ඩබ්ලිව්. ඒ. සිල්වා සොයා යමු

ඩබ්ලිව්. ඒ. සිල්වා මහතා සිංහල සාහිත්‍ය පෝෂණය කිරීමෙහිලා අනුපම මෙහෙවරක් කළ වියතාණ කෙනෙකි. මුල් අවදියේ දී ම සිංහල නවකතා කලාවේ විවිධත්වයක් ඇති කිරීමට ඔහු සමත් විය. සිරියලතා නවකතාව ඔහු විසින් ලියා ඇත්තේ දහනව වැනි වියෙහි දී ය. (1909 වසරේ දී ය) ලක්‍ෂමි හෙවත් නොනැසෙන රැජින ලියවුණේ 1922 වසරේදී ය. 13 වසකට පසුව ය. හිඟන කොල්ලා, කැලෑහඳ, සුනේත්‍රා, විජයබා කොල්ලය, දෛවයෝගය, රදළ පිළිරුව, ජූලි හත, පාසැල් ගුරුවරී, හඳපාන ආදී නවකතාවලින් ඉහත විවිධත්වය පිළිබිඹු කරයි.

වැල්ලවත්ත ආරච්චිගේ ඒබ‍්‍රහම් සිල්වා (ඩබ්ලිව්. ඒ. සිල්වා) උපන්නේ 1890 දී ය. කොළඹ වැල්ලවත්ත ඔහු උපන් ප්‍රදේශයයි. මෙය මා උපන් ප්‍රදේශය ද වෙයි. එදවස වැල්ලවත්ත බටහිරට නැවුණු ඉංග්‍රීසින්ට වාල්වුණු බහුවිධ සංස්කෘතික ලක්‍ෂණවලින් යුක්ත වූ ප්‍රදේශයක් විය.

සාහිත්‍ය හා ඉතිහාසය අතර ඇතතේ සමීප සබඳතාවකි. මෙය පුරාතන යුගවල පටන් පෙර අපර දෙදිග විචාරකයන්ගේ විමසිල්ලට පාත්‍ර වූ මාතෘකාවකි. ඩබ්ලිව්. ඒ. සිල්වා මහතාගේ කෘතිවලට මුල්වී ඇත්තේ කෙබඳු ‍‍ඓතිහාසික පසුබිමක් ද යන්න ගැන සොයා බැලීම ඩබ්ලිව්. ඒ. සිල්වා ප්‍රතිගවේෂණයේ දී වැදගත්වෙයි.

ඩබ්ලිව්. ඒ. සිල්වා මහතා ගැන පුද්ගල තොරතුරු රැසක් ඔහුගේ බෑනනුවන් කෙනකු වන අප ප්‍රදේශයේ ජනප්‍රිය චරිතයක් ලෙස කැපීපෙනෙන සේනාධීරගේ ජස්ටින් පීරිස් මහතා සමඟ කෙරෙනු අල්ලාප සල්ලාපවල දී දැනගත හැකි විය. ඩබ්ලිව්. ඒ. සිල්වා මහතා ජස්ටින් පීරිස්ට නෑකමට බාප්පා වෙයි. වැල්ලවත්ත හංදියේ සිට පාමංකඩ දක්වා දිවෙන මාර්ගය එදවස හැඳින්වූයේ හයිස්ට්‍රිට් යන නමිනි. හයිස්ට්‍රිට් හි අංක 126 පිහිටීම සිල්වමියර් ඩබ්ලිව්. ඒ. සිල්වා මහතා වැඩි කාලයක් ජීවත්ව සිටි නිවාසය වෙයි. හයිස්ට්‍රිට් මාර්ගය පසුව ඩබ්ලිව්. ඒ. සිල්වා නමින් නම් කෙරුණි. සිල්වමෙයර් නිවහන මෙදවස ධර්මායතනයක් බවට පත්ව ඇත.

