මල්කාන්ති නෝනාගේ ආශ්චර්යවත් රාජකාරිය

අනියම් ලිපිකාරකමේ සිට මාණ්ඩලික සහකාර, නිලධාරී, නියෝජ්‍ය කළමනාකාර, කළමනාකාර හා නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ආදී වූ රාජ්‍ය සංස්ථා රැසක තනතුරු හා පෞද්ගලික අංශයේ, කළමනාකාර, සමූහ කළමනාකාර හා උපදේශක ආදී වූ තනතුරුවලින් පිරුණු මගේ වෘත්තීය ජීවිතය දශක හතර ඉක්මවයි. මේ දීර්ඝ කාලය තුළ, අංශ ප්‍රධානීන් , සභාපතිවරුන් , සාමාන්‍යාධිකාරීවරුන්, ජනාධිපතිලේකම්වරුන්, අග්‍රාමාත්‍ය ලේකම්වරුන්, අමාත්‍යාංශ ලේකම්වරුන්, ආදී රාජ්‍ය අංශයේ විවිධ පුද්ගලයන් සමඟද, පෞද්ගලික අංශයේ උප අධිපතීන් හා ප්‍රධාන විධායක නිලධාරීන් දක්වා වූ විශාල හරස්කඩක නිලදරුවන් සමඟ රාජකාරීමය වශයෙන්ද, ඇතැම් අයෙකු සමඟ පෞද්ගලික මිතුරකු ලෙසද, කටයුතු කිරීමෙන්, ඇසුරින් එකතු කරගත් අත්දැකීම් සමුදාය අති විශාලය.

මේ අත්දැකීම් අතර මෑතකදී එනම් පසුගිය නොවැම්බර් 30දා පෞද්ගලිකවම අත්විඳි අත්දැකීමකින් මා විස්මයට පත්වූ බව පළමුවෙන්ම කිව යුතු වෙයි. අන් ‍අයෙකු පැවසූ කතාවක් වූව නම්, මා කිසි විටෙක එය නොඅදහන්නට ද ඉඩ තිබිණ. එහෙත් මේ අත්දැකීම මගේම අත්දැකීමක් වූවත් එය තවත් අයෙකුට පැවසූවත් එක්වරම විශ්වාස කරනු අතැයි සිතිය නොහැකිය. කවුරුන් ඇදහුවත් නැතත් මෙය සැබැවින්ම සිදු වූ සිද්ධියක් ලෙස සටහන් කරන්නේ ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවයේ බහුතර ආයතන පිළිබඳ අප බොහෝ දෙනාගේ මාද ඇතුළුව, අතිශය, නීරස, අපූල අත්දැකීම් මැද මේ අත්දැකීම මඩ ගොහොරුවකින් මතුව ආ නෙළුමක් ලෙසින් සුපුෂ්පිත වූ බැවිණි.

ශ්‍රී ලංකාවේ දැනට පවතිනා රාජ්‍ය සේවයේ තත්ත්වය පිළිබඳ මොහොතකට සිතමු. රාජ්‍ය දෙපාර්තමේන්තු, අමාත්‍යාංශ මත නොව ඇතැම් රාජ්‍ය බැංකු පවා බොහෝ අවස්ථාවල කටයුතු කරන්නේ ඔවුන් වෙතට පැමිණෙන මහ ජනතාව බොහෝ අවස්ථාවල අසරණ දුප්පත් ජනතාව මේ ආයතන උස්පුටුවල මෙන්ම පහළ පුටුවල ද චිරාජමානව සිටිනා බොහෝ නිල දරුවන්ට කරදරකායින් ලෙස සලකමිනි. ග්‍රාම සේවක සභිකයක්, උප්පැන්න සහතික පිටපතක්, පොලිස් පොතක ලියැවුණු පැමිණිල්ලක පිටපතක් , බැංකු ණයක්, අර්ථසාධක අරමුදල යළි ලබාගැනීමට පෝරමයක්, ජාතික හැදුනුම්පතක්, රෝහලකින් ප්‍රතිකාර ගැනීමක්, ලබා ගැනීම රාජකාරිමය අවශ්‍යතාවයක දී රජයේ ආයතන රාශියක කාර්යක්ෂමතාව අපූරුවට මැන ගත හැකි බවයි මගේ විශ්වාසය.

