බස්නාහිර පිස්සන් කොටුවක්

දියණිය හැඬුම්බර ව සයනයේ වැතිරී සිටී. ඇගේ මව කුස්සියෙහි වැඩ පළ අහවර කරයි.

“මෙයා හෙට ඉස්කෝලෙ යන්න බෑ කියනවා.”

ඇය මට සෙමෙන් කිය යි.

“ඇයි ඒ?”

“එයාලගෙ පරණ පන්තියෙ ටීචර් අද පළමු වැනි දවසෙ අලූත් පන්තියෙ ටීචර්ට ළමයි බාර දීලා ආවා”

“ඉතින් ?”

“පැය බාගයක්වත් යන්ඩ කලිං ටීචර් කෝදුවකින් ළමයි දෙන්නකුට තඩි බාලා”

“හේතුව?”

“කෑ ගහනවා කියලා”

“ඉතිං මෙයා මොකට ද අඬන්නෙ?”

“එයා හොඳට ම බයවෙලා. මග දිගට අඬ අඬා ආවේ?”

“අපරාදෙ ගිය අවුරුද්දෙ හිටපු ටීචර් හරිම කරුණාවන්ත යි... එයා ම හිටිය නං කොච්චර හොඳ ද?”

“ඒ ටීචර්, අලූත් ටීචර් ට ළමයි බාර දීලා ආවේ හරි ම දුකෙන්. එයත් දන්නවා මෙයාගෙ හැටි”

අපේ කතා බහ සෙමිනි. දුවට ඇසෙතැ යි සැකයෙනි.

“දැන් මොක ද මේකට කරන්නෙ?” බිරිය මගෙන් අසයි.

“මගෙ කෙල්ලට ගහල තිබ්බොත් ළමාරක්ෂක අධිකාරියට පැමිණිලි කරනවා” මම කීවෙමි.

“ඊට පස්සෙ ළමයගෙන් අවුරුද්දෙ ම පළි ගනී.”

“ගුටි කාපු ළමයින්ගෙ අම්මලා මොක ද කියන්නෙ?”

“ගේට්ටුව ළඟට වෙලා බැණ බැණ ඉන්නෙ. ඇතුළට යන්න දෙන්නෑනෙ”

මට මගේ වැඩිමහල් දියණියගේ ළමා අවධිය සිහිපත් වෙයි. එකල ඇය අධ්‍යාපනය ලැබුවේ වාරියපොල සුමංගල මැදි මහ විදුහලේ 4 වසරේ ය. සති අන්තයේ ගමට ගිය විට මට දැන ගන්නට ලැබුණේ ඇය පාසල් ගමන නවත්වා දුකෙන් පසුවන බව ය. ඇය අසාමාන්‍ය ලෙස ඇසිපිල්ලන් ගසන බව මම නිරීක්ෂණය කළෙමි.

“මේ මොක ද?” මම බිරියගෙන් ඇසීමි.

“එයාගෙ යාළුවට නිවැරැද්දෙ ටීචර් හොඳට ම ගහලා. කෙල්ල අඬ අඬා ඇවිත් මට කීවා. දැන් යන්ඩ බෑ කියනවා” බිරිය කියයි.

දියණිය සති දෙකකින් පාසලට ගොස් නැත. මම ඇය මනෝ වෛද්‍යවරයකු හමුවට කැඳවා ගෙන ගියෙමි. ක්‍රියාකාරකම් කිහිපයකින් පසු ව ඇය නැවත පාසල් යන්නට වූවා ය. දැන් ඇගේ වයස අවුරුදු 23 කි. බාල දියණිය තෙවැනි වසරේ ය.

පසුව දා ‘දෙමාපිය කවය’ පැවැත්විණ.

“මොක ද වුණේ? දෙමාපියො ප්‍රශ්න කළා ද?” මම වැඩ ඇරී නිවසට ගිය විගස ඇසීමි.

“මොන ඇහිල්ලක් ද? ළමයින්ට ගහන්නෙ හදාගන්ඩ යි කියලා ඒ ටීච ම කීවා. ප්‍රින්සිපලූත් ඔළුව වැනුවා. ගහල හරි ළමයි හදල දෙන්ඩ කියලා අම්ම කෙනෙක් නැඟිටල කිව්වා” බිරිය කේන්තියෙන් කියයි.

“දැන් අපි මොක ද කරන්නෙ?” මම ඇසීමි.

“මොනව කරන්න ද? එන හැටියක් බලමු. ළමය අකමැත්තෙං හරි ඉස්කෝලෙ යනවනෙ”

පාසල් යෑම සඳහා සැරසෙන දියණියගේ මුහුණෙහි සෝකාකූල රේඛාවක් ඇඳී තිබෙනු මට පෙනේ..

“සුදූ හොඳට වැඩ කරන්නකො. ටීචර්ට ආදරේ හිතෙයි”

මම ඇගේ හිස අත ගාමි. මවගේ සුරතේ එල්ලූණු මගේ බාල දියණිය, පාසල් යෑම සඳහා යන අතරතුර ආපසු හැරී මදෙස බලයි. ඇගේ බැල්ම තමා ගලවා ගැනීම සඳහා පසුපසින් එන්නැ යි කෙරෙන ආයාචනයක් වැන්න. මගේ හද ගැස්ම මොහොතකට නතර වෙයි. මා ළබැඳි හිතවතකු වන දයාසිරි ජයසේකර මහ ඇමති ධුරයට පත්වීමෙන් පසු ව පැවති රැස්වීමක දී කළ ප්‍රකාශයක් මට සිහිපත් වේ.

“වයඹ පළාතේ ගුරුවරුන් එකසිය ගාණකට පිස්සු”

මට කීමට ඇත්තේ බස්නාහිර පළාතේ එම සංඛ්‍යාව ඊටත් වඩා වැඩි විය හැකි බව ය. දරුවන්ට පහර දීම අනුමත කළ දෙමාපියන්ට ද ඒ පිස්සුව බෝවෙමින් පවතින බව දැන් දැන් පෙනේ. දියණියගේ ආරක්ෂාව පතා එම පිස්සන් කොටුවේ නම සඳහන් කිරීම කල් තබමි.

ළමයින් පිරිසුදු ය මල් මෙන් සුවඳ රැඳී
දෙවියන් ඔවුන් හැසිරෙන හැම තැනම ඉඳී

කේයස් කවියා ලිවී ය. මහාචාර්ය සරත් විජේසූරිය ලියූ දරුවන්ට ගහන්න එපා කෘතියෙහි පිටපත් කිහිපයක් පිස්සන් කොටුවට යැවීම සඳහා කල් බලමින් සිටිමි.