කැලෑහඳ චිත්‍රපටයේ දර්ශනයක්

එදවස ඩබ්ලිව්. ඒ. සිල්වා මහතාගේ සිල්වමෙයර් නිවහනට ආගිය පිරිස බොහෝ ය. සති අන්ත විනෝදාස්වාදය ගෙනදුන් සාදයන්ට රුක්මනීදේවිය, එඞී ජයමාන්න, බී. ඒ. ඩබ්ලිව් ජයමාන්න, මොහිදින් බෙග්, ශ්‍රි චන්‍ද‍්‍රරත්න මානවසිංහ ආදී පිරිස් සහභාගි වූ අවස්ථා ඉතාමත් විනෝදජනක බවත් මධුර සංගීතයෙන් ද එය රසවත් වූ බවත් ජස්ටින් පීරිස් මහතා පවසයි.

ඩබ්ලිව්. ඒ. සිල්වා මහතා ජීවත්ව සිටියදී මා දැක නොමැත. ලාබාලවියේ දී මාදුටු ඔහුගේ අවමඟුල් පෙරහර පිළිබඳ මතකයක් යාන්තමට සිත්හි ඇදී පවතී. ඔහු නැතිව ගියේ 1957 මැයි 31 වෙනිදා ය. අවමඟුල් පෙරහරේ ඉදිරියෙන්ම පොතක හැඩයෙන් විසල් මල් වඩමක් රැගෙන යනු දුටුවෙමි. අවමඟුලට පැමිණි ඩබ්ලිව්. ඒ. සිල්වා මහතා ළඟින් ඇසුරු කළ එවකට අගමැතිව සිටි ඇස්. ඩබ්ලිව්. ආර්. ඞී. බණ්ඩාරනායක මහතා අවමඟුලේ දී කළ කතාව එදවස ම'පියා නිතර මතක් කරන්නකි. ඩබ්ලිව්. ඒ. සිල්වා වගේ පොත් ලියන්න පුළුවන් නම් තමා අගමැතිකම අතැර පොත් ලියන බවත් ඔහු මෙහි දී පවසා ඇත.

කැලැහඳ මුලින් ම සිනමාවට නැඟුණු නවකතාවයි. ළාබාලවියේ දී මවගේ ඇඟිල්ලේ එල්ලී කැලැහඳ චිත්‍රපටිය නැරඹූ වාර කීපයකි. වැල්ලවත්ත රොක්සි සිනාම හලේ දී හා ප්ලාසා සිනමා හලේ දී ද කැලැහඳ නැරඹූ හැටි යාන්තමට මතක ය.

අන්දොසීයා නමැති වයෝවෘද්ධ ගැමියකුගේ චරිතය නිරූපණය කළ බී. ඒ. ඩබ්ලිව් ජයමාන්න සමඟ සිදාදියේ වේල් පෙරහර නැරඹීමට පැමිණි මාලිනී (රුක්මනීදේවිය) නමැති ගැමි තරුණිය සෙනඟ මැද අතරමංවන දර්ශනය මසිත්හි තවමත් ඇදී පවතින්නකි.

වේල් පෙරහර බම්බලපිටිය කෝවිල මුල්කරගෙන එදවස වසරකට වරක් එළඹෙන උත්සව අවස්ථාවකි.

වේල් පොලේ මැරිගෝ රවුම වටා බෑන්තාලයට රඟදුන් නැටුම, බූන්දි රසකැවිලි කඩ පෙළ - ගෙන දුන්නේ අපූරු ආස්වාදයකි. වේල්වාරයේ - බිඳී යන වීදුරු වළලු අතලා ගැනීමට කාන්තාවෝ මහත් රුචියක් දැක්වූහ.

ස්ථානික විඥානය ඩබ්ලිව්. ඒ. සිල්වා මහතාගේ නවකථාවල පසුබිම් වී ඇත. කැලෑ හඳේ වේල් උත්සවය ද මෙම ස්ථානික විඥානය ඇසුරෙන් උපන්නක් සේ සැලකිය හැකි ය. එදවස වසරකට වරක් එළඹෙන වේල් උත්සව වැල්ලවත්ත, පාමාංකඩ හා කිරිල්ලපොන ප්‍රදේශබඳ ජන ජීවිතය හ බැඳී පැවතුන සංස්කෘතික සැණකෙළියක් විය.

