කාල් මාක්ස් මළවුන්ගෙන් නැඟිටීම

යෙව්ගේනියා ස්තෙපානොවා ලියූ “කාල් මාක්ස් ජීවන චරිතය” පොත මම ආයෙත් කියවන්න පටන් ගත්තා. එය 1988/89 භීෂණ යුගයේ දී මවිසින් ගිනි තබා විනාශ නොකර ආරක්ෂා කර ගන්නා ලද දේශපාලන පොත් අතරින් දුර්ලභ කෘතියක්. මේ පොත කියවද්දී මට ප්‍රවීණ මාධ්‍යවේදියකු හා දේශපාලන විශ්ලේෂකයකු වන වික්ටර් අයිවන් කියා තිබූ එක්තරා දෙයක් පිළිබඳ කිසියම් කුකුසක් පැන නැඟුණා. ඔහු කියා තිබුණේ මාක්ස් භෞතික අර්ථයෙන් පමණක් නොව දාර්ශනික අර්ථයෙනුත් මියගොස් ඇතිය යන්නයි.

ඇත්තටම මාක්ස්වාදය අද වෙනකොට අවලංගු කාසියක් බවට පත්ව තිබේද? රුසියාව ප්‍රමුඛ සමාජවාදී රාජ්‍ය බිඳවැටුණට, ලෙනින්ගේ ප්‍රතිමා බිමට ඇද දැමුවට මාක්ස්වාදය කෙරෙහි තවමත් විශ්වාසය රඳවාගෙන ඉන්න ප්‍රගතිශීලීන් කීපදෙනෙක් මට එදිනෙදා ජීවිතයේ මුණගැහිලා තිබෙනවා. අප කවුරුත් දන්න කියන අය අතරින් ගුණසේන විතාන, මහාචාර්ය කාලෝ ෆොන්සේකා මෙන්ම සිරිලාල් කොඩිකාර ද ඉන් කීපදෙනෙක්. සිරිලාල් තමන්ගේ “දියවැලක් ඔස්සේ” නම් වූ ජීවන සටහන් කෘතියේ දෙවැනි මුද්‍රණයට ලියූ පෙරවදනේ මෙහෙම සඳහන් කරනවා.

“මුහුදු රැල්ලක් බැසගොස් යළිත් මුහුදු රැල්ලක් එන්නා සේ සමාජවාදී විප්ලවීය රැල්ල කාලීන වශයෙන් අලුත් ස්වරූපයකින් හෝ යළිත් නැ‍ඟෙනු ඇත.”

අපේ තරුණ වියේදී අපේ පෘථුල අවධානයට යොමු වූ සමාජ - දේශපාලන චින්තකයා වුණේ කාල් මාක්ස්. මාක්ස් ජන්ම ශත සංවත්සරය පැවැත්වුණේ ඒ කාලයේදී‍. (1983 දී) ඒ නිමිත්තෙන් කොළඹ මහජන පුස්තකාලයේ පවත්වපු සම්මන්ත්‍රණය මට මතකයි. මහාචාර්ය කාලෝ ‍ෆොන්සේකා, ගුණසේන විතාන, ආචාර්ය කඹුරුපිටියේ අරියසේන හිමි, ආචාර්ය නිව්ටන් ගුණසිංහ වැනි විද්වතුන් එහිදී කතා පැවැත්වුවා. ඒ සම්මන්ත්‍රණයේදී ආචාර්ය නිව්ටන් ගුණසිංහ, කාල් මාක්ස් මුළු ජීවිතයෙන් අඩක්ම කැප කළේ විප්ලවකාරී පුවත්පත් කලාව සඳහා යැයි කියූ අයුරු ද මට මතකයි.

මා මුලින් සඳහන් කළ “මාක්ස් ජීවන චරිතයේ” මාක්ස් පුවත්පත්වලට සම්බන්ධ වූ ආකාරය ගැන තොරතුරු සඳහන් වෙනවා.

ජර්මනියේ ප්‍රතිගාමීත්වයට එරෙහිව සටන් කිරීම සඳහා මාක්ස් උපයෝගී කර ගත්තේ විශ්වවිද්‍යාල විද්‍යා පීඨය නොව පුවත්පත බව ස්තෙපානෝවා සඳහන් කර සිටිනවා. “රයින්” පුවත්පතත් පසුව “නව රයින්” පුවත්පතත් මාක්ස් විසින් සංස්කරණය කරනු ලැබුවා. “රයින්” පුවත්පතට ඔහු ලියූ ප්‍රථම ලිපිය පුවත්පත් නිදහස යන මාතෘකාවෙන් සැකසුණු ලිපියක් බව පැවසෙනවා.

පුවත්පත් කලාවේදීන්ට විශේෂයෙන් ලේඛකයන්ට සිහියේ තබාගත යුතු අගනා ප්‍රකාශයක් මාක්ස් කරලා තිබෙනවා. ඒ මෙහෙම.

“ජීවත්වීමට හා ලිවීමට හැකියාවක් ලබාගැනීම සඳහා සත්තකින්ම ලේඛකයා වැටුපක් ලැබිය යුතුය. එහෙත් ඔහු කිසි ලෙසකින්වත් වැටුප් ලබාගැනීම සඳහා ජීවත්වීම හෝ ලිවීම හෝ නොකළ යුතුයි.”

