අසිරිමත් රඟ මඬල පති පතිනි භූමිකා

රඟ මඬල කෙතරම් අසිරිමත් වූ තැනක් ද? අසිරිමත් වූ ප්‍රේමය මෙන්ම රඟමඩල ද අසිරිමත් එකක් යයි දැනෙන්නේ ඒ මත රඟන්නන්ට පමණක් නොවේ. ප්‍රේක්‍ෂාගාරයක සිට රඟ මඬල මත සිදුවන දෑ නරඹන අපට ද එය අසිරිමත් බිමකැයි හැඟේ. එහි රඟන්නෝ රඟන්නියෝ, තම භූමිකා මගින්, ප්‍රේක්‍ෂක අපගේ ජීවිත ප්‍රඥාවෙන් පුරවති. ආනන්දයෙන් සරසති. උපතින්ම ලද වාසනා ගුණය ඇති රංගනයන්ට හා රංගනියන්ට, මේ දෙආකාරයෙන්ම ප්‍රෙක්‍ෂක අපගේ් ජීවිත කරා ළංවන්නට හැකිය. රඟමඩල මත නැටවෙන රූකඩ වැන්නන්ට ප්‍රෙක්‍ෂක හද ප්‍රසාදය දිනාගත නොහැකි වූවත්, රංගනය කිමෙක්දැයි වටහා ගත් භූමිකාවකින් තවත් චරිතයක්, ප්‍රතිනිර්මාණය කරන්නේ කෙසේ දැයි දන්නා නළු නිළියෝ දිගු කාලයක් ප්‍රේක්‍ෂක හදවත් හි ජීවත් වෙති. ඇතැම් අවස්ථාවක මේ රංගන ශිල්පීන් ශිල්පීනියන්, සැබෑ ජීවිතයේ පති පතිනියන් ගේ භූමිකා ද රඟන බව අපි දනිමු.

මෙරට පමණක් නොව එරට ද එවැනි සුසංයීග හමුවේ. ලිනී හොන්ටානා හා, ඇල්ෆ්‍රඩ් ලුන්ට් දෙපොළ මෙන්ම, ජොන් ක්‍රැනී, කැත්රින් හෙරන්ඩ් පති පතිනියන් ද බටහිර කලා ක්‍ෂෙත්‍රවල දී හමුවේ. ශ්‍රී ලංකාව පිළිබඳ නිදසුන් දක්වන්නේ නම්, අපගේ මතකයට නැගෙන ප්‍රධාන අඹු සැමි රංගන ශිල්පී යුවළ වන්නේ, රුක්මණී දේවී හා එඩී ජයමාන්න යි. හැටේ දශකයේ ආරම්භයේ සිට සිංහල නාට්‍ය ක්‍ෂෙත්‍රයේ පති පතිනි සුසංයෝගයක් ලෙස රඟ පෑ යුවළකගේ තතු හමුවන්නේ මහාචාර්ය සරච්චන්ද්‍රගේ සිංහබාහු නාටකයේ පොතේ් ගුරුගේ චරිතය රඟ පෑ ටෙරන්ස් රණසිංහ හා සුප්පාදේවිය ගේ් භූමිකාවට පණදුන් මාලිනී රණසිංහ ගේ රංගනයන් හිදී ය. දර්ශන වාර පන්දහසකට ආසන්න සිංහබාහු රැඟුම් සමඟ ඔවුන් ගේ නම් ගම් ගිනස් ලෝක වාර්තා අතරට ද ගිය බව අසා ඇත.

රත්නා ලාලනී හා සම්පත් තෙන්නකෝන්

රඟ මඬල සරසන හා සැරසූ පතිපතිනි සුසංයෝගයේ නවතම, මෑත කාලීන, රංගන පෞරුෂ ලෙස මා දකින්නේ රත්නා ලාලනී රඟන්නිය හා සම්පත් තෙන්නකෝන් නම් රඟන්නා ගේ රඟ මඬල භූමිකායි. මේ දෙදෙනා ගේ රඟ මඬල චාරිකාවට වයස අවුරුදු තිහකටත් වඩා වැඩියි. මේ දිගු ගමනේ දී ඔවුන් දෙදෙනා රඟ පෑ රංග කාර්යයන් සංඛ්‍යාව පනහද ඉක්මවන බවයි අපගේ වැටහීම. වසර තිහක්, රංග කාර්යය පනහක්, හැටක්? මේ නම් ආශ්චර්යයක්ම නොවන්නේ ද?

ඒ සා විශාල භූමිකා රැසක් අතරින් ඔවුන් දෙදෙනාගේ ම රංග භූමිකා ඇතුළත්, වේදිකා රංග සතියක් අභිනයන රංග භූමිකා නමින් පසුගිය දහහත් වනදා සිට විසිතුන්වන දා දක්වා කොළඹ ග්‍රීන් පාත් නව නගර ශාලාවේ දී රංග ගත වීමත්, අසිරිමත් රඟ මඬල පති පතිනි භූමිකා ඉතිහාසයෙහි තවත් සුවිශේෂී වූ කඩඉමක් ලෙස දකිමි. රත්නා සම්පත් හෙවත් රත්නා ලාලනී ජයකොඩි හා සම්පත් තෙන්නකෝන් නම් වූ, කලාකාර සුසංයෝගයේ මිහිරිතම ඵල වර්තමාන ප්‍රේක්‍ෂක ජනයාට බෙදා දුන් අභිනයන රංග භූමිකා ඔවුනගේ රංගාභිෂේකය බඳු වී යයි වරෙක මට සිතේ.