එච්. ඩී. එස්. මල්කාන්ති

කාර්යාලයට අතුළුවන දොරටුවේ ආරක්ෂකයාගේ පටන් රාජකාරියට අවශ්‍ය අනුමැතිය ලබාදෙන ඉහළම නිලධාරියා දක්වා සිටින බොහෝ පිරිස් දරනා ආචීර්ණ කල්පිත ආකල්ප වෙනස් නොකරන තාක් කල් මෙරට රාජ්‍ය සේවයෙන් ජනතාවට අපේක්ෂිත සේවය ඉටුවනු දැකීම සිහිනයක්ම වනු ඇතැයි යන්නයි මගේ වැටහීම. රජයේ සේවයේ අකර්යක්ෂමතාවය , ජනතාව කෙරෙහි මිත්‍රශීලීත්වයෙන් තොරවීම යල් පැන ගිය රතු පටි ක්‍රියා පද්ධතියකි. (Red Tapes) හේතු කොට සාමාන්‍ය ජනතාව අපහසුතාවයනට පත් වූ හෝ අන්ත අසරණබවට පත් වූ අවස්ථා පිළිබඳ නිදසුන් ඕනෑ තරම් ඉදිරිපත් කිරීමට මා හට පමණක් නොව බොහෝ දෙනාට හැකි බව අසත්‍යයක් නොවේ. නගරය ආශ්‍රිත අත්දැකීම් අප සතු වන්නාසේම ඈත දුෂ්කර ගම්මානවල ජීවත්වන අහිංසක මිනිසුන්ට අත්විඳින්නට සිදුවන දහසකුත් එකක් දුෂ්කරතා පිළිබඳ පුවත් අපට මාධ්‍ය මඟින් කියවන්නට ලැබේ.

කොතරම් උගත්කමින්, දැනුමින් පළපුරුද්දෙන් පිරුණු නිලධාරියෙකු හෝ නිලධාරිනියක වුවද ඔවුන්ගේ ආකල්ප ජනහද නොහඳුනන, යල් පැනගිය නිලධාරිවාදී දැඩි ස්වභාවයෙන් යුක්ත ඒවා නම්, ඔවුන් සමඟ ගනුදෙනු කිරීමට සිදුවන සාමාන්‍ය ජනතාවට අත්විඳින්නට සිදුවන ශෝක ජනක ඉරණම පිළිබඳ කුමන කතාද? එහෙත් මේ ස්වභාවය පොදු නිගමනයක් සේ සලකන සමස්ත රාජ්‍ය ‍සේවයම එබඳු යැයි පැවසීමට නොකැමැත්තෙමි. මේ තීරුව ආරම්භයේ දීම මා විස්මයට පත්කළ අත්දැකීමට සම්බන්ධවන්නේ මෙරට ප්‍රධාන පෙළේ ආමාත්‍යාංශයක අතිරේක ලේකම්වරියකගේ භූමිකාවයි.

සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරිය එච්. ඩී. එස්. මල්කාන්ති මහත්මිය විසින් එදින ප්‍රදර්ශනය කළා වූ කාර්යක්ෂමතාව, ආචාර්යශීලීත්වය , ජනතා සම්බන්ධතා පිළිබඳ යථා දැනුම රාජ්‍ය ආයතනයකින් හෝ රාජ්‍ය නිලධාරියකුගෙන් මා කිසිදිනෙක නොදුටු විරල අවස්ථාවක් ‍ෙලස දකින්නෙමි. මල්කාන්ති මහත්මියට , අතිරේක ලේකම්වරිය ලෙස මේ ප්‍රසාදය තනිව හිමිකර ගැනීමට නොහැකි බවද අපි දනිමු. අමාත්‍යාංශයේ ප්‍රධාන ගණකාධිකාරී ආර්. එම්. එම්. රත්නායක මහතා ද ඇතුළු ඇගේ සමස්ත කාර්ය මණ්ඩලය විසින් එදින ප්‍රදර්ශනය කරන ලද්දේ නිවැරදි නායකත්වයත් මඟ පෙන්වීමක් හා පූර්ව සැළසුමකින් යුක්තවන්නේ නම්, අභියෝග ජය ගැනීම අපහසු නොවන බවයි.

