උතුරේ ඇස්වල තුටු කඳුළුය

අසුබවාදී පුවත් හුවා දැක්වීමේ ප්‍රවණතාවක් තමා දැන් බොහොමයක් මාධ්‍යවල දකින්න ලැබෙන්නේ. මනුෂ්‍ය ඝාතන ස්ත්‍රී දූෂණ, ළමා අපචාර ආදි වාර්තාවලින් ජනමාධ්‍ය පිරිලා ඉතිරිලා ගිහින්. එවැනි අපරාධ වාර්තා ‍ගතකළ යුතුයි කියලා තහංචියක් පනවන්ඩ හදනවා නෙවේ. එවැනි පුවත් නොයෙක් ආලවට්ටම්වලින් සරසලා ඉහළ මිලකට විකුණන එකේ වැරැද්දයි මෙතනදි අපි පෙන්වා දෙන්නේ.

ඒ වගේ ම රටේ සිද්ධවෙන යහපත් දේවල්වලටත් අපරාධ රැල්ලට දෙන ප්‍රසිද්ධියම නොදෙන්නේ මොකද කියලත් ප්‍රශ්න කරන්න සිද්ධ වෙනවා. අපරාධ රැල්ලට අමතරව බෙදුම්වාදී බලවේගවල පිබිදීමක් ගැනත් මේ කාලයේ අහන්න ලැබෙනවා. විශේෂයෙන්ම චොගම්වලින් පස්සේ ඩයස්පෝරාව ඇතුළු ඊළාම්වාදීන් බොහොම කලබල වුණ පාටකුත් දකින්න ලැබෙනවා.

මේ වෙලාවේ අපි කළ යුත්තේ කුමක්ද? අපරාධවලට වැට බඳින්න. එහෙමත් නැත්නම් බෙදුම්වාදී බලවේගවල අරමුණු පරාජය කරන්න අපි අනුගමනය කළ යුතු උපාය මාර්ග මොනවාද? මාධ්‍යවේදීන් වගේ ම සමාජයේ ප්‍රබුද්ධ බලවේගත් අවධානය යොමු කළ යුත්තේ එවැනි ඉලක්ක පැත්තටය කියා අපි හිතනවා.

එස්. ශ්‍රීධරන් මන්ත්‍රී උන්නැහැ පාර්ලිමේන්තුවේ ඊළාම් සමරුවක් ගැන කතා කරනකොට ප්‍රකෝප වෙලා උන්නැහැගෙ ඇඟට කඩා පනිනවා වෙනුවට ආණ්ඩු පක්ෂයයි විපක්ෂයයි දෙකම එකතුවෙලා දෙමළ ජනතාවට කොටි සංවිධානය සලකපු හැටි සිහිපත් කර දුන්නා වගේ උපක්‍රම තමා ප්‍රඥාගෝචර ක්‍රියාමාර්ග විය යුත්තේ.

ඒ වගේම අගය කළ යුතු මෙහෙවරක් පසුගිය දවසක ආචාර්ය ඕමල්පේ සෝභිත හාමුදුරුවන් ප්‍රමුඛ පිරිසක් විසින් කිලිනොච්චියේදී ඉටුකර තිබුණා. කිලිනොච්චියේ සහෝදර දෙමළ ජනතාවට කිරි එළදෙනුන් සීයක් පරිත්‍යාග කරන්න ඕමල්පේ හාමුදුරුවන් ඉදිරිපත් වුණේ ජාතික එකමුතුකමට, ආගමික සුහදත්වයට හානිකර සිදුවීම් රැල්ලක් රට හරහා හමාගෙන යමින් තිබෙන පසුබිමක් තුළ වීමත් ඉතාම වැදගත්. විශේෂයෙන්ම බුද්ධ යන නාමයට මුවාවෙලා බුදු දහමේ උත්තරීතර හරයන්ට හානි කරන සංවිධානවලටත් ඕමල්පේ හාමුදුරුවන්ගේ ප්‍රධානත්වයෙන් ගොඩනැඟී තිබෙන ශ්‍රී බෝධිරාජ පදනම කියන සංවිධානයෙන් දීපු පිළිතුර ඉතා කදිමයි. අනිත් අතට මේ සත්ක්‍රියාව හුදෙක්ම ඕමල්පේ හිමියන්ට හෝ බෝධිරාජ පදනමට තනියම ලකුණු ගන්ඩ දරපු උත්සාහයක් නොවීමත් අගය කළ යුතු කාරණයක්.

