ප්‍රියා!

අපගේ ආදීතම මුතුන් මිත්තන් මෙන් අපි අන්ධකාරයට බියපත් වීමු. එහෙත් නගරය විදුලි බුබුලින් ආලෝකවත් වී තිබිණ.

“අයියෝ අක්කා ඉක්මන් කරන්න. හතයි කාල ගියොත් අපට යන්න බස් එකක් නෑ. රෑ දහයෙන් මෙහා.....”

මුදල් නොගෙවා පෝලි‍මේ සිටින රෝගීන් හා මුදල් ගෙවා පෝලිමේ සිටින රෝගීන් අතර වැඩි වෙනසක් නැතැයි සිතමින් මම මගේ නෑනා පසුපස දිව ගියෙමි. මුදල් ගෙවා රස්තියාදු වීමට අපි තීරණය කළේ අපහට උන්හිටි හැටියේ වැලඳුණ චැනල් මේනියාවක් නිසා නොවේ. ගෙදර දොරේත් දරුවන්ගේත් කටයුතු නිසාම වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම තවදුරටත් ප්‍රමාද කළ යුතු නැතැයි ඇයත් මමත් හිටිවනම තීරණය කළ බැවිනි. එහෙත් සුපුරුදු පරිදි දරුවන්ගෙන් වෙන්ව යාම මට පහසු කටයුත්තක් නොවීය.

“මාත් එනවා” යි මද්දු බැගෑපත් වුවද මම දැඩි බවම පළ කළෙමි.

“නෑ නෑ.ලොකු අයියත් ඉන්නවනේ. තුන් දෙනාම ගෙදර ඉන්න. මාත් එක්ක ඇවිල්ල දුක් විඳින්න හදන්න එපා...”

“ලොකු අයිය ඉන්න නිසා තමා අපිට ගෙදර ඉන්න බැරි” නිවුන් පුතාලා මැසිවිලි නඟන්නට පටන් ගත්තෝ ය.”

“ඇයි? තාත්තයි ලොකු අයියයි ඔයාලව බලාගනීවි. රෑට උයල තියෙන්නෙ. තේ කඩේ රත්නෙ මල්ලිට මම කීවා ඔයාලට තේයි පානුයි දෙන්න කියල හවසට..බිස්කටුත් ඇති ටින් එකේ...”

මුහුණු එල්ලාගත් කොලු පැටවු තිදෙනා නෝක්කඩු කියති.

“ලොකු අයිය අපිව ඉඹිනවා අම්මේ. එපා වෙනවා.”

“තාත්ත බණිනව අම්මෙ චුට්ටක් ඇත්තං. හුඟක් තරහ ආවොත් ගහනවා හිටං.”

“පොඩි අයියවත් හිටියනං ඉන්න තිබ්බා”

ඔවුන් කොතෙක් කරුණුගෙන හැර දැක්වුවද මම මගේ තීරණයෙහි එල්බ සිටියෙමි.

“ලොකු අයිය ඔයාලව ඉඹින්නෙ ඔයාලට ආදරේ හින්දා. තාත්තා ඔයාලට බනින්නෙ ඔයාලා නිතරම සෙල්ලම මිසක් පාඩම් නොකරන හින්ද...පොඩි අයිය ඒ ලෙවල් කරන නිසා නිතර ගෙදර එන්න විදියක් නෑ.”

සිය සන්තාපය නොමඳව මවා පාමින් ඔවුන් අඳුරුව ගිය මුහුණුවලින් මා වටකොට ගත්හ.

“අනේ අම්මෙ අපිත් එන්නම්කො.”

“බෑ බෑ...මම යන්නෙ බස් එකේ.. රෑ වෙන්නත් ඉඩ තියෙනවා. රෑ බෝවෙලා ළමයි තුන් දෙනෙකුත් එල්ලගෙන බස්වල එන්නෙ කොහොමද මම..?”