ඩබ්ලිව්. ඒ. සිල්වා කෙරෙහි ද සවිඥානිකව හෝ අවිඥානිකව බලපා ඇත්තේ මෙම පරිසරයේ චමත්කාරයයි. ඔහුගේ සහෝදරයා පදිංචිව සිටියේ වේල් කෝවිල අසල වජිර පාරේ නිවසක ය.

බම්බලපිටියේ වජිරාරාමවාසී පැලෑනේ සිරි වජිරඤ්ඤාන නාහිමියන්ගේ මුල් ගිහි ගෝලයන් අතරට ඩබ්ලිව්. ඒ. සිල්වා ද ඇතුලත් වෙයි. වර්තමාන සිංහල 'කවීන්ද්‍රයෝ ග්‍රන්ථය රචනා කළ කටුනායක ලයනල් ද සිල්වා හා දොස්තර ඇන්තනීස් මහතා ද වෙයි. මුණිදාස කුමාරතුංගයෝ ද පැලෑනේ හාමුදුරුවන්ගෙන් ගුරුහරුකම් ලැබූහ.

ඩබ්. ඒ. සිල්වා

පැලෑනේ නාහිමියන් ගෙන් බණදහම හා සිංහල උගත් ගෝල පරපුරට පසුව ජේ. ආර්. ජයවර්ධන, ඩඩ්ලි සේනානායක, බර්නාඩ් සොයිසා, නිශ්ශංක විජේරත්න, ලලිත් ඇතුලත්මුදලි ආදීහුද එක්වූහ.

සැමුවල් ජොන්සන් එංගලන්තයේ විසූ සුපතළ පඬුවෙකි. ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂයට පදනම වැටුණු මුල් ප්‍රාමාණික ඉංග්‍රීසි ශබ්දකෝෂය තැනීමේ ගෞරවය ඔහුට හිමිවෙයි. (18 වන ශත වර්ෂයේ මැද භාගයේ සැමුවල් ජොන්සන්ගේ ඉංග්‍රීසි ශබීදකෝෂය ප්‍රකාශයට පත්ව ඇති අතර ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂය 19 වන ශත වර්ෂයේදී ආරම්භ වී ඇත.) මේ මහා පඬුවා වටා, එකල එංගලන්තයේ පණ්ඩිත සමාජයක් ගොඩ නැඟී තිබුණි. මෙම සමාජය හඳුන්වා ඇත්තේ ජොන්සන් සර්කල් නමිනි. ( ජොන්සන් වටය) මෙයට සමරූපී මෙරට පඬුවන්ගෙන් සමන්විත වටයක් කුමාරතුංග මහතාට වටාද එදවස ගොඩ නැඟී පැවතුණි. සමකාලීන සාහිත්‍ය දියුණුවට මෙය මහත් බලපෑමක් ඇති කළාට සැක නැත.

ඩබ්ලිව්. ඒ. සිල්වා මහතා ද මෙම වටයට සම්බන්ධ වූ පඬිවරයෙකි. එදවස වියතුන් ලෙස කැපී පෙනුණු කන්නන්ගර වෙදරාලහාමි ජයන්ත වීරසේකර වාසලමුදලි ඩබ්ලිව්. ගුණවර්ධන, රැපියෙල් තෙන්නකෝන් ආදීහු මෙම වටයේ සෙසු සාමාජිකයෝ වූහ. සති අන්ත නිවාඩු දිනයන්හි දී මෙම වටයේ සාමාජිකයෝ බොල්ගොඩ ග‍ඟේ හා පානදුර ග‍ඟේ ඔරුපැද ගිය විනෝද චාරිකා ගැන ද වාර්තාවෙයි.

සාහිත්‍ය කලා ශිල්ප, ඉතිහාසය, වේද පුරාණ සංගීත ආදී විවිධ විෂයන් ගැන සුහද ශාස්ත්‍රීය සංකථනයක් මෙහි දී සිදු වී ඇත. විචාරයට මුවා වී ඩබ්ලිව්. ඒ. සිල්වා ක්‍රමානුකූල කුමන්ත්‍රණයකින් ඝාතනය කිරීමට ඇතැම් කල්ලි සැරසුණු විට ඔහු වෙනුවෙන් තර්ක කර පොතක් පවා ලිවීමට මෙම වටයේ සාමාජිකයකු වන කන්නනන්ගර රාලහාමි පෙලඹී ඇත. මෙම ත්‍රන්ථය පේරාදෙණි සරසවි පුස්තකාලයේ ඇති බවක් මහාචාර්ය කේ.එන්.ඹ්. ධර්මදාස සූරීහු පවසති.

