සංගීතකාරයෝ සහ ගායකයෝ...

සංගීතකාරයෝ සහ ගායකයෝ කියන්නේ දෙගොල්ලක්. ගායකයෝ කියලා ඉස්සර කිව්වේ සම්ප්‍රදායික සංගීතය හදාරපු මුදලට වඩා සුභාවිත සංගීතයට මුල්තැන දීපු උදවියට. ඒ වුණාට දැන් ගායකයෝ කියලා කියන්නේ සින්දු කියලා ලස්සන මියුසික් වීඩියෝ එකක් හදලා, නොයකුත් යන්ත්‍ර සූත්තර භාවිතයෙන් කටහඬ වෙනස් කරලා රූපවාහිනියේ සින්දුවක් හිට්කරගත්ත උදවියට.

ඉස්සර ගායකයෙක් වෙන්න සල්ලි තියෙන්න ඕන නෑ. හැබැයි ලස්සන හිතට දැනෙන විදිහේ කටහඬක් තියෙන්න ඕන වුණා. ඒ වුණාට අද දවසේ ගායකයෙක් වෙන්න කටහඬේ ලස්සන ඕනම නැති තරම්. සින්දුව හදන තැන ඉදලා රූපවාහිනී ආයතනය දක්වා හැම තැනටම මුදල් විසිකරන්නට පුළුවන් නම් ගායකයෙක් වෙන්න තියෙන උපරිම සුදුසුකම එච්චරයි. ඉස්සර ගායක ගායිකාවන්ගේ හදවතට දැනුණෙ රසික ආදරය. අද ගායක ගායිකාවන්ට දැනෙන්නේ සින්දු කිව්වට පස්සේ තමන්ගේ පසුම්බියට වැඩිපුර එකතුවෙන බර විතරයි. එයාලා සාර්ථකත්වය මනින්නේ ඒ පසුම්බියේ බර ගැන සලකලා විතරයි.

සංගීතය ගැන මට තියෙන දැනුම් ප්‍රමාණය හරි විශාල, පුළුල් එකක් නොවුණට මටත් සංගීතය ගැන හැඟීම් මාත්‍රයක් තවමත් ඉතිරිවෙලා තියෙනවා. රෑ අඳුර කවුළුවකින් ගෙට ඇතුළු වෙන වෙලාවට විදුලි ආලෝකයෙන් තොර වෙච්ච කාමරයක පුංචි රේඩියෝවකින් ඇහෙන සම්ප්‍රදායික සංගීතය ඇතුළෙ ඒ හැඟීම් මාත්‍රය ගැබ්වෙලා තියෙනවා.

සංගීතකාරයෝ නම් එදා වගේ ම අදත් පොඩ්ඩක්වත් වෙනස්වෙලා නැහැ. සංගීතකාරයෝ කියලා කියන්නේ සින්දු කියන්න තියෙන කැමැත්ත හින්දම සින්දු කියන ඒ වුණාට කවදාවත්ම සමාජයේ ජනප්‍රිය වෙන්න බැරි වුණු චරිතවලට. එයාලා ඒ වුණත් කවදාවත්ම සින්දු කියන එක අත අරින්නේ නැහැ. හැමදාම පුළුපුළුවන් විදිහට සින්දු කියනවා.

ඉගෙන ගන්න වැඩ අතපසු කරලා සිතාරයක් හරි ගිටාරයක් හරි සිත් ඇදිලා යන විදිහට වාදනය කරන ළමයෙකුගෙන් අම්මා කෙනෙක් “සංගීතකාරයෙක් වෙල කාටද හරිගියේ?” කියලා නුරුස්නා ස්වභාවයකින් අහන්නේ ඒ නිසයි.

