්තගෙන් අහල යන්න...”

“මොකක්ද අම්මා...”

ඔවුන් හෙළන නෝක්කඩු බැල්ම මගේ දැඩි බව ලිහිල් කර දමන්නට සමත් වෙයි.

“කොහේද ඉතිං ඔය පැණි කෝං ගහ තියෙන්නෙ?”

“මේ ළඟ...”

“ඉතිං ළමයිනේ අල්ලපු ගෙදරත් කෝං ගහක් තියෙද්දි මොකටද ඉතිං පාරවල්වල රස්තියාදු වෙන්නෙ?”

“මේ කෝං වගේ නෙමේ අම්මා ඒ කෝං...”

මම මඳක් කල්පනා කළෙමි.

“මට බයයි. ඔයාලට කරදරයක් වුණොත්...?”

“බයවෙන්න එපා අම්මා... අපි හෙමීට පරිස්සමට කෝං කඩාගෙන එන්නං...”

ඔවුන් පොරොන්දු වූවෝ ය.

“තාත්තට මොකද කියන්නෙ?” යි මා ඇසුවේ ඔවුන් ලබාදෙන පිළිතුර නොදැන නොවේ.

“සුදු මාමලගෙ ගෙදර ගියා කියන්න” යි කියන්නේ මද්දුයි.

“නාමල්ලගෙ ගෙදර ගියා කියන්න” යි පුංචි පුතා කියයි.

“කාංචනලාගේ ගෙදර ගියා කියන්න”

චූටි පුතා ඉල්ලා සිටින්නේද බොරුවක් කියන ලෙස ය.

වාහන යනෙන මාර්ගයේ බයිසිකල් පැදීමට අවසර තිබෙන්නේ වැඩිමහල් තිදෙනාට පමණි. බාලයන් දෙදෙනාට මැද පාරේ යාමට තහනමක් නැත. ඒ පටු ගුරු පාරේ බයිසිකල් සහ යතුරුපැදි පමණක් ගමන් ගන්නා බැවිනි.

“ඕගොල්ලො ඔය කියන්නෙ මට බොරු කියන්න කියල ද?”

“පුංචි ම පුංචි බොරුවක්නෙ අම්මා”

මද්දු සිනාවක් පායි.

“ලොකු වුණත් පුංචි වුණත් බොරුව බොරුවමයි” මම මුහුණ හකුලා ගතිමි.

“මොකක්ද අම්මා... අම්මට අපි වෙනුවෙන් බොරුවක්වත් කියන්න බෑ ද...? ඒ වුණාට අම්ම කියන්නෙ අපට අම්මගෙ පණ වුණත් දෙනව කියලනේ. අපි ඉල්ලන්නෙ අම්මගෙ පණ නෙමෙයි. චූටි බොරුවක් කියන්න කියල විතරයි...”

මද්දු කියාගෙන ගියේ කෝපයෙනි. මම මහත් පුදුමයෙන් ඔහු දෙස බලා සිටියෙමි. මගේ පුදුමයෙන් වහා ප්‍රයෝජන ගත් කොල්ලන් තිදෙනා මා වෙතින් පලා ගියෝ ය.

ඔවුන් නවතා ගනු සඳහා මුව විවර කරගන්නට පවා මට හැකි වූයේ බොහෝ ප්‍රමාද වීමෙන් පසුව ය. ඒ වන විටත් ඔවුන් කෝන් ගසේ අතු පතර නැගී කෝං නෙළනවා නොඅනුමාන ය.

“මේක හරි වැඩක් නෙ... තාත්තලගෙ පුතාලගෙ සැර බලන්ඩනෙ මට වෙලා තියෙන්නෙ” යි අමනාපයෙන් කොඳුරමින් මම ගෙදර දොරේ වැඩ කටයුතුවල නිරත වීමි. කොලු පැටවුන් හට අනතුරක් සිදු වනු ඇතැයි තැති ගතිමි.

“අයියෝ මට නිතරම ඉන්න වෙලා තියෙන්නෙ බයෙන් සැකෙන් දුකෙන්... මේ ගොල්ලො මට හම්බ නූනා නම් තමා හොඳ... මගෙ වැඩේම ලේ පුච්චගන්න එකනෙ... මගේ පපුවත් රිදෙනවා” යි මම කොස්ස, ඉදල සහ කැත්ත හිරමණය සමඟ පවා නෝක්කාඩු කීවෙමි. හැළි වළං සහ පිඟන් කෝප්ප පවා වෙනදාට වඩා හඬ නැඟුවේ මා උරණ ව සිටින බව නොකියා කියමිනි.

“මද්දු කෝ?” යි සැමියා එක්වරම ඇසූ කල මම තිගැස්සුණෙමි.

