දුප්පත්කමේ ප්‍රජා අයිතිය

ඕස්ට්‍රේලියවේ නත්තල අමුතුම එකක් විය. ඒ කාලයට ඕස්ට්‍රේලියාවට ගිම්හාන කාලයයි. එහි නත්තල් සීයා රතු කබාය ගලවා නාන ඇඳුමින් වෙරළේ ඉර එළිය තපින්නට යන යන අතර කුඩා ළමයින් හිම මිනිසුන් වෙනුවට වැලි මිනිසුන් තනන, හිම කුණාටු වෙනුවට සමහර තැනෙක ලැව් ගිනි ඇති වන වෙනස් පරිසරයක වූ නත්තලක් විය. නමුත් පියාඹන පිනි මුවන් සහ නත්තල් සීයා ඇරුණු කොට අමෙරිකාවේ නත්තල් සිරිය තනිකරම කථන්දර පොත්වල කියවූ ආකරයේ ම එකක් යැයි මට සිතේ.

උණුසුම් වනු පිණිස දිගු හිම කබා, තොප්පි, අත් ආවරණ ඇඳි මිනිසුන් සහ ගැහැනුන් කඩිමුඩියේ වර්ණවත් විදුලි බුබුලුවලින් සැරසුණු සාප්පුවල සවාරි යන්නේ නත්තලේ නියම අරුත පැහැදිලිවම සොයාගන්නට මෙනි. ඒ සත්‍ය නම් නූතන මිනිසාට නත්තල හුදෙක් පාරිභෝජන සංස්කෘතියේ ප්‍රධාන සංකෙතයක් වීමයි. නවතම ඉලෙක්ට්‍රොනික භාණ්ඩ, වෙළෙඳ පොළට අලුතින් හඳුන්වාදෙන ලද සෙල්ලම් බඩු, ඇඳුම් පැළැඳුම් මිල දී ගැනීමේ මහා සටන නත්තල වෙනුවෙන් ඇරඹේ. කුඩා කාලයේ දී ලංකාවේ දි දුටු නත්තල හැටියට මට මතක් වන්නේ රූපවාහිනියේ ප්‍රචාරය කළ කිතු බැති ගීත සහ දේව යාඥා පණිවිඩයි. දුගියාට, සතුරාට පවා ප්‍රේම කරන්නට යැයි කී ජේසුස් වහන්සේ ගේ උපත ගැන බෙහෙවින් කතා බහට ලක් වූ බව මට මතක් වේ. නමුත් අද වන විට නත්තල, නත්තල් සීයා ගේ තෑගි පිළිබඳ වූ එකක් බවට වෙළෙන්ඳෝ පත් කර ඇත. මිනිසුන් ඒ රැල්ලේ ගසා ගෙන යන බව නොදැන සතුටින් දිය බුං ගසන්නේ කැරොල් ගයමිනි.

නමුත් නත්තල යනු ජේසුන් වහන්සේ සහ ඔහුගේ පණිවිඩය පිළිබඳ වූ එකක් බව කුඩා කාලයේ හිතට වැටීම නිසා දෝ මට මේ කටුක සීතලේ කන්නට අඳින්නට ඉන්නට තැනැක් නැතිව ඉන්නා මිනිසුන් සිහියට නැඟේ. සීත කාලය ඇරඹීමත් සමඟ සමහර පුදගලයෝ දරුණු නොවන ගණයේ ලා සැලකෙන නීති උල්ලංඝනය කරති. එසේ කරන්නේ හිරේ වැටෙන්නටම ය. ඒ සීත කාලයේ පාලමක් යට, කුණු බක්කියක ජීවත් වීමට වඩා හිරේ සැප දායක නිසයි. කුඩා සිර දඬුවමක් ගෙවා සීත කාලය නිම වූ විට ඔවුහු එළියට එති. පාරක, ප්‍රසිද්ධ තැනක යාචකයන්ට මුදල් සහ කෑම බීම දෙන අය පොලිසිය අත් අඩංගුවට ගනියි . නමුත් ප්‍රාන්ත නීතීවලට අනුකූලව විදීවල හිඟමනේ යෙදෙන අය පොලිසියෙන් අල්ලා නඩු දැමූව ද ඊට වඩා ඉහළින් ක්‍රියාත්මක වන ව්‍යවස්ථාව, ෆෙඩරල් නීතිවලට අනුව යාචකයෝ නඩුවෙන් වැරදිකරුවෝ නොවෙති. අමෙරිකාවේ ව්‍යවස්ථාවට අනුකූලව හිඟමන, කතා කිරීමේ නිදහස, අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියකි. “කෙනකුට අසරණකම ගැන කීමට අයිතියක් තියෙනවා. එයට සවන් නොදී ඉන්නට ඔබට අයිතියක් තියෙනවා.” ලූසියානා ප්‍රාන්තයේ අමෙරිකානු ප්‍රජා අයීතීන් පිළිබඳ සංවිධානයේ විධායක මාජරී එස්මන් කියනවා. “මට යමක් දෙන්න කැමති ද කියා තව කෙනකු ඇසීම කිසි වරදක් නෑ.”

