31 රෑ

දේ වෙනවා රෑ වෙනවා. ඊටත් පස්සේ තවත් දවසක උදේ. ඔහොම දවසින් දවස, සතියෙන් සතිය ගතවෙලා අවුරුද්දක්ම ගෙවෙනවා. පෘථිවියට ඉර වටේ යන්න දවස් තුන්සිය හැටපහක් ගතවෙන හින්දා දවස් තුන්සිය හැටපහක් ඉවර වුණාම අවුරුද්දක් ඉවරයි කියලා අපි හිතනවා. පොත්වල ලියලා තියෙන්නේ එහෙම හින්දත්, අපි පොඩිකාලේ ඉගෙන ගත්තේ එහෙම හින්දත්, “අවුරුද්දට දවස් තුන්සිය හැටපහක් නැතුව ඊට වඩා වැඩි ගාණක් හරි අඩු ගාණක් හරි තියෙන්න බැරිද?” කියලා හිතන්නේවත් නැතුව අපි ඒක පිළිගන්නවා.

“පොළොව ඉරවටේ දෙපාරක් ගියාම අවුරුද්දක් කියලා ගන්න බැරි ඇයි කියලා මට ඔය අතරේ හිතෙනවා. අනවශ්‍ය දේවල් හිතන්නේ නැතුව පොතේ තියන දේ පාඩම් කරලා විභාගෙට ලියන්න කියපු හතර වසරේ පන්ති බාර ටීචර්ව මතක් වෙලා මම ආයෙමත් හිතන්නේ නැතුව ඉන්න උත්සාහ කරනවා.

අවුරුද්දක් ඉවරවුණාම අපි එක අවුරුද්දකින් වයසට යනවා. ඊටත් වැඩියෙන් ජීවිතේ වැඩිපුර වගකීම්වලින් පිරෙනවා. ජීවිතේ බර වැඩිපුර උරහිස්වලට දැනෙන්න පටන් ගන්නවා. මොන්ටිසෝරි යනකාලෙට වැඩිය උසස් පෙළ කරන කාලේ ජීවිතේ බර වැඩියි. ඒ වගේම අලුත බැඳපු තරුණ ජෝඩුවකට වැඩිය ආච්චි අම්මලට සීයලට ජීවිතේ බර වැඩියි. ඒ එයාලට තමන්ගේ දරුවන්ට අමතරව දරුවන්ගේ දරුවොත් බලන්න තියෙන හින්දයි.

ඒත් අවුරුද්දක් ගතවෙලා තවත් අවුරුද්දක් ලැබීම අපි මහ ඉහළින් සමරනවා. දෙසැම්බර් 31 රෑ ගැන “හීන රැයක්” විදිහට හිතනවා. එදා දවස ගැන සැලසුම් කරනවා. කොළඹ කඩ සාප්පු මිනිස්සුන්ගෙන් පිරෙනවා. "31 රෑ” සාදවලට එයාලා ඇඳුම් තෝරනවා. රුපියල් හත්දහක් විතර ගවුමක් ඇදගෙන, රුපියල් හාරදාහක් විතර වෙන සපත්තු දෙකකුයි දෙදාස්පන්සීයක විතර මේකප් එකකුයි දාගෙන පාටියට යන හැටි ගැන ගෑනු ළමයි විතරක් නෙමෙයි අම්මලත් හීන මවනවා. එයාලගේ හීන වෙනුවෙන් ඒ තරුණ ගෑනූ ළමයින්ගේ මව්පියන්ගේ වගේ ම තරුණ අම්මලාගේ ස්වාමිපුරුෂයන්ගේ දාඩිය මහන්සියත් සල්ලි කොළ වෙලා කඩ හිමියන්ගේ අත්වලට පාවෙලා යනවා.

කොළඹ නගරේ ලොකු ලොකු හෝටල්වල 31 රෑ සාද පැවැත්වෙනවා. ඒවයේ ටිකට් පතක් රුපියල් අටදාහෙන් ඉහළ ගණන්වලට අලෙවි වෙනවා. "සල්ලි තියෙන ලොකු ඇත්තොන්ට හොද නම් අපිට මොකද?" කියලා ඔබ හිතනවා ඇති. "ඔව් ඒක ඇත්ත තමයි..." ඒත් මේවයේ වැඩිපුර ඉන්නේ සල්ලි තියෙන මිනිස්සු නෙමෙයි. සල්ලි තියෙන මිනිස්සුන්ගේ ළමයි. තාම අම්මලගේ තාත්තලගේ වියදමෙන් ජීවත්වෙන උදවිය. රටේ අනාගතය කියලත් කියන්න පුළුවන්. ඒත් එහෙම හිතන කොටත් එක අතකට මගේ නම් හිතට බයයි.

වැරදිලාවත් ඔය අතරින් එක්කෙනෙක් කවදහරි මුදල් බලේට හරි තත්ත්වෙ බලේට හරි “රටේ ජනාධිපති වුණොත්" කියලා මට නිකමට වගේ හිතෙනවා. එතකොට රටේ අනිත් මිනිස්සුන්ටත් එයාල විදිහට අතේ අලුත්ම පන්නේ ෆෝන් එකක් අරගෙන, කනේ වයර් දෙකක් ගහගෙන, ඒකෙන් කන දෙදරවන්න ඇහෙන සින්දු අහගෙන, "ලැම්බොගිනි” හරි “අවුඩි” හරි කාර් එකක නැඟලා යන්න වෙයි කියලා මතක්වෙලා මට යාන්තමට වගේ හිනා යනවා. "එතකොට ඔය ලැම්බොගිනිවල එහෙම බදු අඩුවෙලා අත්‍යවශ්‍ය ආහාරවල බදු වැඩිවෙයි නේද ?" කියලා මමත් නොදන්න කෙනෙක් මගේ හිත ඇතුළේ ඉදලා අහනවා. මට ආයෙමත් හතර වසරේ ටීචර් මතක් වෙනවා. “ඔන්න ඔහේ ඕන එකක්” කියලා මම හිතන්නේ නැතුව ඉන්න උත්සාහ කරනවා.