පුවත්පතක වගකීම සම්බන්ධයෙන් ද මාක්ස් අදහස් දක්වා තිබෙනවා. පුවත්පත්වල ප්‍රථම යුතුකම වන්නේ පවතින දේශපාලන ක්‍රමයේ සියලු පදනම් සිඳ බිඳ දැමීමය.”

එහෙත් අපේ රටේ ඒ වගකීම කොතෙක්දුරට ක්‍රියාත්මක වෙනවාද? එය එලෙසින්ම අපට ක්‍රියාත්මක කරන්න පුළුවන්ද යන්න නම් ප්‍රශ්නයක්.

මාක්ස්ට කලා විඥානයක් තිබුණත් (ඔහු කවි පවා ලියා තිබෙනවා) ඔහු කලාව පිළිබඳ යම් යම් මත දරා තිබුණත් ඔහු කලා විචාරකයෙක් නම් නෙමෙයි. එසේ නොවුණට සාහිත්‍ය කලා විචාරයේදී ඔහුගේ නම ප්‍රබල විදියට භාවිතා වනු අපට පෙනෙනවා. “මාක්ස්වාදී කලා විචාරය” යන නමින් හැඳින්වෙන්නේ එයයි. ජෝර්ජ් ලූකාස්, ටෙරි ඊගල්ටන් වැනි විද්වතුන් මෙම න්‍යායයන් ගැන පෘථුල හැදෑරීම් කරපු අය. විශේෂයෙන් ටෙරි ඊගල්ටන් ‘MARXISM AND LITERACY CRITILISM’ යන නමින් මේ සම්බන්ධ පොතක් ද ලියා තිබෙනවා. (මේ පොත “මාක්ස්වාදය හා සාහිත්‍ය විචාරය” යන නමින් මහාචාර්ය ‍ඩෙස්මන්ඩ් මල්ලිකාරච්චි සිංහලට පරිවර්තනය කර තිබෙනවා)

කලා විචාරයේදී මාක්ස්ගේ යම් යම් හැදෑරීම් ඉතාම ප්‍රයෝජනවත් වෙනවා. ඕනෑම කලා කෘතියක් සාමාජික ප්‍රකාශනයක්. එහි එන කිසිම චරිතයක් ලම්බක නැහැ. එක්කෝ චරිතයක් මනෝ විද්‍යාත්මකයි. නැත්නම් සමාජ විද්‍යාත්මකයි. මේ මනෝ විද්‍යාත්මක පැත්ත සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් හෝ වෙනත් මනෝ විද්‍යාඥයන්ගේ මත ඇසුරෙන් අපට විවරණය කරන්න පුළුවන්. සමාජ විද්‍යාත්මක පැත්තෙදි තමයි මාක්ස් වැදගත් වෙන්නේ.

කලා විචාරයට අදාළ කරගත හැකි වැදගත් ප්‍රකාශ දෙකක් මාක්ස්වාදයේ තියෙනවා. ඒ (1) “සවිඥානය විසින් ජීවිතය තීරණය කරනවා නොව ජීවිතය විසින් සවිඥානය නිර්ණය කෙරේ” (2) “යථාර්ථවාදී ලෙස නම් මිනිසාගේ හරය වූ කලී සමාජයීය සබඳතාවයන්ගේ සමස්තයයි” යනුවෙනි.

ඒ හැරුණුකොට මතුමහල පිළිබඳ සංකල්පය ද කලා විචාරයේදී අතිශය වටිනාකමකින් යුක්තයි. මාක්ස් තම නිබන්ධනයකදී සාහිත්‍ය හඳුන්වන්නේ සමාජයක් සතු ආර්ථිකය නමැති අඩිතාලම මත ගොඩනැඟුණු මතු මහලට අයිති අංගෝපාංගයක් වශයෙන්. (මේ මත චින්තාව එරික් ‍‍ෙ‍ෆ්‍රාම් වැනි විද්වතකු ප්‍රතික්ෂේප කර ඇති වගත් මෙහිදී අප දැන සිටිය යුතුයි.)

කෙසේ වෙතත් මාක්ස්වාදය අද වන විට අවලංගුව ඇතැයි කියන ගුණදාස අමරසේකර පවා මාක්ස්ගේ අගය කරන පැති දැක තිබෙනවා. මාක්ස්වාදය ආභාසය ලැබිය හැකි මානව හිතවාදයක් බවයි ඔහු කියන්නේ.

චාල්ස් ඩාවින්, ෆ්‍රොයිඩ් වගේම මාක්ස් ද ගැඹුරට හැදෑරීම ඉතා වැදගත්. මාර්ටින් වික්‍රමසිංහ එබඳු හැදෑරීමක් කළ ලේඛකයෙක්. එසේ නොවන්නට “ගම්පෙරළිය”, “විරාගය”, “යුගාන්තය” වැනි නවකතා ඔහු අතින් බිහිවෙන්නේ නැහැ. මෙහිදී මට සිහිපත් වන්නේ පූජ්‍ය උඩකැන්දවල සිරි සරණංකර හිමි පරිවර්තනය කළ “අම්මා” නවකතාවට පූර්විකාවක් ලියූ නාරාවල පැට්රික් කියා තිබූ දෙයක්. මාක්ස්වාදයට ප්‍රමුඛස්ථානයක් නොදෙන විශ්වවිද්‍යාලයක් තබාගැනීමට වඩා හරක් පට්ටියක් තබා ගැනුම රටකට වැඩදායක බවයි ඒ.

සුනිල් මිහිඳුකුල    

[email protected]