නොඇසේ නොදැනේ පුදුමේ

පහුගිය දවසක දියවන්නාව දෙසින් වාර්තාගත වාර්තාවක් එළිදැක්වුණා. ළමා සංවර්ධන හා කාන්තා කටයුතු ඇමැති තිස්ස කරළියද්ද මහතා විසින් ඉදිරිපත් කළ ඒ වාර්තාවට අනුව ගෙවුණු දෙදහස් දොළහ වසරේ දී දරුවන් 7,418 අපයෝජනයට ලක්වී ඇති බව පැවසුණා. අපි අපේ දරුවන් පිළිබඳ ව කෙතෙක් දුරට අවධාන යොමුකර තිබෙනවාද යන්න නැවත නැවත සිතා බැලිමට, අනේ අපොයි යනුවෙන් කම්පාවීමට වඩා වැඩි යමක් ඔබේත් මගේත් දරුවන් වෙනුවෙන් ඉටුකරන්නට අප තවමත් උත්සාහ දරා නැති බවට තවත් උදාහරණයක් අනවශ්‍ය බවයි මට හැඟුණේ.

ඇත්තමට අපි අපේ වගකීම, යුතුකම දරුවන් වෙනුවෙන් ඉටුකරන මවුවිපියන්, පුරවැසියන් කියල අපිට ආඩම්බරයෙන් කියන්න පුළුවන්ද? මම ඔබෙන් එහෙම විමසුවොත් ඔබ මට පිළිතුරු දේවි. කොහොමද එහෙම නොවෙන්නෙ කියලා. අපි අපේ දරුවන්ට ආදරෙයි, ලෙඩට දුකට බේත් අරන් දෙනවා. අපිට නැතත් පුළුවන් හොඳම විදියට දරු පැටවුන්ට කන්න බොන්න හදල දෙනවා. අපිට හැකි උපරිම විදියට අධ්‍යාපනය ලබාදෙනවා. හොද නරක තියලා දෙනවා. තවත් මොනවද වෙන්න තියෙන්නෙ කියල සමහර විට ඔබ මගෙන් අහන්න ඉඩ තියෙනවා. ඔව් සමහර විට ඔබ හරි. අපි මේ සියලු වගකීම් යුතුකම් ඉටු කරනවා තමයි. එත් අපි නොදන්න දෙයක් තියෙනවා. ඒ තමයි මේ සියල්ල නිසියාකාරව සිදුකෙරුණත් වරදින්න එක මොහොතක් ඇති කියල හිතන්න අපි අමතක කරන එක. ඒ වරදින ඉඩ ගැන අපි දක්වන අනවධානය.

රටේ ජාතික පුවත්පත්වල, වෙබ් අඩවිවල පළවුණු උදාහරණ කීපයක් මම නැවත ඔබ වෙත ඉදිරිපත් කරනවා.

“වසර දෙකක් තිස්සේ පියාගෙන් අතවර විඳි දියණියෝ”

“සීයලා දෙදෙනකුගෙන්, තරුණයකුගෙන් සහ සිසුවකුගෙන් එකොළොස් හැවිරිදි දැරියට අතවර”

“ස්කූල් වෑන් ඩ්‍රයිවර් පාසල ඉදිරිපිටදී දැරියකට අතවර කරලා ”

“ගැහැනු දරුවෝ 1165 ක්‌ ගිය වසරේ අතවරයට ලක්‌වෙලා”

“පාසල් පරිශ්‍රය තුළ අපචාරයට ලක්වන සිසු සිසුවියන්ගේ සංඛ්‍යාවේ වර්ධනයක්”

මේ දවස් තුන්සිය හැටපහේම බණ කියන රටක, බණ අහන රටක දරුවන් ගැන පළවෙන ප්‍රවෘත්ති. අපි, අඩු වශයෙන් දරුවන් අපයෝජනයට ලක්වෙනවා, අතවරයට ලක්වෙනවා කියන එකවත් නිවැරදිව වටහාගෙන තියෙනවද කියල වෙලාවකට හිතන්න වෙනවා.