මල්කාන්ති අතිරේක ලේකම්වරිය පළමුවරට මට හමුවන්නේ ස්වර්ණ පුස්තක සම්මාන විනිශ්චය මණ්ඩලයේ මධ්‍ය මණ්ඩල සාමාජිකාවක ලෙසයි. තීරණ ගැනීම පිළිබඳ විශාල ගැටලුවලින් තොරව, පාදක මණ්ඩලය විසින් තෝරාගත් නවකතා දොළහකින් සම්මානයට සුදුසු කෘතිය තෝරා ගැනීම සඳහා වඩාත් සුදුසු නවකතා පහ තෝරා දීමේදී ඈ සෘජුව කටයුතු කළාය. ඇගේ පරිපාලන දැනුම පිළිබිඹු වූයේ 2013 වර්ෂය සඳහා සංස්කෘතික මධ්‍යස්ථානවලට සුදුසු ග්‍රන්ථ මිලට ගැනීමේ ව්‍යාපෘතිය භාරව කටයුතු කළ විධිමත් හා කාර්යක්ෂම විලාසයෙනි. පුවත්පත් දැන්වීමක් මඟින් සුදුසු ග්‍රන්ථ තෝරා ගැනීම සඳහා ප්‍රකාශකයන්ගෙන් හා කර්තෘ ප්‍රකාශකයන්ගෙන් ඉල්ලුම් පත් කැඳවීමෙන් අනතුරුව, ප්‍රසම්පාදක මණ්ඩලය විසින් තෝරා ගත් පොත් රැගෙනවිත් භාරදෙන ලෙසට දැනුම් දීම් කොට තිබුණේ 30දිනට සති දෙකකට පමණ පෙරය. කොළඹ, කලාභවන දෙවන ශාලාව 30 දා පෙරවරුවේ පිරී ඉතිරී තිබුණේ සංස්කෘතික අමාත්‍යාංශ කාර්ය මණ්ඩලයෙන් ග්‍රන්ථ ප්‍රකාශකයන්ගෙන් හා කර්තෘ ප්‍රකාශකයන්ගෙනි.

වසර කිහිපයකට පෙර දී එවකට ලේකම්වරයා වූ විමලදාස සමරසිංහ මහතා සමයේ දීද, මෙම ව්‍යාපෘතිය සාර්ථකව ක්‍රියාත්මක වූ බව දැන සිටිය ද , මා එහි ගියේ අවශ්‍ය ‍පොත් ප්‍රමාණය ඔවුන් ඉල්ලා සිටි පරිදි අසුරා අවශ්‍ය පෝරම , වවුචර් සම්පූර්ණකොට ගෙනය. පෙරවරු 9.30ට පැමිණෙන්නයි කීව ද පස්වරු එක‍ හෝ දෙක වන තෙක් කටයුත්ත නිමා කර ගැනීමට හැකිවේය යන විශ්වාසය මා තුළ නොවිණ. මන්ද යත් ෙදපාර්තමේන්තු, අමාත්‍යාංශ ඔතෑනි ගොළුබෙලි ක්‍රියාකලාප පිළිබඳ පූර්ව අත්දැකීම එමට වූ බැවිනි. එහෙත් සිදුවූයේ මා හාත්පසින්ම අපේක්ෂා නොකළ අන්දමේ සිදුවීමකි. අවශ්‍ය ආකාරයට නිසි පරිදි පොත් රැගෙනවිත් තිබේදැයි සොයා බලා භාර ගැනීමට ස්ථාන තුනක් හෝ හතරක් එහි තිබිණ. පොත් 165ක් එකිනෙක තෝරා පරීක්ෂා කොට අදාළ වවුචරයට අත්සන් ලබාගෙන ශාලාවේ ම රැඳී ඉන්නැයි ඉල්ලීම කිරීමට විනාඩි විස්සක් හෝ විසිපහක් ගතවන්නට ඇත. රැඳී සිටින්නැයි කීවේ කුමක් සඳහාදැයි එහි සිටි නිලධාරීනියකගෙන් විමසූ කල්හි ඇගේ පිළිතුර වූයේ “ඇයි භාර දීපු පොත් වලට සල්ලි එපාද?” යනුවෙනි. ‍ෙපාත් සඳහා එහිදීම ගෙවීම් කරනු ලබන බව මා දැන ගත්තේ ඉන් පසුවය.

