විමලවීර කෝකියාගේ සිංහල කිරිහොදි සිනමාව

සිරිසේන විමලවීරයන් මියගොස් පසුගියදාට 50 වසරක් සපිරුණා. ඔහු සිංහල සිනමාවේ පුරෝගාමී චිත්‍රපට අධ්‍යක්‍ෂවරුන් තිදෙනකුගෙන් ප්‍රමුඛයා ලෙසයි සැලකිය හැක්කේ. (අනෙක් දෙදෙනා බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්න හා ශාන්ති කුමාර් සෙනෙවිරත්න) පූර්ව ලෙස්ටර් ජේම්ස් පීරිස් යුගයේ දේශීය සිනමාවක් ගොඩනැංවීමෙහිලා දැනුවත් උත්සාහයක යෙදුණු එකම චිත්‍රපට අධ්‍යක්‍ෂවරයා වුණේ ඔහු.

මේ කාරණාව අංශ දෙකකින් විස්තර කරන්න පුළුවන්. එකක් තම චිත්‍රපට සඳහා දේශීය කතා වස්තු පාදක කරගැනීමෙන් හා තමාම අධ්‍යක්‍ෂණය පවරා ගැනීමෙන් පුළුවන් තරම් දකුණු ඉන්දීය මුහුණුවරින් පිදීම. අනික මෙරට තුළ චිත්‍රාගාර ඉදිකර ශ්‍රී ලාංකේය කාර්මික ශිල්පීන් බිහිකරවන්ට මූලික වීම. මුල් යුගයේ සිංහල චිත්‍රපටවලට ඉන්දීය මුහුණුවර දැඩිව පිවිසියේ එම චිත්‍රපට ඉන්දීය අධ්‍යක්‍ෂවරුන්ගේ මෙහෙයවීම යටතේ නිපදවීම හා ඒවා ඉන්දීය චිත්‍රාගාරවල පසුතල මත රූපගත කිරීමේ විපාක ඵල වශයෙන් යැයි කියන්න පුළුවන්. සිංහල කිරි හොද්දක් සැදිය යුත්තේ සිංහල කෝකියකු අතින් බව විමලවිර මාස්ටර් නිතරම කියා සිටි දෙයක්.

විමලවීරයන්ගේ මුල් චිත්‍රපට නිපදවුණේ දකුණු ඉන්දියාවේ අඩයාර් හි පිහිටි නෙප්චූන් චිත්‍රාගාරයේ. මෙම චිත්‍රාගාරයට මා ගිහින් තිබෙනවා. දැන් එතැන තිබෙන්නේ පාසලක්. (එය නම් කර ඇත්තේ “ඩොක්ටර් එම්. ජී. ආර්. – ජානකී කොලේජ් ඔෆ් ආට් ඇන්ඩ් සයන්ස් ෆෝ වුමන්” යනුවෙන්) ප්‍රකට සිනමා ලේඛකයකු වන තියොඩෝර් භාස්කරන්ගේ බිරිඳ වන තිලගාවතී භාස්කරන් මෙහි විදුහල්පතිනිය ලෙස කටයුතු කරනවා. ඇය මා හා කියන විදියට එම්. ජී. රාමචන්ද්‍රන් නෙප්චූන් චිත්‍රාගාරය මිලට ගෙන එය “සත්‍යා ස්ටූඩියෝ” ලෙස නම් කළා. “සත්‍යා” යනු එම්. ජී. ආර්. ගේ මවගේ නම. පසුව තමයි මෙය පාසලක් බවට පත්වුණේ.

නෙප්චූන් චිත්‍රාගාරයට ඇතුළුවන දොරටුව ළඟදී මට හිතුණු දේ තමයි මීට අවුරුදු 50 කට විතර ඉස්සර විමලවීර මාස්ටරුයි නළු නිළි පිරිසයි “අම්මා” චිත්‍රපටය හදන්න පැදුරුයි කොට්ටයි උස්සගෙන මේ චිත්‍රාගාරයට ආපු හැටි.