ළමයකු අපයෝජනය කිරීම යනු ළමයකුගේ කායික හා මානසික තත්ත්වයට පිටස්තරව, ඔහු ගේ හෝ ඇයගේ යහපතට, හා මනා කල්ක්‍රියාවට එරෙහිව සිදු කරන කුමන හෝ අයහපත් ක්‍රියාවක්. ඔක්ස්ෆර්ඩ් ශබ්ද කෝෂයට අනුව ළමා අපයෝජනය යනු ළමයින් කෙරෙහි අනර්ථයක් සිදුවන ආකාරයෙන් සැලකීම හෝ ක්‍රියා කිරීමයි. මෙහිදි ශාරිරික වශයෙන් ළමයින්ට සිදුකරනු ලබන ප්‍රචණ්ඩ ක්‍රියා හා ලිංගික අතවර මුල් තැනක් ගෙන අවධාරණය කර තියෙනවා.

ළමයින් කියන හැදින්වීම තුළම ඔවුන්, මවුපිය ආදරය අපේක්ෂා කරන කරුණාව හා දයාව ලැබිය යුතු මාපියන්ගෙන් මෙන්ම සමාජයේ රැකවරණය ආරක්ෂාවට ලක්විය යුතු පුද්ගලයන් බව කියවෙනවා. නමුත් අවාසනාවන්ත කාරණය වන්නේ, වැඩිහිටියන්ගේ ආධාර සහ උපකාර මත ජීවත්විය යුතු දරුවන් එම වැඩිහිටියන් වෙතින්ම අනාරක්ෂිත බවට පත්වීමයි.

ඉතින් අපි කුමක් කරමුද? දෙකෝටිය ඉක්ම වූ ජනගහනයක් සිටින සිරි ලංකාවේ ලක්ෂ හෑත්තෑවක් වන ළමාපරපුර රැකගැනීම වෙනුවෙන් ඔබත් මමත් කුමක් කර තිබේද?

ළමයා යන්නෙන්, ළමා අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තිය අනුව වයස අවු: 18 ට අඩු සෑම මනුෂ්‍යයෙකුම අදහස් වේ. ඒ අනුව ළමයා මවුපිය ආදරය අපේක්ෂා කරන කරුණාව හා දයාව ලැබිය යුතු මාපියන්ගෙන් මෙන්ම සමාජයේ රැකවරණය ආරක්ෂාවට ලක්විය යුතු අය බව පෙනී යන්නකි. ළමයින් වැඩිහිටියන්ගේ රැකවරණය තුළ ජීවත්වන කොටසකි. ඔවුන් ළමුන් ලෙස නිර්වචනය කරනු ලබන එක් සාධකයක් වනුයේ ද වැඩිහිටියන්ගේ ආධාර සහ උපකාර මත ජීවත්වීමයි. වර්තමානයේ ළමයින්ගෙන් විශාල කොටසකට ඔවුන්ගේ ළමා කාලය නිසි පරිදි ගතකිරීමට අවශ්‍යකරන පහසුකම් ලැබී නැත. ළමයින්ට එරෙහිව අපයෝජන තත්ත්වයන් වත්මන් සමාජය තුළ සන්සන්දනාත්මකව ඉහළ අගයක් ගනු ලබන අතර විශේෂයෙන්ම ළමා අපයෝජනය සුවිශේෂී ගැටලුවක් ලෙස නූතනයේ පිළිගැනෙයි.

ළමා අපයෝජනයේ විවිධ ස්වරූපයන් හඳුනා ගත හැකි අතර විවිධ වර්ග කිරීම් මගින් නොයෙක් අදහස් ද පෙන්වා දී ඇත. ළමා අපයෝජන ක්‍රියාවලිය ඉතා සංකීර්ණ ස්වභාවයක් ගන්නා අතරම එක් එක් අපයෝජන චර්යා රටාවන්ද එකිනෙකින් වෙනස්වන එකිනෙක හා සුවිශේෂී ලක්‍ෂණ සහිත තත්ත්වයක් ද පෙන්නුම් කරනු ලබයි. ඇතැම් අවස්ථාවලදී එකිනෙක හා අන්තර් සබඳතාවන් ද පවත්නා බව පැහැදිලිය. එනම් එක් කණ්ඩායමකට අයත් අපයෝජන තත්ත්වයන්ට ගොදුරුවන දරුවන් එම හේතුව හෝ අවස්ථාව නිසාම වෙනත් අපයෝජන ක්‍රියාවකට ගොදුරුවීමට ඉඩකඩ ඇත (WHO 2005 :4, කුමාර 2001:40-41).