කුමරතුඟුවන්ගේ විදුනැණ වටයට සමාන පඬුවන්ගෙන් සමන්විත වටයක් ඩබ්ලිව්. ඒ. සිල්වා මහතා වටා ද ගොඩ නැඟී තිබුණි. සාහිත්‍ය කලා පර්යේෂණයට හා ගවේෂණයට මෙය මහත් රුකුලක් වී තිබේ.

හයිස්ට්‍රිට්හි සිල්වමියර්හි මුළුදුන් මෙම රසවතුන්ගේ වටයට ශ්‍රි චන්‍ද‍්‍රරත්න මානවසිංහ, ගුණපාල සේනාධීර, ඞී.එෆ්. කාරියකරවන, විමල් අබේසුන්දර, මීමන ප්‍රේමතිලක ආදීහු සම්බන්ධ වූහ.

මෙරට බිහි වූ හොඳම ඓතිහාසික නවකතා කරුවා ඩබ්ලිව්. ඒ. සිල්වා බවට විවාදයක් නොපවතී. එසේ වුව ද එය හුවා දැක්වීමක් ද නොකෙරෙයි. සුනේත්‍රා - විජයබා කොල්ලය දෛවයෝගය විමසීමේ දී මෙය වඩාත් පැහැදිලි වෙයි. ඔහුගේ ඓතිහාසික විඥානය හා ඉතිහාස ගවේෂණය ප්‍රතිගවේෂණයට කාලය පැමිණ තිබේ.

පසුගිය දශක දෙකක පමණ කාලය තුළ දී සාහිතය්‍යයත් ඉතිහාසයත් අතර පවත්නා සම්බන්ධය නව දෘෂ්ඨිකෝණයකින් විමර්ශනය කිරීමට බටහිර සාහිත්‍යවේදීහු යුහුසුළු වූහ. නව ඉතිහාසවාදය : New Historicism යන සංකල්පයද මේ අනුව බිහිවිණි.

නව ඉතිහාසවාදය අනුව ද ඩබ්ලිව්. ඒ. සිල්වාගේ වටිනාකම වැඩිවෙමින් පවතී. එසේම පුද්ගල ප්‍රතිලාභ මත කලකට ඉහත ගොඩ නැඟුණු විචාර මත වර්තමානයේ ක්‍රමක්‍ෂය වෙනු පෙනී යයි.

නුවණ සඟරාව ඩබ්ලිව්. ඒ. සිල්වා මහතාගේ සංස්කාරකත්වයෙන් පළ වූවකි. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර මහතා 1946 වසරේ පළ කළ මොඩන් සිංහලීස් ෆික්ෂන් ග්‍රන්ථයේ ඩබ්ලිව්. ඒ. සිල්වා පිළිබඳ කළ විවේචනවලට පිළිතුරු වශයෙන් නුවණ සඟරාවේ පළ වූ ලිපි පෙළේ සාරගර්භ බව හා අර්ථාන්විත බව ගැන බොහෝ විද්වත්හු පෙන්වා දෙති.

"මෙදුටු මූසිලයා නිසා
නුදුටු දේ දුටුවෙමු ඇසා”

යන ශීර්ෂ පාඨය යටතේ මෙම ලිපි පෙළ පළවී ඇත.

සත්‍යය බලය හමුවේ කිසියම් කාලයක දී යටපත්විය හැකි ය. කාලයාගේ ඇවෑමෙන් ඉතිහසාය සත්‍ය හෙළිකර දෙයි. යටපත් වූ සාහිත්‍ය සත්‍ය අවබෝධ කර ගැනීමට ඉතිහාසයම ගැඹුරින් ප්‍රතිගවේෂණය කළ යුතු ය.

