බලහත්කාරය සහ බලගැන්වීම

මිනිස්සුන්ට කන්න ඕන වුනාම කබරගොයත් තලගොයා වෙනව කියන එක අහන්න දෙයක් නෙවී කියල දවසින් දවසම ඔප්පුවෙමින් පවතිනවා. ඇති හැකි මිනිස්සු පුළුවන් තරම් කඩාවඩා ගනින්දි නැති බැරි මිනිස්සුන්ට තමන්ට තියෙන දේ රැකගන්නත් මහ විශාල අරගල කරන්න වෙලා. හුඟක් වෙලාවට මේ අරගලය නිමාවෙන්නෙ ඇති හැකිවුන්ගේ බලයෙන් නැතිබැරි එකා පාගල, තමන් යන පාරෙන් අහකට විසිකලාටත් පස්සෙයි.

ඊයේ පෙරේද දවසක මේකෙ අලුත්ම කතාව ඇහුනෙ රජරට පැත්තෙන්. සමාජසේවා දෙපාර්තමේන්තුව අනුමැතිය අනුව සමාජසේවා දෙපාර්තමේන්තුවට අයත් අක්කර හතක ඉඩමක, රජයෙන් කෝටි ගණනක මහජන මුදල් වියදම් කරල හදපු අබාධිතයන් සදහා නේවාසික වෘත්තීය පුහුණුව ලබාදෙන ආයතනයක්, මහ ඇමතිගේ මුල්‍ය ප්‍රතිපාදන සපයාගෙන තමන්ගේ ආයතනයේ සීමා මායිම් සළකුණු කරගත්තා. අතපය හතර හොදින් තියෙන ගැහැනු මිනිස්සුන්ටත් ආරක්ෂාවක් නැති මේ කාලේ, තමන් බාරයේ ඉන්න අබාධිත දරුවන්ගෙ සහ වැඩිහිටියන්ගෙ ආරක්ෂාව ගැන හොයල බලන්න, ආරක්ෂාව තහවුරු කරගන්න එක වැරදි දෙයක් නෙවෙයිනේ.

ඉතින් මේ වැඩේ වෙද්දි ගම්මු ලේසියට යන්න එන්න හදාගෙන තිබුණු කෙටි පාරක් වැහුණා. නවාතැනේ ඉන්න ගැහැනු දරුවන්ගෙ ඇදුම් පැළදුම් වැල්පටවලින් අතුරුදන් වෙද්දි ඒ ගැන සොයා නොබලා ක්‍රියාත්මක නොවුනොත් ඉස්සරහ දවසක ඊට වඩා ලොකු ප්‍රශ්නවලට මුහුණ දෙන්න තියෙන ඉඩ අහුරන්න එපැයි.

අන්තිමට මේ සිද්ධිය කෙළවර වුණේ උද්ඝෝෂණයකින්, තමන්ගෙ ගමේ පළාතේ කවදාක හෝ දිනක තමන්ට අයිතිකරගන්න පුළුවන් ඉඩම් කොහොවත් ඉදල ආපු ආබාධිතයින්ට දෙන්නෙ මොකටද කියලා පළාතේ මහජන නියෝජිතයෙක්ගෙ ඔළුවට මුලින්ම අපු මේ කල්පනාවට තටු ලැබුණා. ඒ කතාබහ නැවතුනේ ගම්මානේ කඩපිල්වල හේන් වල, නිවෙස්වල හිටි දුප්පත් ගොවි මහතුන්ගාව. හාර පන්සියයක් මිනිස්සු බල මුළු ගැනුණා. මේ හැම දෙනාටම එකපාරටම අනේ මටත් ඒ අක්කර හතෙන් පර්චස් එකක් දෙකක් වත්ලැබෙනව නම් කියල හිතෙන්න ඇති.

මොනද මේ වෙද්දි මුළු ලෝකෙම දන්න දැරණියගල හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීතුමා නූර් වත්තෙ කොටසක් අයිතිකරගෙන තිබුණෙත් ඔය කියන ක්‍රමයට පර්චර් එකක් සුළු සුළු ගණන්වලට පළාතේ මහජනතාවට ලබාදෙන්න කියනවනේ, ඉතින් ඒ පූර්වා දර්ශය රටේ අනෙක් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු අරගන්න එක ගැන කාටවත් දොසක් කියන්නත් බැහැනේ.