එකල චිත්‍රපට හදන්න ඉන්දියාවේ ගියාම අපේ කලාකරුවන් විඳපු දුක ගැන “අම්මා” චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපාපු ඩී. ආර්. නානායක්කාර 1963 දී “සිළුමිණ” පත්‍රයට ලියපු ලිපියක අපූරුවට සටහන් කර තිබෙනවා. “සීදේවි” චිත්‍රපටයේ රඟපෑමට ගොස් චිත්‍රාගාරයක එක් ශාලාවක එලූ පැදුරුවල තමන් නිදාගත් ආකාරය ඔහු එහිලා සඳහන් කරනවා. ඉන්දියාවේ සුප්‍රකට නළු නිළියන් චිත්‍රාගාරවල ලබන අපමණ පුද සැලකිලිත් තමන්ට ලැබුණු සැලකිලිත් අතර පරතරය ධනුස්කොඩියයි තලෙයිමන්නාරමයි අතරට වඩා බොහෝ දුරස් බවයි ඔහු එම ලිපියේ දී කියා ඇත්තේ.

විමලවීර මාස්ටර් තමාගේ සීමාසහිත නව ජීවන මුවිටෝන් සමාගම පිහිටුවා ගෙන එයින් චිත්‍රපට හැදුවේ එහි කොටස් මහජනයා අතර විකුණා ලබාගත් මුදලින්. ප්‍රවීණ සිනමා නළු ජෝ අබේවික්‍රම එකල වැඩ කළේ මාස්ටර් ළඟ. ජෝ මාත්තෙක්ක කියා ඇති පරිදි ඔහු පවා මෙහි කොටස් විකිණීමට හවස කන්තෝරු ඇරෙන වෙලාවට කොටුව හා මරදාන ස්ටේෂන් අතර ගැවසිලා තියෙනවා.

මේ මහජන මුදලුත් තමා සතු ඉඩම් කීපයක් මුද්‍රණාලයක් හා මෝටර් රථ දෙකත් විකුණා ලත් මුදල්වලින් තමයි මාස්ටර් තමාගේ මුල් චිත්‍රපට කීපය හැදුවේ.

විමලවීර මාස්ටර් කිරිබත්ගොඩ “නව ජීවන” චිත්‍රාගාරය ගොඩනැඟුවේ 1951 දී. එය එදා සිංහලයකු සතුවූ එකම චිත්‍රාගාරය. (මා මෙසේ කියන්නේ ජාතිවාදියකු විදියට නෙමෙයි.) ඒක තමයි ඇත්ත. මේ චිත්‍රාගාරයේ බූරු ඇඳක ඉඳගෙන සත හැටේ බත් පිඟාන කමින් මාස්ටර් චිත්‍රපට හදපු හැටි ඔහුගේ පසුකාලීන චිත්‍රපටවල ඡායාරූප ශිල්පියා වූ ඩබ්ලිව්. ඒ. බී. ද සිල්වාත්, ඔහුගේ චිත්‍රපටවලට පසුබිම් ගී ගැයූ ජී. එස්. බී. රාණි පෙරේරාත් මට කියා තිබෙනවා. මාස්ටර් තමන්ට ලැබුණු හැම සතයක්ම වියදම් කළේ මේ චිත්‍රාගාරයේ අභිවෘද්ධිය වෙනුවෙන්.

මාස්ටර් චිත්‍රපට 10 ක් නිර්මාණය කර තිබෙනවා. ඒ අතරින් “සරදියෙල්” හා “පොඩි පුතා” යන චිත්‍රපට දෙක වැදගත් වන්නේ ඒ යුගයට සාපේක්‍ෂව එහි කිසියම් දේශීය මුහුණුවරක් තිබුණු බැවින්. මාස්ටර් මියගිය වෙලාවේ එවක සිටි කීර්තිමත්ම සිනමා විචාරකයා වුණු ජයවිලාල් විලේගොඩ ඔහු ගැන අගනා ලිපියක් ලිව්වා. සිංහලත් නොවන සිනමාත් නොවන සිංහල සිනමාවක් ඇති රටක තරමක්වත් සිංහලකමක් ඇති චිත්‍රපට නිපදවූයේ විමලවීර බව ඔහු එහිලා කියා තිබෙනවා.