කොළඹ කොටුවේ "නුවණ” සඟරා කාර්යාලයට පැමිණී ගුණපාල සේනාධීර මහතාට එම ගොඩනැඟිල්ලේ ඉහළ මාලයේ සිට විජයබා කොල්ලයේ නයනානන්ද ආව තැන් - අසංග සෙනෙවි පරංගි සංහාරයට ගිය තැන් ඇඟිලි දිගුකර පෙන්වා දීමට සමත් ස්ථානික විඥානයක් ඩබ්ලිව්. ඒ. සිල්වා මහතා තුළ පැවති බවක් ගුණපාල සේනාධීර මහතා සඳහන් කරයි.

ඩබ්ලිව්. ඒ. සිල්වා මහතා තරුණ වියේ දී බිදුණු ප්‍රේමයක් නිසා සදාකල් තනිකඩ ජීවිතයක් ගෙවූ බවක් කියවෙයි. මෙම පෙම් පවත අපේ අම්මා නොයෙක් වර පවසනු අසා ඇත්තෙමු. ඩබ්ලිව්. ඒ. සිල්වා පෙම් කළ යුවතිය ශාන්ති මැණිකේ ඉංග්‍රීසි පාසල් ගුරුවරියකි. ඇය අපේ අම්මා ද දන්නා හඳුනන යුවතියකි. අම්මා ඇයව හැඳින්වූයේ රතු අක්කා නමිනි. රතු අක්කා රූබර ලියක් ම වූවා ය.

සිල්වමෙයර් මන්දිරයට නුඳුරෙන් මෝ තොමෝ පදිංචිව සිටියා හ. අවිශ්වාසය බිදුණු පෙමට හේතු වූ බවක් ද සඳහන් වෙයි. එතුමන්ගේ පාසල් ගුරුවරිය කෘතියට ද මෙය වින්දන මුලයක් වූවා විය හැකි ය.

සිංහල නවකතා රජා මෙන්ම සිංහල නවකතාවේ පියා වශයෙන් ද පාඨක බුහුමනට පත් ඩබ්ලිව්. ඒ. සිල්වා මහතාට විචාරයේ මුවාවෙන් පහර ගැසූ ඇතැමුන් අත්ගසා වැලපෙන සැටි දක්නට ලැබෙනවා ඇත යනුවෙන් ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන් ලංකාදීප වගතුග තීරුවකින් පෙන්වා දී ඇත. ඔහු මෙහිදී ඩබ්ලිව්. ඒ. සිල්වා සිංහල නවකතාවේ පියා හැටියට ද හුවාදක්වයි. සිංහල නවකතාවේ විවිධත්වය නැතිවීමටත් එය ඉන්දියාවේ මෙන් විශ්ව සාහිත්‍යයට ඇතුළත් නොවීමටත් පටු විචාරය හේතු විය.

මානවසිංහ මහතා ලංකාදීප වගතුග තිරයෙන් උද්ධෘත කර දක්වන පහත සඳහන් කියමන ද සිංහල නවකතාව ගැන තුන්කල් බලා කියන ලද්දකි.

"ඔහුගේ නව කතා අපේ සාහිත්‍ය යුගයේ එක් පරිච්ඡේදයකි. ඊළඟ පරිච්ඡේදය අඳුරු විය.”

(ලංකාදීප වගතුග – 1957 ජූනි 3)

ඩබ්ලිව්. ඒ. සිල්වා මහතාගේ නවකතා ශිල්ප ක්‍රම සාහිත්‍ය සන්නිවේදනය ගැන සැලකිලිමත් වීමේ දී පැරණි නොවන්නකි. එසේ වුව ද ඔහුට ගැරහු සිද්ධාන්තවේදීන් හා විචාරකයන් ඒ යුගයේ පැතිර වූ දෘෂ්ටිවාද කොතෙක් වලංගු ද යන්න මේ වනවිට ප්‍රශ්නයක්ව පවතී. නව විචාර සංකල්ප හමුවේ මේවා ප්‍රතිගවේෂණයට පාත්‍ර කළ යුතු කාලය පැමිණ තිබේ.

