කහ පුංචා ගෙදර යයි

අඹ ගහ යට පුංචන්ගේ හා පැංචියන්ගේ අසහාය පාලකයා වූ ලොකු පුංචගේ හොඳම හෙංචයි පුංචෙකු වුණු කහ පුංචා මේ වෙද්දි හැමෝටම වගේ හිසරදයක්.එයා එක වෙලාවකට ලොකු පුංචගෙ හයියත් හිතට අරන් වැඩකරනවා.නරක වැඩ කරනවා මදිවට එහෙම වැඩ කරන අයට උදව් වෙනවා.වැඩිහිටියන්ගේ නීතියේ රැහැනින් බේරගන්නවා.

අඹ ගහ යට මොන වැඩේ කළත් කහ පුංචා ඒකෙන් කීයක් හරි තමන්ගේ ගොඩට එකතු කරගන්න එක වළක්වන්න කාටවත් පුළුවන් කමක් තිබුණේ නෑ.මේ තත්ත්වය ගැන ලොකු පුංචා නොදැන හිටියා නෙවෙයි. ඒත් ලොකු පුංචගෙ සමහර කෙරුවාවල් හොඳින්ම දන්නෙත් කහ පුංචා නිසා එයත් මෙයාට හිත යටින් බය පක්ෂපාත කමක් පෙන්නුවා.ඒ කොහොම වුණත් කහ පුංචගෙන් පුංචි පුංචි වාසි තිබුණු පුංචලා කීපදෙනෙක් හැරුණාම අඹ ගහ යට හැම පුංචෙක්ම පාහේ කහ පුංචට වැඩි කැමැත්තක් දැක්වූයේ නෑ. ඔන්න ඔහොම තියෙද්දී හදිසියේම හරි අපූරු සිද්ධියක් වුණා.කහ පුංචගෙ හොඳම පැංචියක් වුණු රෝස පැංචිගෙ ගෙදරට පුංචී පොලීසිය පැන්නා.

“ ඒ මොකද ඒ“

හැමෝම ඇහුවා.

“එතෙන සූදු සෙල්ලමක් තිබුණලු?“

තතු දත් සුදු පුංචා කීවා.

“ ඉතිං සූදු සෙල්ලම් තියෙන්නෙ එයාලගෙ ගෙදර විතරයැ. ඔය ලොකු පුංචත් මහ නුගයක් යටින් සූදු ක්‍රීඩාවක් ගේන්න හදන්නේ. එහෙම ගේන්න හදන ගමන් මෙහේ තියෙන ඒවා කඩාකප්පල් කරන එක හරිද?

රතු පුංචා ඇහුවා.

“ ඒකනෙ කියන්නෙ. කහ පුංචත් එහෙමම හිතලා තිබුණා. ඒ හින්දා කහ පුංචා,ලොකු පුංචගෙ හීන් පුංචව උසිගන්වලා පුංචි පොලීසියේ සෙට් එකම නන්නත්තාර වෙන්න තූත්තගුලියේ තියෙන වෙනත් වෙනත් පුංචි පොලීසිවලට මාරු කරලා දැම්මා. ඒත් හිතුවට වඩා ඉක්මනට වැඩේ සිද්දවුණා."

මදටිය පුංචා කතාවට අඩු වැඩිය එකතු කළා.

“නෑ. පුංචි පොලීසිය මාරු කරන්නේ කහ පුංචගෙ අනුදැනුම ඇතිව නෙවෙයි. ඒ වෙද්දිත් පුංචි පොලීසියේ ඇත්තන්ට මාරුවීම් ලිපි ගහලයි තිබිල තියෙන්නේ.ඒත් ලැබිල තිබිල නෑ. ඒ හින්දා ඕක වැරදි ආරංචියක්"

හඩුවාහිනිය අහන හඩු පුංචා කීවා.