විමලවීර මාස්ටර් චිත්‍රපට අධ්‍යක්‍ෂණයේ විතරක් නෙමෙයි, රංගනයේත්, ගීත රචනයේත් කුසලතා ප්‍රකට කළා. “පොඩි පුතා” චිත්‍රපටයේ පියාගේ චරිතය රඟපෑවේ ඔහු. “අසෝකා” හැරුණුකොට තමාගේ හැම චිත්‍රපටයකම ඔහු ගීත රචනා කළා. ඔහු තමාගේ නොවන වෙනත් චිත්‍රපටවලට ද ගීත ලියා තිබෙනවා. “සුජාතා” එවන් චිත්‍රපටයක්. එහි ආ “පෙම් රැල්ල නැඟී”, ප්‍රේමා ලෝකය නිවී ගියා”, “නාරිලතා පුෂ්පේ”, “මායාවකි මේ ලෝකේ” වැනි ගීත ඔහුගේ පදමාලා. ඒවා අදටත් ජනප්‍රිය ගී.

දුප්පතෙක් විදියට චිත්‍රපට නිෂ්පාදනය පටන් ගත් විමලවීරයන් මියගියෙත් දුප්පතෙක් විදියටමයි. ඒ වගේම ණයකාරයෙක් විදියටයි. ඔහු මිය යන මොහොතේ ඔහුගේ බැංකු ගිණුමේ තිබුණේ රුපියල් 55 ක් වැනි සුළු මුදලක් පමණක් බව ඔහුගේ පුත් දයා විමලවීර මාත්තෙක්ක කියා තිබෙනවා. ඒ වන විට නව ජීවන චිත්‍රාගාරය රුපියල් 76 දාහකට එක්තරා චිත්‍රපට සමාගමකට උගස් කර තිබුණා. 1972 දී ඔහුගේ චිත්‍රපට හතකුත්, චිත්‍රාගාරයත් එකී සමාගමට වෙන්දේසියේ විකුනුණා. ඒ රුපියල් 90 දාහක් වැනි මුදලකට. එහෙත් මේ චිත්‍රාගාරයේ දේෙප­ාළවල පමණක් වටිනාකම ඒ කාලය අනුව රුපියල් 90 දාහක් වූ බව පැවසෙනවා.

විමලවීරයන්ගේ චිත්‍රපට බොහෝමයක්ම අද වන විට විනාශ වෙලා ගිහින්. ඒ විධිමත් සංරක්ෂණාගාරයක් නොමැති වීමේ අනිටු ඵල වශයෙන්. මා දන්නා තරමින් දැනට ඉතිරිව ඇත්තේ “පිටිසර කෙල්ල”, “මා ආලය කළ තරුණිය” හා “අසෝකා” යන චිත්‍රපටත් “පොඩි පුතා” චිත්‍රපටයේ රීල් කීපයකුත් පමණයි.

විමලවීර ජන්ම ශත සංවත්සරය යෙදුණු 2001 වසරේ එවකට ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපතිව සිටි ආචාර්ය තිස්ස අබේසේකර විමලවීර ප්‍රණාම උළෙලක් සංවිධානය කළා. එපමණක් ද නොවේ, චිත්‍රපට සංස්ථා ප්‍රකාශනයක් වූ “සදිසි” සිනමා සඟරාවේ විශේෂ අනුස්මරණ කලාපයක් ද පළකළා. ඒත් විමලවීර මියගොස් 50 වසර සමරන්න අද චිත්‍රපට සංස්ථාවට අවශ්‍යතාවයක් නැති ගානයි. අද ඉන්න සභාපතිවරයා සමහර විට සිරිසේන විමලවීර කියන්නේ කවුද කියලවත් දන්නෙ නැතුව ඇති.

[email protected]