ළමයින්ට එරෙහිව සිදුවන අපයෝජන තත්ත්ව අතර කායික අපයෝජනය ප්‍රමුඛ ස්ථානයක් ගනු ලබන අතර ලෝකයේ සෑම රටකම පාහේ ළමයින්ට එරෙහිව සිදුකරනු ලබන කායික හිංසන ක්‍රියා අපරාධ නීතිය හෝ වෙනත් නීති සංග්‍රහයන් මගින් වරදක් ලෙස සැලකීම තුළ මෙවැනි ක්‍රියා අපරාධ ගණයට වැටෙයි. ළමයකු ශාරීරිකව අපචාරයට ලක්කළ හැකි වන්නේ පහරදීම, නිරාහාරව තැබීම, දම්වැල් වැනි දෙයකින් බැඳීම ආදිය මගිනි. මෙවැනි අපචාර පවුල, පාසල, නිවසකදී, ළමා නිවාසයක දී සිදුවීමට ඉඩ ඇත (ගුණරත්න 2000: 89). කායික අපයෝජනයට ‍හෝ හිංසනයට ගොදුරුවන දරුවෝ එමගින් විවිධ අහිතකර තත්ත්වලට ලක්වෙති. මේ අතුරින් ප්‍රධාන වන්නේ හිංසනය හේතුවෙන් කෙටිකාලීනව හෝ ක්‍ෂණිකව ඇතිවන කායික බලපෑම් ය. ශාරීරික වශයෙන් තුවාල, තැලීම් ලක්‍ෂණ, පිලිස්සුම් ලකුණු, කැඞීම් හා සීරීම් ලකුණු බොහෝ දුරට පෙන්නුම් කරයි. ශරීරයේ බාහිර හා අභ්‍යන්තර ඉන්ද්‍රියන්ට හානිකර ප්‍රතිඵල, අස්ථි බිදීයාමේ තත්ත්වයන් හා ශරීරය තුළ අභ්‍යන්තරව සිදුවන ලේ ගැලීම්වලට භාජනයවීම් ආදිය තුළ දරුවන් ළමා සංවර්ධනය ආශ‍්‍රිත ගැටලුවලට, චර්යාත්මක ගැටලු හා අක‍්‍රමතාවන්ට ද ලක්වේ. පෞරුෂමය දුර්වලතා, ලැජ්ජාශීලී සමාජයට වෛර කරන පසුබෑමට ලක්වූ දරුවන් බිහිවීම කායික හිංසනයේ ප්‍රතිඵලය. (සිල්වා 2000: 1-4).

ළමා අපයෝජන ක්‍රියා ශාරීරික අපයෝජනයට සීමා නොවන අතර ශාරීරික වශයෙන් කරන හිංසාවලින් තොරව චෛතසිකව ද අපචාරයට ලක්වේ. රළු වචන භාවිත කිරීම, බිය ගැන්වීම, තර්ජනය කිරීම, හුදකලා බවට පත්කිරීම වැනි ක්‍රියාවලීන් මෙන්ම දරුවන්ට ලැබිය යුතු ආදරය නොලැබීම, නොසලකා හරිනු ලැබීම ද මෙයට අයත්වේ. චිත්තවේගී අපචාර, ශාරීරික අපයෝජනයන් මෙන් හඳුනා ගැනීම අපහසු නිසා මේ තත්ත්වයන් සනාථ කිරීම වඩා අපහසුය. (ගුණරත්න 2000: 91)

කුඩා දරුවන් ඔවුන්ට ඔරොත්තු නොදෙන රැකියාවල යොදවමින් ළමා ශ්‍රමය සූරාකෑම ද දක්නට ලැබෙන අතර වයසින් අඩු දරුවන් කුඩා කාලයේ සිටම විවිධ සේවාවල යෙදවීම වර්තමානයේ දැකිය හැකි ය. ළමයින්ගේ මූලික අයිතීන් උල්ලංඝනය වන අනිසි තත්ත්වයන් ලෙස මෙය සඳහන් කළ හැක. මේ අනුව ලෝකයේ බොහෝ රටවල දරුවන් ශ්‍රමිකයන් ලෙස යොදවා ගැනීම වරදක් ලෙස නීතියෙන් අර්ථ දක්වා තිබේ. 1999 දී ජාත්‍යන්තර කම්කරු සංවිධාන විසින් වඩාත් අහිතකර ළමා ශ්‍රම භාවිතය පිළිබඳව 1982 දරණ සම්මුතිය මගින් ද ලෝකයේ පවත්නා වඩාත් අහිතකර ළමා ශ්‍රම භාවිතාමය තත්වයන් වැළැක්වීම සඳහා එකඟතාවයක් ඇති කරගෙන ඇත (කම්කරු දෙපාර්තමේන්තුව 2005:18).