"කැලැහඳ” නවකතාව යලි රූපවාහිනී - ටෙලි නාට්‍යයක් ලෙස හඳුන්වාදීමේ කටයුත්තකට මා රූපවාහිනී අධ්‍යක්‍ෂ ජනරාල් වශයෙන් ක්‍රියාකළ කාලයේ දී අත ගැසුවෙමි. කැලැහඳ නවකතාවේ විකාශන අයිතිය ඩබ්ලිව්. ඒ. සිල්වා මහතාගේ සොහොයුරකුගේ පුත්‍රයාවූ කොලින් සෙනරත් නන්දදේව මහතාගෙන් - (වැල්ලවත්ත ආරච්චිගේ කොලින් සිල්වා) රූපවාහිනියට ලබා ගැනීමට මේ අනුව හැකි විය. මේ සඳහා නන්දදේව මහතා එකඟ කර ගැනීමට එදවස රූපවාහිනි නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්වරයකු වූ ඒ. සේනාධීර මහතා සහ රූපවාහිනී නිෂ්පාදකවරයකු වූ බන්දුල විතානගේ මහතා දැරූ උත්සාහය සාර්ථක විය. මේ පිළිබඳව ඔහු සමඟ නෛතික ගිවිසුමකට ද රූපවාහිනිය අත්සන් කළ අතර රුපියල් 25000 මුදල ගෙවීමක් ද ඒ අනුව කරන ලදි. කෙසේ වුව ද මෙම තත්ත්වය එළඹීමත් සමඟ ම රූපවාහිනී සංස්ථාවේ අධ්‍යක්‍ෂ ජනරාල් තනතුරෙන් ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය මා ඉවත් කළ අතර කැලැහඳ නිෂ්පාදනයට පසුව ආ පාලකයෝ ඉඩදීමක් කර නොමැත.

ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ මහතා ඩබ්ලිව්. ඒ. සිල්වා සූරීන් ගැන ලියූ වගතුග තීරුවකින් කොටසක් ඔහුට ද ගෞරව පිණිස මෙහිලා උපුටනය කොට දක්වමි.

සිංහල සාහිත්‍යයේ ගමන මහත් දුෂ්කරතා මධ්‍යයේ හිර වී තිබුණු දුර්ගය හෙළි කොට කපා මට්ටම් කර මාර්ගය පෑදූ සාහිත්‍ය සේවීන් අතුරෙන් ඩබ්ලිව්. ඒ. සිල්වා මහතා අමරණීය පුද්ගලයෙකි. ඔහු පෑන අතට ගත්තේ නවකතා කලාව සිංහල සාහිත්‍යයට ආගන්තුකයකු වශයෙන් ඇතුළු වීමට වෙර දරමින් සිටි යුගයකදී ය.

(වගතුග - 1957 ජූනි 3)

සෑම රටකම ජනප්‍රිය නවකතා ද පවතී. පාඨක ලෝකයක් බිහි කිරීමට ජනප්‍රිය නවකතා ප්‍රබල බලපෑමක් ඇති කරයි. අලුත් කලා මාධ්‍යයක් වු නවකතාව පිළිබඳව පාඨක ලෝකයක් බිහි කිරීමට ඩබ්ලිව්. ඒ. සිල්වාගෙන් සිදුවූ සේවය මහාචාර්ය විමල් දිසානායක මහතා ද වෙසෙසින් අගයයි.

කැලෑ හඳට පසුබිම් වූ ගම් බිම් පිහිටා තිබුණේ මාවනැල්ල හා අරනායකබඳ ප්‍රදේශවල ය. අරනායක සංගිලි පාලම මතකයෙක් කිසිදා මැකී නොයන්නකි. ඩබ්ලිව් ඒ. සිල්වා සොබා සොඳුරුබව සොයමින් සිරිලක ඈත පිටිසර ගම්බිම්වල මෙන් ම කඳු රට ද සැරි සැරූ බවක් දක්නට තිබේ. දියතලාවේ 'නූක් නමින්' ඔහු සතු බංගලාවක් ද විය. මෙහි විවේකීව හිඳ ඇතැම් නවකතා ලියූ බවක් ජස්ටින් පීරිස් මහතා පවසයි. විවේකයක් ලද විට වීදුරු බෝල, වෙස් මුහුණු බස්තම් නිවසේ දී ම තැනීම සිල්වා මහතාගේ තවත් විනෝදාංශයක් විය.