නමුත් හැම කතාවේම වගේ මේ කතාවේ තවත් පැත්තක් නැතුවා නොවේ. සමහර යාචකයෝ ඉතා දරුණු ලෙස සාමාන්‍ය වැසියන්ගේ සාමයට බාධා වන ලෙස හැසිරෙන නිසා ඔවුන් වැළකීමට නම් පොලීසියට දැඩි ලෙස ක්‍රියා කරන්නට වෙනවා.

ප්‍රාන්ත නීතිවලින් කරන්නේ එවැනි දේ වැළැක්වීමයි. මුදල් ගන්න යන්ත්‍ර අසල, විශ්‍රාම ශාලා, වැසිකිළි අසල හිඟමනේ යෙදීම තහනම් කර ඇත්තේ ඒ නිසයි. ළමයින් සමඟ වීදිවල හිඟමනේ යෙදීම ද නීතියෙන් තහනම් වේ. නමුත් නත්තලේ පමණක් නොව වසර පුරාම දුගියන්ගේ සහනයට ඉදිරිපත් වන පිරිසක් ඇත. ඔවුහු ආහාර පාන ඇඳුම් බෙදා දෙන ස්ථාන මනා ලෙස සංවිධානය කර පවත්වාගෙන යන්නෝ ය. හැකි පමණින් එවැනි තැන්වල වැඩට ස්වේච්ඡාවෙන් සහාය වන්නෝ ය. අවැසි උපකරණ, මිල මුදල්, ද්‍රව්‍යමය උපකාර කරන්නෝ ය. එහෙත් පිරිසක් රැස් කරවා ඔවුන්ට ආධාර ආහාර පිළිගැන්වීමට තැනක් නැති පුණ්‍යාධාර සංවිධාන වීදීවලට ගොස් නිවෙස් අහිමි තවත් මිනිසුන්ට උණුසුම් කෝපි කෝප්පයක්, පාන් කැබැල්ලක් පිරිනමයි.

එසේ කිරීමට ඉඩ දීමෙන් සහ මිනිසුන්ට යාචකයන්ට මුදල් දීමට ඉඩ හැරීමෙන්, එවැන්නෝ රැකියා සොයා ගනීමට මැළි කරවන්නේ යැයි නීති සම්පාදකයෝ මෙන් ම පොලීසිය ද කියති. අමෙරිකාවේ ද දුප්පතුන් සහ පොහොසතුන් අතර වෙනස අහසට පොළව වාගේ වේ. සෑම රටක ම වාගේ පාරට වැටී ඇති සමහර මිනිසුන්ට රැකියාවක් සොයා ගන්නට ඇති ඉඩ කඩ අඩු ය. එෙලසම හිඟමන ලාබ ලබන ව්‍යාපාරයක් කර ගත් අය ද සිටින බව අප නොදන්නවා නොවේ. කෙසේ නමුත් කෙනෙක් අත පෑ විට දෙන්නට සමහරුන්ගේ හිත උණු වේ. ඉල්ලන්නේ මත් කුඩු ගැනීමට ද, බැංකුවේ තැන්පත් කිරීමට ද, ආහාරයක්, බෙහෙතක් මිල දී ගන්න දැයි දෙවරක් නොසිතා දානය දෙන අය සිටිති. එසේම නීතියට අනුව යාචකයන් ගේ කම්මැලිකම සහ වංචාවට රුකුල් නොදෙනු වස් විදීවල යාචකයන්ට දාන නොදෙන අය ද ඇත.

ඉල්ලීමත්, දීමත්, නොදීමත් ප්‍රජා අයීතීන් වන්නේ ඒ නිසා විය යුතු ය.