අන්තිමේදී ඔවුහු සිය උත්සාහය අත හැර දැමූවෝය. කිසිදු බුරුලක් නොපෙන්වූ මම නගරය බලා යෑම පිණිස සිව්මංසලට දිව ගියෙමි. එහෙත් බසයේ නැගී ගිය පැයක කාලය තුළ මට නිබඳ සිහිපත් වූයේ මගේ දරු පැටවුන්ය. දැන් ආපසු යෑමට බස් නැවතුම්පළේ බලා සිටින අතරතුර ද මගේ දෑස දකින්නේ කොල්ලන්ගේ දුක්බර මුහුණුම ය.

“හරි වැඩේ අක්කෙ. හතයි කාල ගිහිල්ලලු...”

මදක් විපරම් කළ නෑනා කියා සිටියේ තරමක නැති ගැන්මකිනි.

“මොනා කරන්න ද ඉතිං. ඊ ළඟ බස් එක එනකම් බලා ඉමු...” සැහැල්ලුවෙන් සිනාසුණද පැය කීයක් නම් බස් නැවතුම්පළේ තපින්නට සිදුවනු ඇත්දැයි සිතා මම ද මහත් සේ කැළඹුණෙමි. දරුවන්ගේ සෝබර මුහුණු මා අබියස මැවී මැකී යන්නට පටන් ගත්තේ ය.

එහෙත් එක් ළමා මුහුණක් එසේ මැකී නොගියේ ය. මගේ දරුවෙකු නොවුවද ඒ කුඩා ආගන්තුකයා දුටු සැණින් මගේ ළය දැවී ගියේ ය. ඔහුගේ පියා අත බරැති මල්ලක් ද විය.

“බස් එක ගිහිල්ලද?” යි ඔහු ඇසුවේ හතිලමිනි. දරුවා වඩාගෙන ආ බැවින්දෝ ඔහු වෙහෙසට පත්ව සිටියේ ය.

“ඔව්. හරි වැඩේ තමා මේ පොඩි දරුවකුත් එක්ක” නෑනා සිය කනගාටුව ප්‍රකාශ කළා ය.

“ඒක නේන්නං. පුතාගෙ අම්මා පුතාගෙ නංගිව තියාගෙන ඉස්පිරිතාලෙ..කෑම්ප් එකටත් ගිහිං නිවාඩු දාපු නිසා මට බස් එකට එන්න පරක්කු වුණා. යි කී ඔහු දරුවා බිම තැබුවේ ය. අවුරුදු තුන හතරක පොඩිත්තා කොතෙක් හුරුබුහුටි වී ද කිව හොත් නෑනාගේත් මගේත් අවධානය මුළුමනින්ම පැහැර ගන්නට සමත් විය.

“ඇයි පුතේ...? නංගිට සනීප නැද්ද?

“ඔව්. නංගිට සෙම හිරවෙලා ඌයිය වුණා. අද නංගි මා එක්ක හිනා වුණේවත් නෑ. වෙනද නං අයියේ කියල කතා කරනවා.” යි ඔහු කියාගෙන ගියේ හුරතල් හඬිනි.

“අනේ ඇත්තද..? නංගිට ඉක්මනට සනීප වෙයි පැටියෝ.”

අපි අතිශයින් ප්‍රියමනාප වචන සොයමින් දරුවා අස්වසන්නට වෑයම් කළෙමු.

“මේ රෑ වෙලා ඔයාල මෙහෙම ඉන්න හොඳද ටවුන් එකේ බස් හෝල්ට් එකක? අද රටේ හැටි නොදන්නවා වගේනෙ කොච්චර නරකද අද රට..”