තමන්ගෙ ඡාමේ බේරාගන්න මේක හොඳ අවස්ථාවක් බව ලොකු පුංචට තේරුණා.ඒත් එක පාරටම අත දාන්නත් බයයි.මාරු කරපු පුංචි පොලීසියේ පුංචලාගෙයි,සෙල්ලම් පිටියේ අයිතිකාර කහ පැංචිගේ නෑදෑ සනුහරෙයි විස්තර හොයාගත්තා. ඊට පස්සේ ඒ ගෙදර පොඩි පවුල් ප්‍රශ්නෙකුත් තියෙන එකේ මුට්ටිය දාල බලන එකේ කිසිම අවුලක් නැති විත්තිය සහසුද්දෙන් දැන ගත්තා.ඉස්සරලාම නෑදෑ සනුහරේ පීඩාවට පත්වෙච්චි කෙනෙකුට පත්තරේකට සම්මුඛ සාකච්ඡාවක් දීලා තමන්ට මුහුණ දුන්න වුණු වේදනා ජනක අත්දැකීම කියන්න අවස්ථාව හදලා දුන්නා.

“ අනේ බුදු සර්. ඕව කොහෙන් කෙළවර වෙයිද දන්නේ නෑ"

ඒ පුංචා අදිමදි කළා.

“නෑ. නෑ. බයවෙන්න ඕන නෑ.අපේ ලොකු පුංචනෙ කියන්නේ. එයා තවත් අවුරුදු ගණනාවකට මේ අඹ ගහ යට ඉන්නවා."

තමන්ගෙම සහචර පුංචෙකුට විරුද්ධව ලොකු පුංචගේ කීමට අණ ක්‍රියාත්මක කරන්නට සිද්ධවුණු පළමු වතාව මේක නෙවෙයි හින්දා නිල් පුංචා ගාණට වැඩේ කළා. ඊට පස්සේ කතාව පත්තරේ පළවුණා. ඒ පත්තරේ පිටුවත් එක්ක අන්තර්ජංජාල මාධ්‍ය ගණනාවක එක එක හැඩතලයෙන් වැඩේ පත්තුවුණා. පත්තරෙන් කරන්න බැරි ගොඩාක් දේවල් අන්තර්ජංජාලයෙන් කරන්න පුළුවන් කම තියෙන හින්දා පත්තරේ කතාව හූන් බිජ්ජක් වෙද්දී අනතර් ජංජාලයේ කතාව අලි බෙට්ටක් තරමට ලොකු වුණා. ඒ වගේම ගඳ ගහන්න පටන් ගත්තා. වැඩේ ටක්කෙටම සිද්දවුණ නිසා තීන්දුවක් ගන්න එක අමාරු වුණේ නෑ. ලොකු පුංචා තීන්දුවක් ගත්තා. කහ පුංචා හිටපු තනතුරෙන් අයින් කරලා දැම්මා. නිකම්ම නෙවෙයි අතීතයටත් බලපාන පරිදි අයින් කරලා දැම්මා.

“මං ඉතිං යන්න යනවා
මට යන්න අවසරයි..
මට අරන් යන්න ඇත්තේ
ඒ මතකය විතරයි.."//

කහ පුංචා අන්තිමට මේ සිංදුව කිය කියා යන්න ගියා.

ඒත් කතාව ඉවර නෑ.

නිල් පුංචා හීන් සැරේ කහ පුංචා හොයාගෙන ගියා.

වට්ටි පෙට්ටි, පැදුරු කොට්ට, ඇඳ ඇතිරිලි ඔක්කොමත් එක්ක කහ පුංචා තනිවෙලා උන්නු හැටි දැක්කම නිල් පුංචගෙ පපුව පත්තුවුණා.

“ඊයේ රජ කෙනෙකුයි අද පිල් කණ්ඩියෙ ඉන්නේ
එහෙම තමයි සොබාදහම කොහොමද ඉවසන්නේ..//

නිල් පුංචා හිතේ දුක සින්දුවකට පෙරළුවා.

“කොච්චර උඩ ගියත් මෙමට උන්නු පැදුර මතකයි
ඇඟිල්ලෙ තරමටම මිසක් උඹත් පිම්බුණාම ඔහොමයි..//

කහ පුංචත් හිටිවන කවි කෑල්ලකින් දමා ගැහුවත් ඒකෙ සෑහෙන බරක් තිබුණා. ඒකෙන් පාඩම් ඉගෙන ගත යුතු බව ඔළුවට අරන් නිල් පුංචා එන්න ආවා.