මිතුරු ලේඛකයන්ද ප්‍රකාශකයන්ද අතර මැද මම ද අසුන්ගෙන බලා සිටියෙමි. භාරගත් ‍ පොත් තවත් තැනෙක අංක ගතකොට සංස්කෘතික මධ්‍යස්ථාන සඳහා රැගෙන යාමට හැකි පරිදි තබනු දුටුවෙමි. කාර්යාල කාර්ය සහායක පිරිස ඇතුළු නිලධාරීන්, ලිපිකරු කාර්ය මණ්ඩලයේ සියලු දෙනා කඩියන් ලෙසින් කටයුතු කරනු දැකීමත් සුන්දර දසුනක් වීය. ඒ අතරතුර කෙටි ආහාර හා තේපැන් රැගත් සේවකයකු දුටු මා සිතුවේ , කාර්ය මණ්ඩලයට තේ බීම සඳහා කටයුතු යළි නතර‍ෙව්දැයි කියායි. මගේ කල්පනාව නිශ්ප්‍රභ කරමින් තේපැන් හා ආහාර රැගෙන පැමිණි පුද්ගලයා මුදල් ලැබෙන තෙක් බලා සිටිනා ලේඛක ප්‍රකාශක ප්‍රජාව වෙත ද ඒ ආහාර පිරිනමනු දැක්ම අදහාගත නොහැකි වීය.

මේ නම් කවර කලෙක දුටු දසුනක් දැයි මම කල්පනා ක‍ෙළමි. රජයේ අමාත්‍යාංශයකින් සේවාවක් ලබා ගැනීමට මේ අවස්ථාවේ දී තම භාණ්ඩ අලෙවියට පැමිණි පිරිසකට ‍ මෙලෙස සංග්‍රහ කරනු දුටු ප්‍රථම අවස්ථාව එය වීය. තවත් මොහොතකින් භාරදුන් පොත් සඳහා වූ ගෙවීමට අදාළ චෙක්පත ලබා ගැනීමට කළ ආරාධනයෙන් යළි මවිතයට පත්වීමි. හෝරාවක් පමණ කෙටි කාලයක් තුළ මේ සියල්ල සිදු වූ අන්දම ඔවුනගේ සැලසුම හා මෙහෙයුම විස්මිතය. පෞද්ගලික අංශයේ වුව එවැනි කාර්යක්ෂමතාවක් මා දැක ඇත්තේ විරලවය. සිත ඇත්නම් පත කුඩාදැයි යන කියමන සනාථ කළ එච්. ඩී. එස්. මල්කාන්ති නම් අතිරේක ලේකම්වරියගේ කාර්යක්ෂමතාවට තුති මලක් පුදනා අතරේ ඔවුන‍්ගේ දොපාර්තමේන්තුව ද මෙම ප්‍රවේශය ආදර්ශයට ගනු ඇතැයි සිතමි.