අන්තිමට සිද්ධ වුණේ ප්‍රාදේශිය දේශපාලකයින් විසින් උසිගන්නපු ගමේ ගොඩේ දුප්පත් මහජනතාව එක් රැස්වෙලා, තමන්ගේ වැනි මහජන මුදලින් ඉදිකෙරුණු කම්බි වැට ඉවක් බවක් නැතිව කඩල බිදල දැම්ම එක. ඒ විතරක් නෙවෙයි ඇවිදගන්න බැරිව රෝද පුටුවට වෙලා ඉන්නෙ නැතිව තමන් වගේම අනෙක් අබාධිතයන් ගැනත් ප්‍රතිපත්ති තීන්දු තීරණ ගන්න වෙහෙසෙන ගැහැණියකට මරණීය තර්ජන එල්ල කරන්නත් ඔවුන්ට හයියක් ඇවිල්ල තිබුණ.

සිවිල් නීතිය යටතේ පොදු දේපලට හානිකිරීම බරපතළ වරදක් වෙද්දි, පොලීසියේ පිහිට පතනවා ඇරෙන්න වෙන මොනවද කරන්න තියෙන්නෙ. ඉතිං නීතිය රකින උදවිය ඒ ගැන සැලකිලිමත්වෙලා ඒ සම්බන්ධව කටයුතු කරන්න පොරොන්දු වුණා. දවසක් ගත වුණා දෙකක් ගතවුණා. තුන්වෙනි දවසෙ නගරෙ මැද්දෙ තවත් මහා උද්ඝොෂණයක්,

අබාධිතයින් ලිංගික අපයෝජනයෙන් බේරාගනිමු කියල. අර පළවෙනි දවසෙ අබාධිතයින්ට මොන ඉඩකඩම් ද කියල අහපු උදවියම තමයි මේ දෙවැනි බෝර්ඩ් කෑල්ලත් අල්ලගෙන හිටියේ. අබාධිත අයිතිවාසිකම් ආරක්ෂා කිරීම වෙනුවෙන්.

ලස්සනම දේ වෙන්නෙ ඊට පස්සේ. පොලිසියේ ලොකු මහත්තයයි, අදාල ආයතනයයි කතාබහ කරල ඒ ඉඩම මැද්දෙන් නැතිව කෙළවරකින් පාර දෙන්නම් කිවාම අර ලිංගික අතවර ගැන කියල උස්සගෙන හිටිය බෝර්ඩ් කෑලි අල්ලන් හිටි උදවිය, ඒවත් කිහිළි ගන්න ගෙන බොහාම සාමකාමීව විසිරිල ගිය එක.

අපේ රට විනාශ වෙලා තියෙන්නෙ මේ ජරාජීරණ දේශපාලනය හින්ද කියලා මේ සිද්ධියෙන් නැවත නැවත පැහැදිලි වෙනවා. අපේ රටේ විතර විචාර බුද්ධියක් තියෙන ඡන්ද දායකයො වෙන කොහේවත් නැතිව ඇති කියලයි මට හිතෙන්නෙ, කැපුවත් නිල්, කැපුවත් කොළ කියන පදනම නැති වුණත් අනිත් කාට මොනව කළාම මොකද අපිට හොඳක් වෙනව නම් කියල හිතල අපිත් ඡන්දෙ දෙනවා.

අල්ලස් , ස්ත්‍රී දූෂණ, ළමා අපචාර, තර්ජණය කිරිම්, බිය වැද්දීම් මේ හුඟක් චෝදනාවන් තියෙන අයටම ප්‍රධාන දේශපාලන පක්ෂවල නාම යෝජනා අනිවාර්යයෙන්ම ලැබෙනව කියල පහුණු දවස්වල දිනපතා පුවත්පත්වල පලවෙලා තිබුණු ප්‍රවෘත්ති සාක්ෂි දරනවා. ඉතින් නැවත වරක් බලයට පත්වෙලා ඒ වැරදි ටික නැවත නැවතත් කරන්න ඔවුන් අපෙන් වරමක් ඉල්ලනවා. අපිත් ඉතින් දෙයියනේ කියල ඡන්ද පොළට ගිහින් ඒ වරම දීල එනවා.

අඩුම තරමින් අනෙකා ගැන හිතන්න මතන්න පුළුවන්, සමාජය ගැන හැඟීමක් දැනීමත් තියෙන අධ්‍යාපනයෙන් කිසියම් විනයක් හික්මීමක් ලැබුණු උදවිය ගමෙන් පළාතෙන් දේශපාලනයට ගෙන එන්න කටයුතු කරනවා නම් ටිකක් හරි මේ ගැටලුවලට උත්තර හොයාගන්න පුළුවන්වෙයි.

[email protected]