තරුණ සෙබලා අපට දොස් පැවැරුවේ අපේ සොයුරකු නොඑසේ නම් පියා මෙනි. නෑනාත් මාත් සිනාසු­ෙණමු. අපි කරදර වූයේ දරුවාගේ සුව පහසුව වෙනුවෙනි. අප අසල වූ ටිකට් කවුන්ටරයද රාත්‍රී නවය පසුවන විට වසා දැමුවේ ය. අපි එහි තට්ටුව මත පොඩි එකා ඉන්දවා නොවැටෙන ලෙස රැක ගතිමු. මා ඒ කාරියේ යෙදී සිටි අතර කොතෙකුත් හිනැහෙන දොඩන නෑණන්ඩිය බසයක් බලාපොරොත්තුවෙන් ඇස් කකියන තුරු බලා සිටින උදවිය සමඟ සයුරු පාසානය පටන් ගත්තාය.

“මං යන්නෙ බටුවත්තට” යි එක් මිනිසකු කී කල ඇය යෝජනා කළේ පයින් යාම වඩාත් යෝග්‍ය බවයි. බසයක් කොයි වේලාවේ එතනු ඇත්දැයි සැක සහිත බැවිනි.

“අනේ ඉතිං තටමලා තටමලා පයින් බඩ ගාලා මං බටුවත්තට යනකොට ම බස් එක එයි. ඒක ඉතිං කකුල් දෙක ගෙවෙනකං බඩ ගාපු මටත් හෝං එකගහගෙන යන්ඩ යයි. අප්පේ මට බෑ පයින් යන්ඩ. එළි වෙනකල් හරි මං ඉන්නවා. බස් එකක් එනකං.” යි ඔහු කී කල අපි හඬ නගා හිනැහුණෙමු. නිවෙස් බලා යාමට නොඉවසිල්ලෙන් මඟ බලා සිටින පිරිස බුම්මාගෙන සිටියේ අ‍වේලාවේ සිනාසීම වරදක් සේ හිතන්නාක් මෙනි. එහෙත් වාතාවරණය කොතරම් අසතුටුදායක වුවද ළතවීමෙන් පලක් ඇත්ද?

අන්තිමේදී බසයක් පැමිණියේ අප ප්‍රීතියෙන් ඔකඳ කරවමිනි. කලබලය වැඩිකමට තරුණ පියාට බරැති බෑගයත් දරුවාත් ඔසවාගන්ට පහසු වූයේ නැත.

“මං බබාව ගන්නම්” යි කී නෑනා දරුපැටියා වඩා ගත්තා ය. එකෙණෙහි මට හැඟී ගියේ පුරාණ රාජධානියක අහස උසට නැඟි දාගැබ් වන්දනා මාන කරන්නට පැමිණි තිස්තුන් කෝටියක් දෙවිවරු සාධුකාරදුන් බවකි. ඒ විශිෂ්ට වාරි කර්මාන්තය සහ වලාකුළු පිසින දාගැබ් වෙනුවෙන් පමණක් නොවේ. නාඳුනන දරුවකු ළෙහි ගන්වාගත් තරුණියක වෙත ද උන්වහන්සේගේ ගෞරවාදරය පිරිනැමූ බව මට, සහතික ය.

දරුපැටියා මගේ නෑනාගේ ඇකයේ නින්දට වැටී සිටි අතර ඔහුගේ පියා ද යාබද අසුනක නිදි කිරා වැටුණේ ය. ගමනාන්තය එළැඹි කල්හී ඔහු අවදි කරවා දරුවා බාරදෙන්ට අපට සිදුවිය.

“ඇයි? ඔයාගෙ නෙමේ ද බබා.?” යි මගියකු ප්‍රශ්න කළේ අප්‍රමාණ පුදුමයෙනි. පිටස්තර දරුවකු මෙතෙක් දුරක් උකුළේ හොවාගෙන ඒම පිළිබඳව ඔහු පුදුමයට පත් වූවා මෙන්ම මම මගේ නෑනා පිළිබඳ සතුටට හා ආඩම්බරයට පත් වීමි. ඇය ඒ සා ප්‍රියංකර ලෙස මට අන් කෙදිනකවත් දිස් නොවී ය.