සමාජ ඒකාබද්ධතාවට අලුත් අර්ථකථනයක්

පසුගිය මාසේ මැද හරියේ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ සමාජ ඒකාබද්ධතා සතියක් පැවැත්වුණා. ඒකෙ සමාරම්භක උත්සවය යෙදිලා තිබුණේ ජූලි 15 වෙනිදාට. එදා තිබුණු වැඩසටහනට දායක වෙන්න මටත් අවස්ථාවක් ලැබුණා. සමාජ ඒකාබද්ධ සතිය සංවිධානය කරලා තිබුණේ ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා අමාත්‍යාංශයෙන්.

සමාජ ඒකාබද්ධතා අමාත්‍යාංශයේ තේමා පාඨය විදිහට ඉස්මතු වී පෙනෙන්නේ සවිවර කියන වදන යි. සවිවරට ඉංග්‍රීසියෙන් යොදා තිබෙන යෙදුම තමා Access කියන වචන ය. ගුණපාල මලලසේකර මහැදුරුතුමාගේ ශබ්දකෝෂයේ Access වදන අර්ථ දක්වලා තියෙන්නේ ප්‍රවේශවීමේ බලය හෝ මාර්ගය හැටියටයි. ඒ අනුව සැමට විවර වූ දොරටුව වගේ අදහසක් දනවන වචනයක් විදිහට සවිවර හඳුන්වා දිය හැකියි.

සමාජ ඒකාබද්ධතා සතියේ සමාරම්භක උළෙලේ දී ම වාසුදේව ඇමතිතුමා ඇතුළු ඔහුගේ පිරිවර සවිවර තේමාවට නව අර්ථ කථනයක් දෙන්න උත්සාහ දරපු බවක් පෙනුණා. සමාජ ඒකාබද්ධතාව කියන වචනය ඇහෙන විට ම අපේ මතකයට නැඟෙන්නේ ජාතික සමගිය - එකමුතුකම වගේ අදහසක්. ඒත් වාසු ඇමැතිතුමාගේ වැඩපිළිවෙළ යටතේ සමාජ ඒකාබද්ධතාව ඊට වඩා පුළුල් තලයකට ඔසවා තබන බවක් පෙනෙනවා.

උත්සවය ආරම්භයේ ගයපු ජාතික ගීයෙන් ම මේ නව අර්ථකථනයේ වෙනස අපේ හදවත්වලට දනවන්න සංවිධායක මණ්ඩලය සමත් වුණා කියලයි මට හිතෙන්නේ. එදා ජාතික ගීය ගයන්නට වේදිකාවට ගොඩවුණේ රත්මලානේ අඳ, ගොළු, බිහිරි පාසලේ දරු දැරියන් කණ්ඩායමක්. ඔවුන් සාමුහිකව මේ අවස්ථාවට සහභාගී වූ සැටි දකිද්දී අපේ ඇස්වලට කඳුළක් ඉනුවා. සවිවර තේමා පාඨය යටතේ සමාජ ඒකාබද්ධතාව දෙස පුළුල් ඇසකින් බලන්න අපට දොර කවුළු විවර කර දුන්නේ ඒ ආකාරයට යි.

සමාජ ඒකාබද්ධතාව ගැන කතා කරද්දී විවිධ ආබාධ හා ඌනතා හේතුවෙන් මනා සමාජයත් එක්ක පෑහෙන්න බැරිව ඉන්න සමාජ කණ්ඩායම් ගැනත් සලකා බලන්න ඕනා. ඔවුන්ට මහා සමාජයට ඇතුළුවීමට තිබෙන බාධක ඉවත් කර දෙන්න ඕනෑ. සමාජයක් බෙදී වෙන් වී ඉන්නේ ජාති, ආගම්, කුල භේදවලින් පමණක් නෙවේ. උපතින් ම යම් ආබාධවලින් පෙළෙන, එහෙමත් නැත්නම් යුද්ධය නිසා අත් පා අහිමි වුණ හදිසි අනතුරුවලට ලක් වී ආබාධයක් බවට පත් වුණ සමාජ කණ්ඩායමුත් වර්ගීකරණයකට ලක් වෙනවා නේද නිරායාසයෙන්ම?

සමාජ ඒකාබද්ධතා සතියේ ආරම්භය සටහන් කරමින් පැවති උත්සවයට ඇතුළත් කර තිබුණු සෙසු ඉසව් වලිනුත් සමාජ ඒකාබද්ධතාවයේ විවිධ පැතිකඩ අනාවරණය කෙරුණා. සමාජ ඒකාබද්ධතා තේමා ගීතය එළි දැක්වුණෙත් එදාම යි. ශ්‍රී ලාංකේය සමාජයේ වෙසෙන සෑම සෑම ජන කොටසකගේම අනන්‍යතාව පිළිගනිමින් අතක ඇඟිලි වගේ එකට බැඳී සිටින අයුරුයි ඒ ගීතයේ පදමාලාවෙන් නිරූපණය වුණේ. ගීතය වාදනය වෙද්දී ඊට පසුබිමින් වේදිකාගත වුණු රංගනයක් ගීයේ අරුත තවත් මූර්තිමත් කළා. ඊට අමතරව ඉදිරිපත් කරපු නර්තනාංගය නිර්මාණය කරලා තිබුණේ දේශීය නැටුම් ශිල්ප හා නාද රටා මුසු කරමින්. එයත් ප්‍රේක්ෂකයන්ට නැවුම් අත්දැකීමක් වුණා.

