ප්‍රාථමික දරුවන්ට ටියුෂන් තහනම්

“ ටොම්සන් මහත්තයා ඊයේ ? ගුවන් විදුලියේ ප්‍රවෘත්ති ඇහුවද? ” කියා අසමින් පෙරේරා මහත්තයා පෙත්සම් කන්තෝරුවේ මිදුලට ආවේ ය. ඒ වෙලාවේ ටොම්සන් මහත්තයා සිටියේ පාර දිහා බලා ගෙන ය. පෙත්සමක් ලියා ගන්නට කවුරු හරි එනකං ය.

“ මං ඇහුවේ ටොම්සන් මහත්තයා, අපේ අධ්‍යාපන ඇමතිතුමාගේ නියෝගය ගැන... සාමාන්‍ය පෙළ විභාගය ඉවර වෙනකං ටියුෂන් මුකුත් බෑ... මේ පත්තරෙත් දාලා තියෙන්නේ....”

“ අර මේ පැත්තට එන්නේ අම්මලා පිරිසක් නේද ? පොඩි දරුවොත් අතින් අල්ලා ගෙන... ” කියා ටොම්සන් මහත්තයා කීවේ පෙරේරා මහත්තයා කියූ දේ නෑසුණු විදිහට ය.

“ හැබෑ තමයි... මේ පැත්තට ම තමයි එන්නේ... මොකද දන්නේ නෑ.... සමහර විට ටොම්සන් මහත්තයා හම්බ වෙන්න වෙන්ඩැති... පෙත්සමක් ලියා ගන්ඩ... ”

අම්මලා පිරිස ළමයිනුත් අතින් අල්ලා ගෙන පෙරහරක් වාගේ ආවේ ටොම්සන් මහත්තයා ඉන්න දිහාවට ම ය. පෙරේරා මහත්තයාත්, ටොම්සන් මහත්තයාත් ටිකක් අයින් වෙලා වාගේ හිටියේ මේ මොකක්ද වෙන්නේ කියලා හිතා ගන්ඩ බැරුව ය. කාන්තා පෙරහරේ ඉස්සරහින් ආපු කීප දෙනෙක් කෙළින්ම පෙත්සම් කන්තෝරුව ඉස්සරහට ම ආවෝ ය.

“ අපි ආවේ ටොම්සන් මහත්තයා හම්බු වෙන්ඩ... මෙතනින් කවුද ටොම්සන් මහත්තයා... පත්තරේ පින්තූරේ තිබුණට අපි ඇත්තට ම ඇහින් දැකලා නෑ නේ... ” කියා එක් අම්මා කෙනෙක් කීවා ය. ටොම්සන් මහත්තයා පෙරේරා මහත්තයා දිහාවත් බලමින් කතා කළේ ය.

“ මං තමයි ටොම්සන් මහත්තයා... දැන් මේ මොකක්ද ප්‍රශ්නේ... මං හිතන්නේ පෙත්සමක් ලියවා ගන්ඩ වෙන්ඩැති... ඒත් මේ මහ පිරිවරක් එක්ක... ” කියලා ටොම්සන් මහත්තයා කීවේ ය.

“ මේකනේ ටොම්සන් මහත්තයා,. දැන් මේ අපේ අධ්‍යාපන ඇමතිතුමා ගිය අවුරුද්දේ ඉඳන් නියම කරනවානේ සාමාන්‍ය පෙළ උසස් පෙළ විභාගය තියෙන දවස්වලට ටියුෂන් තහනම් කරන්න... අපි අහගෙන හිටියා ගුවන් විදුලියේ කියනවා ඇමතිතුමාට ලැබී ඇති බලතල අනුව මේ විදිහට තහනම් නියෝගයක් නිකුත් කරනවා කියලා... ” එක අම්මා කෙනෙක් කීවා ය. ඇගේ කතාව නතර කරමින් තවත් අම්මා කෙනෙක් ඉස්සරහට පැන කතා කරන්නට පටන් ගත්තා ය.

“ මං නං කියන්නේ මේකයි ටොම්සන් මහත්තයා, මේ බලතල තියෙන විත්තිය අපිත් දැන් නේ දන්නේ... ඒ කියන්නේ මේ වෙනකං ඒවා පාවිච්චි කරලා නෑ... ඉතින් බලන්ඩ මේ පොඩි ළමයි... මගේ මේ ළමයා ඉන්නේ පළමුවෙනි පන්තියේ.... මං උදේට මේ ළමයා නැඟිට්ටව ගන්නේ කොච්චර අමාරුවෙන් ද? නිදා ගන්ඩමයි කැමති... ඒත් ඉතින් හිමිදිරි පාන්දර ම නැඟිට්ටවලා ඉස්කෝලේ යවන්ඩ එපායැ... ඉස්සර වගේ ගමේ ඉස්කෝලෙටත් නෙවෙයිනේ යන්නේ.... ඉස්කෝල වෑන් එකට දාන්ඩ එපායැ... ”

“ හරි ඉතින්,... මොකක්ද කාරණේ කියලා කිව්වානම්... ” කියලා ටොම්සන් මහත්තයා මැද්දට පැන්නේ ය.

