තාරා මගේ දෙව්දුව සුන්දර වියමනකි

ගෙවුණු වකවානුවේ පැවති පොත් දෝරෙ ගලා ගිය ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය හා දන්න හඳුනන ලේඛකයන්ගේ පොත් දොරට වැඩීම් මට අලුත් නවකතා අයිති කර ගන්නට ද කියවන්නට ද ඉඩහසර උදා කළේ ය. (කොහොමටත් අපේ පළාතේ පුස්තකාලවලින් කියවීම යනු පරණ පොත් කියවීමකි. එම ආයතනවලට පොත් පැමිණෙන්නේ අවුරුද්දක දෙකක ප්‍රමාදයකින් ඉක්බිතිව ය.)

සැප්තැම්බරයෙන් පසු වකවානුව අහේතුකව මෙන් මගේ කියවීමේ ඉඩහසර සීමා කළ නිසා නවකතා කියවීම සිදුවූයේ බොහෝ මන්දගාමීව ය. ඇරත් ගෙවුණු සාහිත්‍ය සම්මාන සඳහා නිර්දිෂ්ටිත වූ නවකතා අතරින් නො කියවූ නවකතා ද සපයා ගත්තෙමි. ඒවා මුලින් ම කියවන්නට තිබිණි. මෙකියන සියලු කරුණුකාරණා හේතු කොට ගෙන අලුතින් පළ වූ නවකතා අතපත ගාන විට ඔක්තෝබරයෙන් ද අඩකටත් වඩා ඉකුත් වී තිබිණි.

නවවසරේ නිකුත් වූ නවකතා අතුරින් මා මුලින් ම කියවූයේ ජයතිලක කම්මැල්ලවීරගේ ‘ප්‍රින්ස්’ නවකතාවයි. ධනවත් නම්බුකාර පෙළැන්තියක වෙනස් ව සිතන, පතන හැල්මේ දුවන්නකු නොවූ, බොහෝ විට නිෂ්ක්‍රීය චරිතයක ගති ලක්ෂණ පෙන්නුම් කරන ‘ප්‍රින්ස්’ ගේ චරිතය මගේ සිත් ගත් පැහැදිලි මනෝ රූපකායක් සහිතව මගේ සිතේ තැන්පත් වන අන්දමේ චරිතයකි.

අනතුරුව ලියනගේ අමරකීර්තිගේ අලූත් ම නිර්මාණය වන ‘කුරුලූ හදවත’ කියවන්නට වීමි. අපේ යෞවනයේ දී අපට බෙහෙවින් සමීප වූ මාධ්‍ය වන ගුවන් විදුලිය පිළිබඳ මතකය අමරකීර්ති සිය නවකතාව තුළින් මැනවින් කුළුගන්වයි. උසස් පෙළින් ඉක්බිතිව කිසිදු ජීවනෝපායක් ගැන නොසිතා අසන්නන්ගේ ඉල්ලීම් තීරයට තැපැල්පත් යොමුකරන තරුණයකුගේ චරිතය මෙහි කේන්ද්‍රීය චරිතය වෙයි. වළං තනන කුලයට අයත්වන මෙකියන තරුණයා ඇතුළු චරිත විකාශනයේ දී අමරකීර්ති ලාංකීය කුලය පදනම් කරගත් සමාජ ධුරාවලිය පිළිබඳව ද විවරණයක යෙදෙයි. ගුවන්විදුලියේ ප්‍රභාව වියකෙමින් අනූව දශකයේ දී කිරුළු පළදින එෆ්. එම්. මාධ්‍ය සංස්කෘතිය තුළ මෙකියන තරුණයාට ඉඩක් සැකසෙන අයුරු ද එතුළින් ඔහු ධනවතකු වන අයුරු ද විදහා දක්වන අමරකීර්ති ලාභය උදෙසා උත්කර්ෂයට නංවන ගැමි සංස්කෘතිය ජාතිකවාදයට මංපෙත් පාදන ආකාරය ද ගවේෂණය කරයි.

කුරුලූ හදවත කියවීමෙන් පසු කියවන්නට ගාමිණී කන්දෙපොළගේ ‘වැහිබිත්තර’, සුනේත්‍රා රාජකරුණානායකගේ ‘සෞම්‍යාලෝකය’, සයිමන් නවගත්තේගමගේ ‘ස්වර්ණවන්නියේ වල්ලි අම්මලා’ වැනි කෘති රැසක් ඉතිරිව තිබිණි. එහෙත් හදිසියේ ම නිශ්ශංක විජේමාන්න ඔහුගේ අලූත්ම නවකතාව වන ‘තාරා මගේ දෙව්දුව’ මවෙත මිල අධික තැපෑලෙන් එවා තිබිණි. ඒ වෙනුවෙන් දිනිඳු සිරිවර්ධන නිර්මාණය කළ කංචුකය ද වෙනස් ආරක එකකි. මූර්තියක් සමඟ කතුවරයාගේ නම උඩු යටි කොට දැක්වෙන මුල් පිටුවත් කෘතියේ නාමය පසු කවරයට දැමීමත් අලූත් පන්නයේ වැඩකි.

