දිසිස් මයි බෝයි ෆ්රෙන්ඩ් ආන්ටි

මූදුගමුව හන්දියෙන් ගංකරය පැත්තට නවීන පන්නයේ වාහනයක් හරවනවා ගල්බොක්කේ කඩපළට ගිහින් බඩු මල්ලකුත් අරගෙන පයින්ම එන බිසෝ මැණිකා දැක තිබිණි. බඩු මල්ලත් හිසමත තියාගෙන පයින් එන බිසෝ පහුකර ඉදිරියට ගිය වාහනය ඉදිරියේ නවතා ආපසු බිසෝමැණිකා එන පැත්තට ආස්සට ටික දුරක් පැමිණ නැවතත් වේගයෙන් ඉදිරියට ගොස් තිබේ.

බිසෝ මැණිකාගේ කල්පනාවේ හැටියට මේ වාහනයේ ඉන්නට ඇත්තේ ඇය අඳුනන කෙනෙක් ය. ඇය වාහනයේ නංවාගන්නට වාහනය රිවර්ස් කළ ද, පසුව බඩුමල්ල අරගෙන තුන්කංසෙන් දාඩිය මුගුරු දාගෙන පයින් ම එන නිසා වාහනයට නංවා ගැනීම සුදුසු නැතැයි සිතා කෙළින් ම ඉදිරියට වේගයෙන් ගොස් තිබේ. වාහනයේ අය ආපසු ගියේ පසුව ඔවුන්ගේ සිතට නැගුණු සිතිවිල්ල නිසා ය යනුවෙන් එම සිද්ධිය අර්ථකථනය කරන්නේ බිසෝ මැණිකා ය. ඇගේ හැටි එහෙම ය. ඇගේ වචන ඒ ආකාරයෙන්ම ගංකරේ ඇත්තන් ඔක්කොම වාගේ පිළිගන්නා නමුත් වාහනය ඇතුළේ හිටි උන්ගේ සිත්වලට එහෙම හිතුණා යැයි උඹ දන්නේ කොහොමදැයි ඇයගෙන් විමසන කෙනෙක් නම් නැති.

අනුන්ගේ සිත් දැන ගැනීමේ විශේෂ නුවණක් බිසෝට නැතත් ඈ හැමදාමත් එබඳු ය. යම් යම් සිද්ධි ඇයට හිතෙන හිතෙන විදිහට අර්ථකථනය කරයි. ඇයට අනුන්ගේ සිතිවිලි දැනගැනීමේ නුවණක් නැති බවත් දන්නා නමුත් ගංකරේ කිසිවෙක් ඇයගෙන් ඒ ගැන විමසන්නේ ද නැත. බිසෝ මැණිකාගේ අඬහැරෙත් එක්ක ගංකරේ පුරාම ගමට අලුතෙන් ආ වාහනය පිළිබඳ ව ඇතිවූ නව උනන්දුව වැඩි වන්නට විය. නයි හන්දියේ කඩපිලේ දාං අදිමින් සිටි කොල්ලෙක් කීවේ වාහනය පිටරටින් ගෙන්වපු ගමන් යන පළමු ගමන මෙය බව ය. වාහනයේ හෝන් හඬින් එය ඔහුට කිව හැකි බව ය.

ගංකරේ මැදින් වූ තාර පාරේ වාහනය ඉතා වේගයෙන් නොගියත් වාහනය තුළ ඉන්නේ කවුරුදැයි යන වග කිසිවකුටත් හරි හැටි දැන කියා ගන්නට හැකියාවක් ලැබුණේ නැත. එසේ වීමට බලපෑ ප්‍රධානතම කාරණය වූයේ වාහනයේ වීදුරු සියල්ල අඩ අඳුරු පැහැයට හරවා තිබීම ය. නයි හන්දියේත්, යාය ගාව කඩේත්, ගංගෙවල්වලත් හැම තැනකම පාහේ එදා දවසේ කොයි කාගේත් කතාව වූයේ ගංකරයට ආ එම අලුත් ම වාහනය ආවේ කොහාට ද යන වගයි.