ළඟදි දවසක අපි නෑදෑ ගෙදරක ගියා. ඒ ගෙදර පොඩි පුතා හරිම ලස්සනට වයලීනය වාදනය කරනවා. එහේ ඉන්න ජර්මන් ෂෙපර්ඩ් වර්ගයේ බලු පැටියා පුතාගේ පුටුව ළග ඉදගෙන එයාගේ භාෂාවෙන් උඩුබුරලන්නේත් නැති, බුරන්නේත් නැති ස්වරයකින් ලස්සන සින්දුවක් කියනවා. “මෙයත් ඔයා වගේ ම ගිය ආත්මේ සංගීතකාරයෙක් වෙලා ඉන්න ඇති..” කියලා ඒ පොඩි පුතාගේ අම්මා කියනවා. පාඩම් පොත්වලට නැතුව වයලීනයට තියෙන වැඩි කැමැත්ත ඒ පුතාගේ ඇස්වල දිලිසෙනවා. ඒ ගැන තියෙන නෝක්කාඩුව ඒ අම්මාගේ ඇස්වල පුපුරු ගහනවා.

කලින් ගායකයෙක් වෙච්චි දැන් සංගීතකාරයෙක් වෙලා ඉන්න රටේ නම් දරාපු ගායකයෙක් මට ළඟදි දවසක් මුණ ගැහුණා. එයා හිටියේ පෙට්‍රල් ෂෙඩ් එකක. පඩියක් උඩ ඉදගෙන.Óමිස්ට මාව මතකද?” එයා මගේ ළඟට ඇවිල්ල ඇහුවා. උඩ ඉදලා පල්ලෙහාටම මනුස්සයා දිහා බැලුවත් එයා කවුද කියලා අදුරගන්න මට බැරි වුණා. “අනේ ...මට හරියටම අදුරන්න බෑනේ..” කියලා මම කිව්වා. “හ්ම්ම්...” කියලා කිව්වත් එයාගේ මූණ දුකින් බරවෙච්ච විත්තිය මට තේරුණා.” හරියටම මතක නැති වුණත් දැකලා පුරුදුයි වගේ...” කියලා මම කිව්වේ ඒ දුක සතුටකට හරවන්න උවමනා හින්දයි. හීන් හිනාවක් මූණේ තවරගෙන “ මම තමයි .....කියන ගායකයා “ කියලා එයා කිව්වා. මට ඒ ගායකයව හොඳටම මතක තිබුණෙ එයා අපේ අම්මගේ ප්‍රියතම ගායකයෙක් වුණ හින්දයි. “ආනේ...ඒ ඔයාද?” මම ආයෙමත් ඇහුවේ සැකේ තහවුරු කරගන්නත් එක්කයි. දැන් එයාගේ මූණේ හිනා ගොඩයි.

“මිස් දන්නේ නෑනේ ...මම අලුතෙන් සංගීත තැටියක් හැදුවනේ..” කියලා එයා කිව්වා. සල්ලිබාගේ තියෙන මිස් කෙනෙක් එයාට ඒකට උදවු කළා කියලත් කිව්වා. “මිස්ට එකක් ඕනෙද?” කියලා එයා ඇහුවේ හරිම බැගෑපත් ස්වරයකින්.

“හා..දෙන්නකෝ බලන්න” කියලා රුපියල් දෙසිය පනහක් දීලා තැටියක් මිලට ගත්තට පස්සේ එයා මට බොහොම පින්දුන්නා. පින් දීලා සල්ලිවලට සංගීතයත් දෙන්න ඕනෙද කියලා මම ආයෙමත් කල්පනා කළා. ගෙදර ගිහිල්ලා ඒ සංගීත තැටිය ශ්‍රවණය කරන්න පටන් ගත්තේ ඊටත් දවස් දෙක තුනකට පස්සෙයි. ඒ කටහඬ කොයිතරම් නම් මිහිරිද කියලා මට හිතුණෙත් ඊට පස්සෙයි. දැන් ඉන්න ගායකයොයි කියාගන්නා අයට වැඩියෙන් මේ ගායකයාගේ කටහඬ හදවතට කිදා බැස්සේ ඉන් අනතුරුවයි.

ගායකයෝ සංගීතකාරයෝ වෙලා ඉන්න අතරේ සංගීතකාරයෝ ගායකයෝ වෙලා ඉන්න එක ගැන හිතට දැනුණ හීන් දුක අකුරු කරලා මම මේ කතාව ලිව්වේ ඒ හින්දයි.