“ම..... මහගෙදර ගියා.....”

“මොකටද?”

දරුවන් නිවසේම රඳවා ගත යුතු බව නිතර කියන ඔහු කෝපයට පත් වූවාට සැක නැත.

“මේ... මේ... පො... පොතක් හදාගන්න සුදු මල්ලිට කියල” යි මම තැතනුවෙමි.

“කෝ පොඩි දෙන්න?”

“එක්කෙනෙක් ගියා කාංචනගෙන් මාළුවෙක් ඉල්ලගෙන එන්න...” යි කී මම අනෙක් නිවුන්නා වෙනුවෙන් ගෙතිය යුතු බොරුව කුමක්දැයි කල්පනා කළෙමි. කිසිවක් මගේ මුවඟ නොනැඟෙන හැටි... අනෙක් අතට මේ සා බොරු කීම පහසු කාරියක් නොවේ. එහි පාපය කෙසේ වෙතත් දරුවන්ට අනතුරක් සිදු වුවහොත්...” මා ක්‍රියා කරන්නේ මහත් අනුවණ ආකාරයෙන් බව හැඟී ගියෙන් මගේ දෑසට කඳුළු නැඟිණ.

“මම හොඳ අම්ම කෙනෙක් නෙමෙයි” යි වැලපෙන්නට මට උවමනා විය.

“ළමයින්ව එහෙ මෙහෙ යවල මොනා හරි වෙච්චදෙන්කො...”

සැමියාගේ රකුසු වෙස දැරිය නොහැකිව මම ඉවත බැලුවෙමි. දරුවන් සොයා යා යුතු යැයි තීරණය කිරීමෙන් පසු මට තරමක සහනයක් දැනිණ. එහෙත් මිදුලට පා තබත් ම මා දුටුවේ කෝන් වලු එල්ලාගෙන දිව එන කොල්ලන් තිදෙනා ය.

“ඇයි මෙච්චර පරක්කු වුණේ...?” යි මම කඩා පැන්නෙමි.

“ඇයි? තාත්තා බැන්නද?”

“නැතුව... මට එපාවෙලා තියෙන්නෙ බැණුම් අහල... හැමදාම මම බැනුම් අහන්නෙ ඔයාලා හිංදා...” යි කියන්නට මම මැළි වීමි. දහදියෙන් තෙමුණා... ප්‍රමෝදයෙන් උතුරන කොලු පැටවුන් අබියස මම ගොළු වීමි.

“හරි රසයි අම්මා... කාල බලන්නකෝ...” යි එකෙකු කෝන් කිණිත්තක් දිගු කළේ ය.

“ඕගොල්ලො කන්න... හැබැයි ආයෙ නං යන්න බෑ හොඳේ... බයේ මාව මැරෙන්න ගියා... තාම පපුව රිදෙනවා...” මම ඇත්තම කීවෙමි.

“අයියෝ... අම්ම බොරුවටනෙ බය වුණේ... කකුල නම් චුට්ටක් හීරුණා තමා... ගිනිසීරියා කෝටුවේ සෙවල ගෑවා...” චූටි පුතා හිනැහුණේ ය.

“මගෙත් මහපටැඟිල්ල තුවාල වුණා. නිදිකුම්බා තළල දැම්මා...” මද්දු ජයග්‍රාහී බැල්මක් හෙළුවේ ය.

“මගෙ කට්ටක් ඇනුණා. අම්මේ කට්ට පෑදෙන්ඩ වරාකිරි දැම්මා”

ඔවුන්ගේ දෙපා පිරික්සා බැලූ මම සැනසුම් සුසුමක් හෙළුවෙමි.

“ඒකනෙ මම කිව්වෙ යන්න එපා කියල... ඕගොල්ලො කියන දෙයක් අහන්නෙ නෑනෙ කවදාවත්...”

“රිදෙන්නෑ අම්මා...” යි කී ළමයින් කෝන් ගෙඩිවල පොතු ඉවත් කොට බඳුනකට දමා සීනි සහ ජලය එක් කළෝ ය.

“කන්නයි... බොන්නයි” යි කියමින් ඔවුන් තම තමාගේ කෝප්පවලට එය බෙදා ගන්නා ආකාරය මා බලා සිටියේ සැනසිලි සහගත සිතකිනි. තුවාලයක් සිදු වූ විට හඬා නොවැටී අවට පරිසරයෙන් ම බෙහෙත් සොයා සදාගන්නට ඔවුන්ට හැකිවීම පිළිබඳ ව මා සතුටු නොවී සිටින්නේ කොහොමද? සියලු සන්තාප සන්සිඳී ගියෙන් මම ද ළමයින්ගේ පී‍්‍රති ප්‍රමෝදයට හවුල් වූයෙමි.

[email protected]