අපේ ඔපීසියේ අතුගාන තරුණ ගෑනූ කෙනෙක් ඉන්නවා. එයා බැඳලා නෑ කියලා හිතුවට, ඉස්කෝලේ යන වයසේ දරුවෝ දෙන්නකුත් ඉන්නවා කියලා මම දැනගන්නේ කොපි කොළේක කුරුමිණි අඬු අකුරෙන් ලියපු පොත් ලයිස්තු දෙකකුත් අරගෙන මම ඉන්න තැනට ආවමයි. "අසේල සර් ඉන්නවද?" එයා කනට ඇහෙන නෑහෙන ගානට අහනවා. "දැන් නම් නෑ. තවටිකකින් එයි." කියලා මම එයාට කියනවා. "සර් ආවහම මේක දෙනවද?" කියලා එයා උණ්ඩි කරපු පොත් ලයිස්තු දෙක මගේ අතට දීලා යනවා.

අසේල සර්ටත් ළමයි දෙන්නෙක් ඉන්නවා. මාසේ පඩියෙන් ජීවත්වෙන එයාටත් ජීවිතේ අමාරුකම් දැනෙනවා. එහෙම වුණත්, "අසේල සර්” පොත් ලයිස්තු දෙක අරන්දෙනවා. පොත් ලයිස්තු දෙක අතට අරගෙන කඳුළු පිරිච්ච ඇස් දෙකක් අසේල සර්ට දණගහලා වදිනවා. එච්චර වයස නැති අසේල සර්ගේ කම්මුල් රතුපාට වුණාට ඇස්වලට සතුටක් එකතුවෙනවා.

“අම්මලා තාත්තලා ළමයි වෙනුවෙන් ඕන දෙයක් කරයි..." කියලා “අසේල සර්" ඒ ගෑනුකෙනා ගියාට පස්සේ කියනවා. “අර පාටිවලට යන සමහර ළමයින්ගේ අම්මලත් එහෙම වෙන්න ඇති නේද?" කියලා මට හිතෙනවා. "බබාලට පාටිවලට සල්ලි දෙන්න ඕනේ අනේ නැත්නම් එයාල සොසයිටි එකෙන් කොන් වෙනවා..." කියලා අවුරුදු පහළොවක විතර “බබෙක්ගේ”, පොෂ් විදිහට ඇඳපු අම්මා කෙනෙක් දවසක් ඔපීසියේ දී මට කියනවා. "ඒකත් එහෙමද?" කියලා මම කිව්වේ නැති වුණාට හිතනවා.

දවසින් දවස ගතවෙලා “31 රෑ" එළඹෙනවා. ලොකු පාටියකට නොවුණත් පොඩි පාටියකට මමත් යනවා. සතුටු සිනා, කතා ලතා.. "අවුරුද්දක් ඉවරයි..." හැමෝම සතුටුවෙනවා. බමර චක්‍ර පොළොව උඩත්, නිලා කූරු ලස්සන ගෑනූ ළමයින්ගේ අත්වලත් දැල්වෙනවා. බමරචක්‍රවලට වැඩියෙන් නිලා කූරු වාසනාවන්තයි කියලා මට හිතෙනවා.

කන දකුණු පැත්තට පහත්වෙන තරමට මධුවිත පානය කරපු යාළුවෙක්, අහස් කූරු පත්තු කරනවා. අතේ තියන් පත්තු කරන අහස්කූරු සමහරක් අහසට ගිහින් පත්තුවෙන අතරෙ තවත් සමහර අහස්කූරු පොළොවට සමාන්තරව ඇදේට යනවා. අලුත් අවුරුද්දට කලින් අහස්කූරක් මගේ ළඟට එයි කියලා බයේ මම ගේ ඇතුළට දුවනවා.

ඊට පහුවෙනිදා අලුත් අවුරුද්දේ උදේ රෑ නිදිමරලා බාගෙට පියවෙච්ච ඇසුත් අරගෙන මම වැඩට යනවා. පාරේ පැත්තක දුඹුරුපාට වෙච්ච කඩමාලු ඇදගත්ත පුංචි ගෑනූ ළමයෙක් පොඩි බලුපැටියෙක්ගේ පස්සේ කකුල් දෙකෙන් අල්ලගෙන එයත් රවුමට කරකැවෙන ගමන් බලු පැටියවත් රවුමට කරකවනවා. එයාගේ ඇස්දෙක වගේම මූණත් සන්තෝසෙන් පිරිලා ඉතිරිලා ගිහින් තියෙනවා.

“අවුරුදු තියෙන්නෙ මෙයාටනේ' කියලා මට හිතෙනවා.

“31 රෑ" කොළඹ ලොකු හෝටලේක නැටුම් නටන වේදිකාවක් කඩාවැටිලා කියලා, ඔපීසියේ දී කවුදෝ මන්දා කියනවා. "සෑහෙන ගාණකට තුවාලලු..." එයා ආයෙමත් බර කරලා කියනවා.

උස් තැන්වල ඉන්න අය බිමට වැටුණට මිටිතැන්වල ඉන්න, මම දැක්ක ගෑනු ළමයා වගේ අය කවදාවත් බිමට වැටෙන්නේ නැතුව හැම අවුරුද්දෙම සතුටින් ඉන්නවා නේද කියලා මට හිතෙනවා.