එහෙත් මුල් කවරයේ දැක්වෙන්නේ මාතෘ දෙවඟනගේ මූර්තියකි. එය අන්තර්ජාලයෙන් ලබා ගත්තා විය යුතු ය. තාරා දෙවඟනගේ මූර්තියේ දැක්වෙන ස්ත්‍රී ලාලිත්‍ය කංචුකයේ ඇති මූර්තියෙන් නො දැක්වේ. එකියන පරිකල්පනයට හේතු වූයේ කවර කාරණාදැයි දිනිඳුගෙන් ම අසා දැනගත යුත්තකි. කොහොමටත් නිශ්ශංක 1990 අවුරුද්දේ දී දැන හඳුනාගත් අවුරුදු 23 ක පමණ ඈතට දිවෙන මිත්‍රත්වයකට හිමිකම් කියන මගේ පැරණි මිත්‍රයෙකි. එහෙයින් අවදි වූ මිත්‍රත්වයේ ළෙන්ගතුකම හදවතින් ම දරා ගෙන ‘තාරා මගේ දෙව්දුව’ කියවන්නට පටන් ගතිමි.

අවිවේකය මැදින් තාරා මගේ දෙව්දුව බොහෝ දවසක් කියවන්නට විය. එහෙත් ඒ කියවීම බොහෝ සෙයින් ආස්වාදජනක විය. තාරා මගේ දෙව්දුව නවකතාවට තේමා වන්නේ තාරා නම් බෝධිසත්ත්වවරියගේ අතුරුදන් වූ සුවිසල් පිළිමයක් සොයා යන භානුක නම් පුරා විදු නිලධාරියකුගේ කතාවයි. ඒ හා සමගාමිව භානුකගේ පාසල් වියේ පටන් දැන සිටි ‘තාරා ශ්‍යාමලී කුමාරස්වාමි’ නම් දෙමළ පියකුට දාව සිංහල මවකට උපන් දැරියක හා සම්බන්ධිත අප්‍රකාශිත ප්‍රේමය ද කෘතිය පුරාවට විහිද තිබෙයි. තාරා භානුකට කලකට පසු නැවත මුණ ගස්වන්නේ පස්සර නගරයේ පැවති හංස පදනම නම් රාජ්‍ය නොවන සංවිධානයක වැඩමුළුවකි. ඒ වන විටත් තාරා භානුක දෙදෙන ම තාරුණ්‍ය ගෙවා දමා මැදි වියට එළඹ සිටිති.

භානුක, ප්‍රියංගා නම් එක පන්තියේ උගත් මිතුරියක හා විවාපත්ව සිටින අතර තාරා අවිවාහකව දිවි ගෙවන්නී ය. නිශ්ශංක සිය නවකතාව සිය සහෘදයන්ට කියා පාන්නේ ආකෘති කීපයක් උපයුක්ත කර ගනිමිනි. භානු තාරා කලකට පසු හමුවන මුල් ම කොටස ප්‍රථම පුරුෂ දෘෂ්ටි කෝණයෙනි. ඉන් පසු අපටත් නොදැනීම එය භානුගේ දෘෂ්ටියෙන් කියැවෙන උත්තම පුරුෂ කථනයක් බවට පත්වේ. අනතුරුව අප කියවන්නේ තාරා විසින් ලියන ලද ‘පිටුවහල් කළ ජීවිතයක්’ නම් ආත්ම කථනයකි. ඒ තාරාගේ දෘෂ්ටියෙන් උත්තම පුරුෂයෙනි. අනතුරුව නිශ්ශංක ‘සමුගනිමි නගරය’ නම් භානුගේ දෘෂ්ටියෙන් උත්තම පුරුෂයෙන් කියැවෙන ලියවිල්ලට මාරු වෙයි.

එතැන් පටන් අප කියවන්නේ භානුක විසින් ලියනු ලබන තාරා නම් සිනමා පටයේ තිර රචනයයි. එහි දී පුරාවිදු වැඩබිම්වල දී තාරා දෙව්දුව සමඟ අපට භානු මුණගැසෙයි. හදිසි අනතුරකින් රෝහල් ගතව සිටින භානු දකින සිහිනයක අතීතයේ දී තාරා පිළිමය නෙළීමට අනුග්‍රහය සපයන පරුමක ශිව නම් ප්‍රදේශාධිපතියා ද පිළිමය නෙළන ශිල්පියා ද ශිල්පියාට පෙම් බඳින බාල කෙළි පොඩිත්තක වූ අධිපතියාගේ දියණිය ද තාරා දෙව්දුව සමඟ ම අපට මුණ ගැසේ. මේ සා සංකීර්ණ ආකෘතිය පාඨකයා වෙහෙසට පත් නො කරයි. විවිධ ආකෘති භාවිතයෙන් පාඨකයා වෙහෙසට පත් නොකරන සුන්දර වියමනක් ගොඩනගන්නට නිශ්ශංක විජේමාන්න සමත් වෙයි.

මිනිස් ජීවිත සමඟ නිරන්තරයෙන් ගනුදෙනු කරන ෙප්‍ර්මය, විප්‍රයෝගය, ලාලසාව, ආතතිය වැනි විවිධ ධර්මතා මනාව චරිත කීපයකට සංකලනය කර ගනිමින් පුරාණෝක්ති ආදිය අවස්ථාවෝචිතව භාවිත කරමින් කලක් තිස්සේ ලිවීමෙන් ම ඔප් නංවාගත් නැවුම් ලේඛන රීතියක ආස්වාදය දැනුවත් පාඨක පිරිසකට විඳින්නට ඉඩහසර සපයමින් තාරා මගේ දෙව්දුව අප වෙත ගෙන එන්නට නිශ්ශංක විජේමාන්න සමත් වෙයි. ‘සංහිඳ පාමුල’ කියවන ඔබ ‘තාරා මගේ දෙව්දුව’ කියවිය යුත්තේ එහෙයිනැයි මම සිතමි.