අඟිදලාගේ ගේ ගාව වාහනය නතර කර තිබෙනු ඉස්සෙල්ලාම දුටුවෙක් එය අනිකාහට කියා ඇත. ඒ අනුව ගංකරයේ පුරාම එසැණින් සිද්ධිය ආරංචිය ගියේ ය. අගිදා ගෙදර ඇවිල්ලාය යන ආරංචිය කොයිකාගේත් සිත්වලට අරගෙන ආවේ අමුත්තකි. හඳපානෙම ගිය අගිදා අලුත් වාහනයකින් නැවත ගංකරයට ඒම කොයි කාගේත් විමසිලිමත් බව වැඩි කරන්නට හේතු විය. ඒ වන විට අගිදා පිළිබඳව මතකයක් වත් ගංකරේ කොයි කාටවත් තිබුණේ නැත. නමුත් මේ අලුත් ආරංචියත් සමග ඈ පිළිබඳ මතකය ආයිත් අලුත් වන්නට විය. මේ තරම් ලොකු වාහන ගන්න අගිදාට කොහෙන්ද සල්ලි? ඈ ගැන තැන තැන කසු කුසු ගාන බොහෝ අයට තිබුණු ප්‍රශ්න අතර ප්‍රධාන එකකි එය. ඒත් ඒ සඳහා හරිහමන් පිළිතුරක් දෙන්නට කොයි කවුරුත් ඉදිරිපත් වන්නේ ද නැත. ඒ කුහුල නිවැරදි ඥානයක් බවට පත් නොවී කුහුලක් ලෙස ම ගංකරේ ඇත්තන්ගේ සිත් සතන්වල මිහිදන් වී ගියේ ය.

අගිදා පැමිණි වාහනය මෙන් ම ඇය ද හොඳට ම අලුත් වෙලාවගේ ය. කරල් දෙකට පීරා දෙපැත්තට ගැට ගසා තිබූ කොණ්ඩය දැන් ඇත්තේම නැත. නවීන පන්නයට හිසකේ කපා තිබේ. ඒ දවස්වල කන්දෙකේ ලෑ පුංචි කරාබු ජෝඩුව වෙනුවට බයිසිකල් රෝදයක් තරම් විශාල රෝද දෙකක් දෙකන් පුරා එල්ලෙයි. ඇහිබැම ද කපා පාට කර ඇති සේ ය. අමුතුම දිස්නයකින් පිරි ක්‍රිම් පාට වර්ණයකින් දෙතොල් සායම් කර තිබේ. වෙනදා ඒ දණ්ඩ කැඩුණු දාට නියර උඩින් පැන ගෙදර යන ඈ දැන් ඇඳපු ඇඳුම් අනුව ඇවිදින විට අඩිය පවා තැබිය හැක්කේ මද දුරින් ය. ඇඳපු ඇඳුම් විලාසිතාව අනුව ඈ ඇවිදින විට බලා ඉන්න කෙනෙකුට සිතෙන්නේ අගිදා ඇවිදින්න පුරුදු වෙන කෙනෙක් වගේ කියාය.

වාහනයේ ඇවිත් තිබුණේ අගිදා විතරක් නොවේ ය. ඈ කියන විදිහට නම් ඒ ඇවිත් ඉන්නේ නුදුරු අනාගතයේ ඇගේ සාමිපුරුෂයා වෙන්න ඉන්න කෙනා ය. මේ ළමයා කවුදැයි කෙනෙක් අගිදාගෙන් ඔහු පෙන්නා විමසුව හොත් ඈ ගත් කටට ම කියන්නේ දිසිස් මයි බෝයි ෆ්රෙන්ඩ් ආන්ටි කියා ය. ඈ කොල්ලෙකුත් එක්ක හඳපානේ පැන ගියා ය කියන කතාව මුළු ගංකරේ පුරාම ප්‍රසිද්ධ රහසක් වුව ද ඇගේ හැසිරීම්වලින් නම් එහෙම දෙයක් වුණා නොවුණ ගාන ය. ගංකරේ අයටත් හරිහැටි තේරුම් බේරුම් නැති ඇතැම් ඉංග්‍රීසි වචන පවා දොඩන වචන අතර අගිදාට නම් එසේ කතා කිරීම ගානක් නැතුවා වගේ ය. ඈ බෝයි ෆ්රෙන්ඩ් යයි කීව ද ඒ මනුස්සයා නම් අගිදාගේ තාත්තගේ මල්ලී වගේ ය. හොඳට ම වයස ය. අච්චර හැඩ උතුරන සිරුරක් තියෙන අගිදා මේ වගේ ඉහ නිකට පැහිච්ච හිකනලෙක් මොකට වාහේ කර ගන්න හදනවාදැයි කියා බිසෝ මැණිකාටත් හොඳට ම කේන්ති ගිහින් ය. අනුන්ගේ හුණු කිල්ලෝටවලට ම නිතර නිතර ඉව අල්ලන බිසොගේ කේන්තියෙත් කිසියම් සාධාරණයක් නැත්තේ නැතැයි නුපේ නංගීත් නාන ළිඳ ළඟ තවත් එකියක සමඟ කියා තිබිණි.

[email protected]