කලක් කොටි සංවිධානයේ හදවත වගේ තිබුණු කිලිනොච්චියට බෝධිරාජ පදනම ගියේ කිලිනොච්චිය කතෝලික පල්ලියේ ඩැනියල් මූර්ති පියතුමාත්, හින්දු කෝවිලේ කුරුක්කල් දයන්තනුත්, මාන්කුලම් සුගත විහාරාධිපති සුමන හාමුදුරුවනුත්, ප්‍රාදේශීය ලේකම් ජී. නාගේෂ්වරමුත්, පශු වෛද්‍ය නිලධාරිනී රේණුකා ගෞරිත්, කිලිනොච්චිය කලාපයේ අණදෙන නිලධාරී මේජර් මහේෂ්කුමාරත් ‍ඇතුළු සිංහල දෙමළ ජන සමූහයක් එක්කයි.

මේ උත්සවයේදී සිංහල බසින් කෙරුණු කතා බහුතරයක් දෙමළ ජනතාවට තේරුම් ගන්න පුළුවන් විදිහට දෙමළ බසට පරිවර්තනය කළෙත් ස්වාමින් වහන්සේ නමක්. උන්වහන්සේ තමයි ශාස්ත්‍රාචාර්ය උඩුනුවර ඉන්ද්‍රරතන හිමි. උත්සවයේ වැඩ ඇරඹුවේ බෞද්ධ, හින්දු හා කතෝලික යන ආගම් තුනේම කෙටි ආගමික වතාවත් පැවැත්වීමෙන්. සර්වාගමික මෙහෙයක් වෙනුවට ඒ ඒ ආගම්වල හා සංස්කෘතීන්වල අනන්‍යතාවට ගරු කරමින් වෙන් වෙන්ව ආගමික වතාවත් කිරීමත් විශේෂත්වයක්.

උත්සව සභාව අමතා ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන් කළ කෙටි දෙසුම එහි සිටි කාගේත් හදවත්වලට වගේම බුද්ධියටත් කළ ආමන්ත්‍රණයක් ලෙස හඳුන්වන්න පුළුවන්. ජාති, ආගම්, භාෂා ආදි භේද අවුස්සන කතා බහුල වශයෙන් ඇහෙන මේ වගෙ කාලෙක ජාතික එකමුතුකමේ, අන්‍යෝන්‍ය අවබෝධයේ වටිනාකම පෙන්වා දෙමින් ඕමප්ලේ හිමියන් කළ කතාව සාරාංශ ගතකරල මෙසේ දක්වන්න පුළුවන්.

“හිතාදර සහෝදර ද්‍රවිඩ ජනතාවනි, සාමය වැදගත්ම ලාභය බව දැන් ඔබට වැටහෙනවා ඇති. මන්ද, පැවතුණු යුද්ධයෙන් වැඩිම වේදනාව වින්දේ ඔබ නිසා. ඒ සාමය උදා කළේ යුද හමුදාවේ සොහොයුරන්. දැන් ඔබට බයක් සැකක් නැතුව රස්සාවක් කරගෙන ජීවත්වෙන්න පුළුවන්. දැන් බෝම්බ පුපුරන්නේ නැහැ. දරුවො පැහැරගෙන යන්නෙ නැහැ. ලෝකයේ වෙන කිසිම යුද හමුදාවක් මේ තරම් කරුණාවන්ත මානුෂීය මෙහෙයුමක් කර ඇතැයි ඔබ අසා තිබෙනවද? සාමය උදා වූ පසුවත් ඔ‍බේ ජීවිත ගොඩනඟන්න ඔවුන් මැදිහත් වුණා. මේ නිල ඇඳුම් ඇඳගෙන සිටින්නේ ඔබේම අය. ඔවුන්ට කෘතගුණ දක්වන්න. දකුණේ අපට පෙනෙනවා ඔබ විඳින දුක. ඔබේ සහයට අප එන බව මතක තබාගන්න.”

“ඔබ අප අතර පවත්නා සුහද මිත්‍රත්වය පලුදු කරන්න උත්සාහ දරන කූට උපක්‍රමවලට රැවටෙන්න එපා. දේශපාලන ආගමික හිතවතුන් ලෙස එන කපටීන් මේ තුවාලය නැවත පාරවනවා. මෙය තේරුම් ගන්න. සමඟි වෙන්න. සහෝදරත්වයෙන් බැඳී ඉන්න. අප යා කරන පාලම අප අතර ඇති සහෝදරත්වය බව අමතක නොකරන්න.”

මේ කතාව දෙමළ බසින් අසා සිටි එහි රැස්ව හුන් සිය ගණනක් දෙමළ ජනතාවගේ දෑස්වල පිරිලා තිබුණේ කෘතවේදී හැඟීම්. ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන්ටත්, ශ්‍රී බෝධිරාජ පදනමටත් මෙවන් සත්කාර්යයන් තව තවත් ඉටු කිරීමට සවිය හා දිරිය පැතීම අපේ යුතුකමක්.