“ කාරණේ තමයි කියන්නේ ටොම්සන් මහත්තයා... දැන් මෙහෙම ඉස්කෝලේ ගියා ම මේ ළමයා වගේ තමයි අනිත් ළමයිනුත්... ඉතින් ඉස්කෝලේ ඇරිලා ගෙදර ඇවිල්ලා ටිකක් නිදා ගෙන සෙල්ලම් කරලා ළමයින්ගේ ළමා කාලය ගත කරන්ඩ ඉඩ දෙන්නේ නෑ නේ මුං.... ”

“ කවුද මුං කියන්නේ.... ? ”

“ මං එහෙම කිව්වට තරහ ගන්ඩ එපා ටොම්සන් මහත්තයා... මට එහෙම කියවුණේ හිතේ අමාරුවට... මං කියන්නේ මේ පොඩි ළමයින්ට ඉස්කෝලේ ඇරිලා ගෙදර යන්ඩ දෙන්නේ නෑ... හැන්දෑවට ටියුෂන් පන්ති දානවා දෙකේ ඉඳන් හතර වෙනකං... අනේ ඇත්තට මේ සමනල්ලූ වගේ පුංචි ළමයිනේ... ”

“ හරි ඉතින් අම්මලාට පුළුවන් නේ මේ පුංචි ළමයි ඔය විදිහට ටියුෂන් පන්ති යවන්නේ නැතිව ගෙදර එක්ක ගෙන යන්න... ” කියලා කීවේ පෙරේරා මහත්තයා ය.

“ හොඳට තියෙයි... ” කියලා ඉස්සරහට පැන්නේ තවත් අම්මා කෙනෙකි.

“ මං මගෙ එකාව ගෙදර එක්ක යනවා... අනික් අම්මලාගෙ ළමයි හැන්දෑවට ටියුෂන් පන්ති යනවා... එතකොට මොකද වෙන්නේ... ? ”

පෙරේරා මහත්තයා කොචොක් එකට හිනා වුණේ ය.

“ ඇයි තේරෙන්නේ නැද්ද? මොකද වෙන්නේ කියලා.... ? වෙන්නේ ළමයින්ට කිසිම විවේකයක් නැති වෙන එක... මේ පුංචි දරුවන්ට උගන්නන්ඩ කියලා ඔය විදිහට වද හිංසා කරන එක හරිද මං අහන්නේ? මේක අම්මලා තේරුම් ගන්ඩ එපායැ... ලංකාවේ චැනල් ව්‍යාපාරෙයි, ටියුෂන් ව්‍යාපාරෙයි ගෙනි යන්නේ අම්මලා තමයි... වෙන කවුරුවත් නෙවෙයි.... තමන්ගේ දරුවා ගැන තීරණයක් ගන්න තමන් පුරුදු වෙන්න... ”

“ මේ මහත්තයා කියන එක හරි තමයි... ඒ වුණත් මං කියන්නේ මේක එක ක්‍රමයකට කළොත් මොකද වෙන්නේ... පස් වෙනි පන්තිය වෙන කං ඉන්නේ පුංචි ළමයිනේ... පස් වෙනි පන්තියට එන කං ටියුෂන් තහනම් කරනවා... එතකොට ශිෂ්‍යත්වෙ අටේදි පවත්වනවා... එතකොට ටිකක් ලොකු ළමයිනේ... හයේ ඉඳන් ඕනැ නම් ටියුෂන් කරන්න ඉඩ දෙනවා... ”

“ මං නං කියන්නේ එහෙමවත් ඕනැ නෑ... ” කියලා තවත් අම්මා කෙනෙක් ඉස්සරහට පැන්නේ ය. ” ඉස්කෝලේ උගන්නන ටිකෙන් මේ විභාග පාස් කර ගන්න ක්‍රමයක් හදන්න බැරිද? දැන් මේ වෙලා තියෙන්නේ විශාල තරගයක් ඇති කරන එක නේ... ඒක උත්සන්න කරන්නේ ටියුෂන්කාරයෝ... දැන් ඒක උපකාරක පන්ති නෙවෙයි... ඉස්කෝලේම තමයි... ඔය උසස් පන්තිවල ළමයි ඉස්කෝලේ තියෙන දවස්වලටත් ඉස්කෝලේ යන්නේ නැතිව ටියුෂන් පන්ති යනවානේ... මං කියන්නේ අධ්‍යාපන ඇමතිතුමාට තියෙන බලතල පාවිච්චි කරලා පහේ පන්තියට එන කං තියෙන ටියුෂනුයි, ඉස්කොලේ පැවැත්වෙන වෙලාවේ ඉස්කෝලේ ළමයින්ට තියෙන ටියුෂනුයි තහනම් කරන්ඩ බැරිද? අපි ආවේ ඒකට පෙත්සමක් ලියවා ගන්ඩ... අපි ඔක්කො ම ඒකට අත්සන් කරනවා... ”

“ අන්න හොඳයි... ” කියලා ටොම්සන් මහත්තයාත්, පෙරේරා මහත්තයාත් අප්පුඩි ගැසුවෝ ය.

“ මේ රටේ අම්මලා මේ වගේ හිතලා ඉදිරිපත් වෙනවා නම් මොනවද කරන්ඩ බැරි... අපි ලියමු හොඳ පෙත්සමක් මේකට.... නිදහස් අධ්‍යාපනය නැති වෙනවෝ කියලා කෑ ගහන කවුරුවත් මෙච්චර කාලෙයක් ආවේ නෑ මේ වගේ පෙත්සමක් ලියවා ගන්ඩ.... ඇත්තට ම ඉස්කෝලවල ගුරුවරු උගන්නන්නේ නැතිවා නෙවෙයිනේ.. මේ ටියුෂන් නිසා ඉගැන්නිල්ල අංජබජල් වෙලා නේ... අපි ලියමු හොඳ පෙත්සමක්... ” කියලා ටොම්සන් මහත්තයා පෙත්සම් කන්තෝරුව ඇතුළට ගියේ පෙරමුණේ හිටිය අම්මලා හතර පස් දෙනෙක් පිරිවරා ගෙන ය.