ගස් ගෙම්බා

ඉකුත් සතියේ අඹ ගහ යට හැමෝම උනන්දුවුණේ නැතිවුණු ගස් ගෙම්බෙක් සෙවීමටයි. අන් කවරදාකවක් නොවුණු තරමට ගස් ගෙම්බන් ගැන බාල, මහලු, වැඩිහිටි හැමෝම කතා කරන්නට වුණා. සිදුවුණු අන්දමට සිද්ධිය මෙසේ ය.

නිල් පුංචගෙ ගෙදර තඩි ගස් ගෙම්බෙක් හිටියා. ටිකක් අසාමාන්‍ය ගතියක් තියෙන හින්දම දැල් ගහපු ටිකක් ලොකු පෙට්ටියක දාල මේ ගෙම්බව ඇතිකරන්නට නිල් පුංචා කල්පනා කළා. “කැලේ ඉන්න ගෙම්බො මොකට ගේ අස්සෙ දා ගන්නවද?” කියලා මුලදී අම්මයි තාත්තයි දෙන්නම තදින් හිටියා. ඒත් ඉතිං ‘පොඩි එකාගේ ආසාවනේ’ කියලා අන්තිමට ඒ දෙන්නත් නිහඬවුණාට පස්සේ දැල් පෙට්ටියේ ගස් ගෙම්බා පාඩුවේ ඇතිදැඩි වුණා. ඔන්න ඔය අතරේ ගොරොක් ගහ යට හිටපු ඇඹුල් පුංචෙක් කොහෙදෝ යන ගමන් ගමට ආවා.

“මට ඔය ගස් ගෙම්බා දීපන්. මං උඹට රුපියල් 100 ක් දෙන්නම්” ඇඹුල් පුංචා කීවා. ගස් ගෙම්බෙකුට රුපියල් සීයක්! මේ ගැන නිල් පුංචට හිතාගන්නවත් බෑ. තමන් වගේ මව්පියන්ගේ තුට්ටු දෙකෙන් යැපෙන, තමන්ට කියලා ඉස්කෝලෙ යද්දි කෑම කන්ඩ ගෙදරින් දෙන තුට්ටු දෙකෙන් බඩට යම්තම් කාලා කීයක් හරි ඉතුරු කරගන්නවා වගේද? එක පාරටම රුපියල් සීයක්! නිල් පුංචා දෙතුන් වතාවක් කල්පනා කළා. ඒත් ඉතිං එකත් එකටම මෙච්චර ගාණකට මූව ඉල්ලන්නේ මූ මීට වඩා වටින නිසා වෙන්ට බැරිද? නිල් පුංචට එහෙම හිතුණා. “බෑ” ඊට පස්සේ යෝජනාව ප්‍රතික්ෂේප කළා.

දවස් කීපයකට පස්සෙ ඇඹුල් පුංචා ආයෙම ආවා.

“රුපියල් සීයයි තවත් රුපියල් දෙකකුයි දෙන්නම්” ඇඹුල් පුංචා කීවා. තමන් මුලින් හිතුව කාරණය ටක්කෙටම හරි විත්තිය ඒ වෙලාවෙ නිල් පුංචා හිතුවා.

“බෑ” ආයෙම කීවා. ඇඹුල් පුංචා යන්න ගියා.

ටික දවසක් යද්දී ආයෙ ආයෙත් කට්ටිය ඇවිත් මේ ගස් ගෙම්බව ඉල්ලන්න ගත්තම වැඩිම ඉල්ලුමට දෙන බව නිල් පුංචා හිතා ගත්තා. ඒත් ඉතිං ඒ ගැන වෙනත් ගස් යට ඉන්න පුංචලා පැංචිලා දැනගන්නෙ කොහොමද? ඒ අය දන්නවයැ තමන් ළඟ මෙහෙව් ගස් ගෙම්බෙක් ඉන්න වග. අනිත් එක ඇඹුල් පුංචා ඇවිත් රුපියල් එකසිය දෙකකට ඒකව ඉල්ලුව විත්තිය. කොහොම කොහොම හරි ටික දවසක් යද්දී තමන් කරපු මෝඩ වැඩේ තරම නිල් පුංචට තේරුණා. මේ ගැන කහ පුංචගෙන් උපදෙස් ගන්න හිතුවා.

“උඹ ඔය ගස් ගෙම්බව අපේ ගෙදර ගෙනත් තියපන්. හොරෙන් හොරෙන් ඇවිත් කන්න බොන්න දීලා සාත්තු සප්පායම් කරන අතරේ පොලීසියේ පැමිණිල්ලක් දාපන්. උඹ ළඟ හිටපු ගස් ගෙම්බා උස්සලා. ඇඹුල් පුංචා සැකයි කියලා. එතකොට ඇඹුල් පුංචත් ප්‍රසිද්ධ හින්දා උඹටත් ප්‍රසිද්ධියක් ලැබෙනවා. උඹ ගාව ගස් ගෙම්බො ඉන්න විත්තිය මිනිස්සුත් දැන ගන්නවා.” කහ පුංචා උපදෙස් දුන්නා.