සිංහල, දෙමළ, සාහිත්‍යයේ නිරූපිත සමාජ ඒකාබද්ධතාවය යන තේමාව යටතේ දෙසුම් තුනක් පැවැත්වීමටත් සංවිධායකයන් කටයුතු යොදා තිබුණා. සමාරම්භක උළෙලේ ප්‍රධානාංගය වුණෙත් මේ දෙසුම් තුනයි. ගීත කලාව ඔස්සේ සමාජ ඒකාබද්ධතාව නිරූපණය වන ආකාරය විස්තර කළේ නිලාර් එන්.කාසිම්. එදා මෙදාතුර ගැයුණු ගීත රැසක් නිලාර්ගේ අවධානයට ලක් වුණා. ආබාධවලට ලක්වූවන්ගේ හඬ නියෝජනය කරමින් මෑතකදී මේකලා ගමගේ විසින් ගැයුණු අහන්න.. අහගෙන ඉන්න.. නම් ගීතය අගය කරද්දී ෙප්‍ර්ක්ෂකාගාරයේ සිටි බොහොමයකගේ සිත් සලිත වුණා. මේකලා ගමගේ දෑස නොපෙනෙන තරුණියක් බව හුඟදෙනෙක් දැනගත්තෙත් ඒ වෙලාවෙයි.

දෙමළ බසින් දෙසුම කළ ඇන්ටනි ජීවාත් ඉතා වැදගත් කාරණයක් මතු කළා. අනාගතයේ ඇති විය හැකි වාර්ගික ගැටුමක පෙර නිමිති කලින්ම දුටුවේ ලේඛකයන් බවයි ඔහු පෙන්වා දුන්නේ. නවසියපනස් ගණන්වල බිහි වූ ප්‍රගතිශීලී ලේඛක පෙරමුණ යටතේ නවසියහැත්තෑවේදී බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවට රැස් වූ යාපනයේ ලේඛක කණ්ඩායමක් බණ්ඩාරනායක මැතිනියට සන්දේශයක් මගින් මේ අනතුර පෙන්වා දුන් ආකාරය ජීවා විස්තර කළා. ශ්‍රී ලාංකේය ජන සමාජය කඩා ඉහිරවපු යුද්ධයට මුල් වුණේ මෙබඳු ඓතිහාසික නොතකා හැරීම් නේද කියන සිතුවිල්ල ජීවාගේ දෙසුම තුළින් අපේ සිත්වල මතු වුණ බවත් හැඟෙනවා.

ප්‍රබන්ධ සාහිත්‍යය පැත්තෙන් අදහස් දක්වන්නට මට ලැබුණු අවස්ථාව ප්‍රයෝජනයට ගනිමින් අපේ ප්‍රවීණ ලේඛිකා අනුල ද සිල්වාගේ අලුත්ම නවකතාව වන ‘පාරා වළල්ල’ වෙත සභාවේ අවධානය යොමු කරන්න මා උත්සාහ කළා. අනුල ද සිල්වා ඒ කතාවෙන් සාකච්ඡාවට ලක් කර තිබෙන්නේ යුද්ධය නිම වුණාට පසුව උතුරු නැඟෙනහිර ජන ජීවිතය යළි ගොඩනැඟෙමින් තිබෙන ආකාරය යි. සංචාරක ව්‍යාපාරය වැනි නව ආර්ථික උපාය මාර්ග නව සමාජ සම්බන්ධතා ගොඩනැඟීම කෙරෙහි බලපාන ආකාරය ලේඛිකාව අපූරුවට එහි නිරූපණය කර තිබෙනවා.

සමාජයේ විවිධ තල නියෝජනය කරන දෙතුන්සීයක ප්‍රේක්ෂක කණ්ඩායමක් හමුවේ මෙබඳු සාකච්ඡාවක් පැවැත්වීමට ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා අමාත්‍යාංශයත් එහි නියමුවා වන වාසුදේව අමාත්‍යතුමාත් ගත් පියවර ඉතා ප්‍රශංසනීයයි. එහිදී වාසුදේව ඇමැතිතුමා මනා පූර්ව සූදානමකින් යුතුව ඉදිරිපත් කළ කෙටි දෙසුමක් ඉතා අර්ථපූර්ණයි. සමාජ අසමතුලිතතාව සමනය කරන්න වෙර දරන කාගේත් ප්‍රශංසාව මේ ප්‍රයත්නය වෙනුවෙන් පිරිනැමිය යුතුය කියා මා සිතනවා.

[email protected]