විමලවීර කෝකියාගේ සිංහල කිරිහොදි සිනමාව

චිත්‍රපට සංස්ථාවෙන් පිළිතුරක්

දිනමිණ ජාතික පුවත්පතෙහි පසුගිය සැප්තැම්බර් 24 වැනි අඟහරුවාදා බද්දරමල්ල අතිරේකයට සුනිල් මිහිඳුකුල ලේඛකයා විසින් ලියා තිබූ ‍ ‘විමලවීර කෝකියාගේ සිංහල කිරිහොදි සිනමාව’ නම් විශේෂාංගය මගින් පදනම් විරහිතව ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව සහ එහි වත්මන් සභාපතිවරයා විවේචනය කර තිබීම ඉතා කනගාටුවෙන් යුතුව බැහැර කරමු.

මෙරට සිංහල සිනමාවේ පුරෝගාමීයකු වූ අභාවප්‍රාප්ත සිරිසේන විමලවීර සූරීන් වෙත ගෞරව පුද කිරීමට සුනිල් මිහිඳුකුල ලේඛකයා එකී ලිපියෙන් ගත් උත්සහය එහි අවසන් පරිච්ඡේදයෙන් සංස්ථාව සහ සභාපතිවරයා වෙතින් පෞද්ගලික වෛරයක් සහ උවමනාවක් සපුරා ගැනීම දක්වා පරිවර්තනය වීමෙන් සිදුව ඇත්තේ කීර්තිමත් සිරිසේන විමලවීර සූරීන් වෙත කළ උපහාරයකට වඩා අපහාසයකි.

පසුගිය 2012 වසරේ සිංහල සිනමාවට වසර 65ක් සහ ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාවට වසර 40ක් සපිරුණු අවස්ථාවේදී ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව කළ උත්සව කිහිපය අතරින් සුවිශේෂී සැමරුම් උත්සවයක් සංවිධානය කරන ලද්දේ සිරිසේන විමලවීර නම් වූ මෙම අග්‍රගණ්‍ය සිනමාවේදියාණන් වෙනුවෙනි.

ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව පැවැත්වූ සිරිසේන විමලවීර සැමරුම් උත්සවයේ අවස්ථාවක්

ජාතික චිත්‍රපට සංස්ථාවේ ‘තරංගනී’ සිනමා ශාලාවේ දී දිනක් පුරා පැවැති එම අභිමානවත් සැමරුම් උළෙලේ දී සිරිසේන විමලවීර සූරීන්ගේ ‘ පිටිසර කෙල්ල’. ‘අසෝකා’ සහ ‘ මා ආලය කළ තරුණිය’ යන චිත්‍රපට ප්‍රදර්ශනය කිරීමට කටයුතු කෙරිණ.

ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථා සභාපති නීතිඥ අසෝක සේරසිංහ මහතාගේ උපදෙස් හා මාර්ගෝපදේශයෙන්, සංස්ථාව සංවිධාන කළ එම උත්සවය සඳහා විමලවීර සූරීන්ගේ පුතණුවන් වන දයා විමලවීර, ප්‍රවීණ සිනමා නළු සනත් ගුණතිලක සහ සිනමා සංරක්ෂණවේදී තිස්ස නාගොඩවිතාන යන මහත්වරුන් නොමඳ සහයෝගයක් ලබා දුන්හ.

අමාත්‍ය ජීවන් කුමාරණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් සහ ප්‍රවීණ හා නවක සිනමා ශිල්පීන්ගේ සහභාගීත්වයෙන් පැවති ප්‍රධාන උළෙලේ දී සංස්ථා සභාපති නීතිඥ අසෝක සේරසිංහ මහතා පිළිගැනීමේ දෙසුම ද ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනිල් ආරියරත්න සූරීන්, විශේෂ දෙසුම ද පවත්වන ලදී. සංස්ථා සභාපති නීතිඥ අසෝක සේරසිංහ මහතා සිය දෙසුමේ දී සඳහන් කර සිටියේ නගරයට පමණක් සීමා වී තිබූ සිංහල සිනමාව හුදු ලාභ අපේක්ෂාවෙන් තොරව ඈත පිටිසර ගම්මාන වෙත රැගෙන යාමට දායක වූයේ විමලවීර සූරීන් බවයි.

සිය කුඩා අවධියේදී එවැනි ජංගම සිනමා කූඩාරමක සිට සිනමා පටයක් නැරඹූ සුන්දර මතකය සිනමා පිළිබඳ ගැඹුරු අඩිතාලමක් ලැබීමට හේතු වූ බව අසෝක සේරසිංහ මහතා එහිදී සිහිපත් කරන ලදී. ගමින් ගමට ගොස් ජංගම සිනමා ප්‍රදර්ශන ඇරඹීමට පුරෝගාමී වූ විමලවීර සූරීන් නිසා සිංහල සිනමාව ලද පදනමත් සැබෑ සිංහල සිනමාවක් බිහි කිරීමට එතුමන් දැරූ උත්සහයේ අග්‍රඵල ලෙස ලෙස්ටර් ජේම්ස් පීරිස් වැනි සිනමාවේදීන් අතින් සැබෑ ශ්‍රී ලාංකේය සිනමා නිර්මාණ බිහිවීමත් සේරසිංහ මහතා වැඩිදුරටත් පෙන්වා දෙන ලදී.

ජාතික චිත්‍රපට සංස්ථාව සිරිසේන විමලවීර සූරීන් හට උපහාර දක්වා එතුමන් අතින් බිහිවූ සිනමා නිර්මාණ වත්මන් පරපුරට දැක ගන්නට සලස්වද්දී විශිෂ්ට කලාකරුවනගේ ඡන්ම දින හා දිවංගත දින සිය දිනපොතේ සටහන් කර ගනිමින් වසරකට වරක් අදාළ කාලයේ දී පමණක් පිටු පිරෙන්නට ඔවුන්ගේ ගුණ වයා ඒ අතරතුර පෞද්ගලික කෝන්තර හා පටු ලාභ අරමුණ ඉටු කරගැනීමට ඇතැම් මාධ්‍යවේදීන් කටයුතු කිරීම ඉතා ශෝචනීය සිදුවීමකි.

සිරිසේන විමලවීර සූරීන් අභාවප්‍රාප්ත වී පසුගිය අගෝස්තු මාසයට වසර 50ක් සපිරුණු බව සත්‍යයකි.

නමුත් සංස්ථාව එතුමන් වෙනුවෙන් උපහාර දැක්වීමට එතුමන් දිවංගත වී හෝ ඡන්මලාභය ලබා ගතවූ කාලය කොපමණ ද යන්න නොසැලකුවෙමු. එතුමන් මෙරට සිංහල සිනමාව වෙනුවෙන් කළ කී අනුපමේය මෙහෙවර ගැන පමණක් සැලකුවෙමු.