ඊට පස්සේ නිල් පුංචා ඒ විදිහට කළා. දුන්නු උපදෙස් ටිකට කහ පුංචට පිං දිදී ෂේප් එකේ ලොකුම ඉල්ලුමට ගස් ගෙම්බා හොරෙන්ම කාට හරි දීලා දාන්න නිල් පුංචා සැලසුම් හැදුවා.

ටික දවසක් යද්දී මොකෙක්දෝ අලුගුත්තේරුවෙක් නැතිවෙච්චි ගස් ගෙම්බා කහ පුංචලාගේ ගෙදර ඉන්න වග පොලීසියට කියලා. පොලීසිය ගිහින් ගස් ගෙම්බව පොලීසියට අරන් ගියා. ඇඹුල් පුංචත් තමන්ට සිද්දවෙච්චි අපකීර්තියෙන් ගැලවෙන්න පොලීසියට ගියා. එහෙම ගිහින් ඒ තමන් සල්ලිවලට ඉල්ලපු ගස් ගෙම්බම බව කියා සිටියා. දැන් ඉතිං පිංදුන්නු උපදෙස් ටිකම තමන්ම බිලිගන්න විත්තිය ඒ වෙද්දි නිල් පුංචට තේරිලා. ඒත් කරන්න දෙයක් නෑ. අන්තිමට පොලීසිය ඇවිත් නිල් පුංචව අත්අඩංගුවට ගත්තා.

“ගස් ගෙම්බො ළඟ තියා ගන්න එක නීති විරෝධී බව තමන් දන්නෙ නැද්ද? පොලිස් නිලධාරියා ඇහුවා.

“අනේ නෑ. මං උන්ව සංරක්ෂණය කරන්නයි හැදුවේ. අපේ ගෙදර ඒ කාමරයට කියන්නේ “ගස් ගෙඹි සංරක්ෂණ මධ්‍යස්ථානය කියලයි.” නිල් පුංචා කීවා.

“සත්තුන්ව ආරක්ෂා කරන්න රටේ වගකිව යුතු ආයතන තියෙනවා. එහෙම තමන්ට ඕන ඕන නම් දාගෙන කැලෙයි මුහුදෙයි ඉන්න සත්තු ගෙදර ගෙනත් හදන්න බෑ. ඒ නිසා තමුන් ළඟ ඉන්න ඔක්කොම සත්තු සත්ව උද්‍යානයට බාර දෙන්න වෙනවා”

පොලීසිය මෙහෙම කියලා නිල් පුංචා උසාවියට ඉදිරිපත් කෙරුවා. අන්තිමට නිල් පුංචගෙ අම්මයි තාත්තයි උසාවියට ඇවිත් ඇප දීලා නිල් පුංචා ගෙදර එක්කරගෙන ගියා.

“රුපියල් සීයට ගස් ගෙම්බව දීල දැම්මනම් ඉවරනේ? දැන් පොලිසි ගාණෙයි උසාවි ගාණෙයි රස්තියාදු වෙන්ඩම දාස් ගාණක් වියදම්. අනේ උඹෙ මොළේ”

නිල් පුංචාගෙ අම්මා හොඳටෝම දෙහි කැපුවා.

ටික දවසක් අඹ ගහ යටටවත් යන්න බැරුව ලජ්ජාවේ මුලු ගැන්විලා හිටපු නිල් පුංචා හෙමින් හෙමින් හොර පාරකින් ලොකු පුංචා හම්බවෙන්න ගියා. තමන්ට සිද්දවුණු වින්නැහිය කියලා මොකක් නමුත් සහනයක් ඉල්ලගන්න හිතාගෙනයි එහෙම ගියේ. කතාව හොඳ හැටි අහගෙන හිටපු ලොකු පුංචා එක පාරටම මෙහෙම ඇහුවා.

“දැන් කෝ ඔය ගස් ගෙම්බා?”

තමන් කීව කරුණු කාරණා හරිහැටි ලොකු පුංචට නොතේරුණු වග තේරුම් ගත්තු නිල් පුංචා ඒකට කෙටියෙන්ම උත්තර දුන්නා.

“සත්ව උද්‍යානෙට බාරදුන්නා” නිල් පුංචා කීවා.

“ආහ්?” ලොකු පුංචා ඔළුවෙ අතගහගත්තා.

තමන්ට මුහුණ දෙන්න සිද්දවුණු අකරතැබ්බය ගැන ලොකු පුංචා වුණත් කම්පාවට පත්වීම ගැන නිල් පුංචාගේ හිතට පුංචි සහනයක් ගෙනාවා. ඒත් ඉතිං දැන් කරන්න දෙයක් නෑනේ?

“මං ඒ ගැන එච්චර හිතන්නේ නෑ” අන්තිමට නිල් පුංචා කීවා.

“ඒත් මං ඒ ගැන හිතනවා?” ලොකු පුංචා දැඩි බැල්මක් හෙළුවා.

“ඇයි?” නිල් පුංචා ඇහුවා.

“එහෙම නොවුණා නම් ළඟ එන අඹ ගහ යට ඡන්දෙට ගස් ගෙම්බා ඉදිරිපත් කරන්න තිබුණා..” ලොකු පුංචා ස්ථීර හඬින් එහෙම කීවා. නිල් පුංචා බිම බලාගත්තා.