ශ්‍රී ලංකාවේ මෑත කාලයේ වේදිකා නාට්‍ය ක්‍ෂෙත්‍රයේ ප්‍රබලයන් තිදෙනකුගේ රංග කාර්යයන්ට වූ දායකත්වය රත්නා හා සම්පත් විසින් ප්‍රතිනිර්මාණය කිරීමට තෝරාගෙන තිබූ නාට්‍යාවලිය තුළ අපූරු නාට්‍යමය අත්දැකීම් රැසක් වූ බවයි මගේ හැඟීම. ඩග්ලස් සිරිවර්ධන, කේ. බී. හේරත්, ජයලත් මනෝරත්න හා බන්දුල විතානගේ ආදී වූ නාට්‍යකරුවන් ගේ නිර්මාණ අතර, රත්නා ගේ විශිෂ්ට භූමිකා හමුවන්නේ, කේ. බී. හේරත් ගේ මායාදේවී, ජයලත් මනෝරත්න ගේ පුත්‍ර සමාගම, ගුරුතරුව වැනි රංග කාර්යයන් තුළ වේ.

සම්පත්ගේ රංගන කෞශල්‍යය, ප්‍රභාවත් වන්නේ ඩග්ලස් සිරිවර්ධන ගේ සුබ සැන්දෑවක්, කේ. බී. හේරත්ගේ ජගන් මා, බන්දුල විතානගේ රෝමය ගිනි ගනී හා මනෝරත්න ගේ තලමල පිපිලා රංගන තුළය. සැබෑ ජීවිතයේ පති පතිනි භූමිකාවන්ට හාත්පසින්ම වෙනස් වූ එකිනෙකට ප්‍රතිවිරුද්ධ චරිත අර්ථවත්ව රංගනයෙන් පෝෂණය කිරීමෙහි ලා රත්නා, සම්පත් දක්වන ප්‍රතිභාව විශිෂ්ට ය. ශෛලිගත රංග සම්ප්‍රදායට අයත් රංගයක් ද ඔවුනගේ අභිනයන භූමිකාවන්ට ඇතුළත් වී නම්, රත්නා ලාලනී කෙබඳු බහු නිපුණතා සපිරි නිළියක් ද යන්න පසක් කර ගැනීමට ප්‍රේක්‍ෂකයන්ට හැකිවනු නොඅනුමාන ය. මහාචාර්ය සරච්චන්ද්‍රයන් ගේ මනමෙ, සිංහබාහු, පෙමතො ජායතී සොකො, යන නාට්‍ය ත්‍රිත්වයෙහි ඈ පෑ රංගන ප්‍රතිභාව කෙසේ වර්ණනා කළ යුතු දැයි මම නොදනිමි. ස්වභාවික නාට්‍ය සම්ප්‍රදායේ දී මෙන් නොව, ශෛලිගත නාට්‍ය සම්ප්‍රදායේ භූමිකා අර්ථ ගන්වන්නට අත්‍යවශ්‍ය වන රංගනය, නර්තනය හා ගායනය යන ත්‍රිවිධ කුසලතා නොඅඩුව සපිරි රත්නා ලාලනී ගේ රඟ මඬල රැඟුම් නෙත් සිත් වශී කරයි. ඇගේ ගායනා මිහිරි ස්වරය ප්‍රේක්‍ෂක සවන් සනහයි.

සම්පත් තෙන්නකෝන් ගේ රංගන රත්නාගේ රංගන සම්ප්‍රදායන් හා එක එල්ලේ සැසඳිය නො හැකි වූවත්, ස්වභාවික හා අර්ධ ශෛලිගත සම්ප්‍රදායන්ට අනුකූල වන සේ තම රංගන කාර්යය සපුරාලීමට සමත් වන නළුවකු වේ. ජගන්මා හි ඔහු ගේ රංගනය, මායා දේවී හි හෝ රෝමය ගිනි ගනී රංගන හා සැසඳිය නොහැකි ය. තලමල පිපිලා නාට්‍යයේ භූමිකාව සම්පත් විසින් අපූරු රංග කාර්යයක් බවට පත් කොට ඇති බව අප ගේ හැඟීම යි. රුක්මණී දේවී, එඩී ජයමාන්න, මාලිනී රණසිංහ, ටෙරන්ස් රණසිංහ, වින්ස්ටන් සේරසිංහ, අයිරාංගනී සේරසිංහ ආදී සිංහල හා ඉංග්‍රීසි වේදිකාවේ අප දුටු පති පතිනි රංගන අතර රත්නා සම්පත් රංගන සුසංයෝගය, සිංහල වේදිකා නාට්‍ය වංශ කතාවේ නව පරිච්ඡේදයක් ලෙස සටහන් වී ඇති බව කිව මනාය. නිළියකගේ භූමිකාවට අමතරව නාට්‍ය හා රංග කලාව පිළිබඳ ගුරුවරියක ගේ භූමිකාව ද රත්නා විසින් අපූරුවට රඟනු ලබන බව මේ තීරුවෙහි සමාප්තියෙහි සටහන් කළ යුතු වේ.