සදා නොනැසෙන තාරුණ්‍යයේ ගී ස්වරය

ඉඳහිට හෝ බස් රථයක ගමන් ගන්නට සිදුවන අවස්ථාවන්හිදී, මම අපූරු අත්දැකීම් විඳ ඇත්තෙමි. ගෙවුණු දුරුතු පුර පසළොස්වකදා, හදිසියේ මට පිටකෝට්ටේ සිට නුගේගොඩට යන්නට අවශ්‍ය වූ බැවින් මාර්ග අංක 163 දෙහිවල - විදේශ සේවා යනුවෙන් සඳහන් බස්රියකට ගොඩවීමි. කලකට පෙර මාර්ග අංක 163 දෙහිවල - බත්තරමුල්ල ලෙස සඳහන්ව තිබුණත් මෑතක සිට මා දකින්නේ දෙහිවල - විදේශ සේවා යනුවෙන් සඳහන් බස් රථයි. විදේශ සේවා නමින් ගමනාන්තයක් මට හමුවී නැත. එහෙත් මේ බස් රථය දෙහිවල සිට බත්තරමුල්ලට අද දවසේද ධාවනය වන බව දනිමි. බස් රථයකදී එහි රියදුරු හෝ ප්‍රවේශ පත්‍ර නිකුත් කරන්නාගේ රස වින්දනය අනුව තේරූ ගීත මගීන්ට අසන්නට සැලැස්වීම පිළිබඳ ප්‍රවාහන අමාත්‍යාංශය නීතියක් රීතියක් නොපනවන්නේ මන්දැයි මට මෙන්ම පාඨක ඔබට ද සිතුණු වාර බොහෝ බව දනිමි.

ඇතැම් බස් ගමන්වලදී ඒ ගීත අසා සිටීමට තරම් මගීන් කළ පෙර පවක් වීද කියා සිතෙන තරමට මේ රියදුරු - කොන්දොස්තර ගී තේරීම් ජුගුප්සාජනකයි. කඨෝරය. හිරිකිතය. මෙවැනි මොහොතක අසරණ මගීන්ට කළ හැක්කේ කුමක්ද? එහෙත් මේ ගීත විසුරුවාලීම සියලු ශ්‍රී ලංගම හෝ පුද්ගලික බස් සේවාවන්ට පොදු නොවන අවස්ථාද නැත්තේ නොවේ. දුරුතු පෝයදා මා ගොඩ වී තිබුණු පුද්ගලික බසයේ ගමන් ගත් අර්ධ අඩ හෝරාවක කාලය තුළ මා සවන් පිරවූ ගීතාවලිය පුර පසළොස්වක පෝය දින මා සිතෙහි කෝපයක් ඇති නොකළ බව කිව යුතුය.

දම්වැලක්සේ එකිනෙක ඇමිණූ ගීතාවලියේ මට හමු වූයේ එක් ගායක හඬක් පමණි. ඒ හඬ මියුරුය. මන බඳනා සුලුය. ඊට කන්දී සිටින්නට සවන මෙන්ම සිතද ඉල්ලා සිටින්නාක් වැන්න. ගීතයෙහි හිමිකරුවා රසික අප සැම අතැර ගොස් සිටියද ඔහුගේ ගීතාවලියෙහි බහුතරයක් ගී අප මතකය අත් නොහැර සිටින්නේ දශක පහකටත් වඩා අධික කාලයක් තුළ වීම ආශ්චර්යයක් නොවේද කියා සිතෙන වාර බොහෝයි. හැත්තෑව දශකයේ ආරම්භයේ සිට ඔහු ගැයූ ගීත වඩාත් සමීප වූයේ එදවස යෞවන යෞවනියන්ගේ හදවතටය. බටහිර ගායක ජිම් රීව්ස්ගේ ගායන ශෛලියට, ගීතාවලියට, ශ්‍රී ලාංකේය ගායකයාගේ ගායනයද ගීත ද සමාන යයි ඔහු ගී ගැයූ මුල් කාලයේ දී විචාරකයන් පවසා තිබිණ.

ඔහු අන් කවරෙකුත් නොව මිල්ටන් මල්ලවආරච්චි නම් වූ සිංහල ගීත ක්‍ෂේත්‍රයෙහි සුපිෂ්පිතව අතිශය මිහිරි ගී රස මතක අප හදවත්හි රඳවා අකල්හි පරවී ගිය ගායන කුසුමයි. ඔහුගේ ගී රස විඳින්නට ඔහු වටා එක් රොක් වූ සුවහසක් යෞවන යෞවනියන් මෙන් ම ගැඹුරු නොවූ සරල, එහෙත් ගීත රසයෙන් අනූන වූ ගී රස විඳුමට රුචි වැඩිහිටියන් ද එදා මෙන්ම අදද මිල්ටන් මල්ලවාරච්චි ශ්‍රාවක සමූහයෙහි සිටින බව ඉඳුරාම දනිමි. තරු පහේ හෝටලයක සාදයකදී, විවාහ මඟුල් උත්සවයක දී නොවරදවාම ගැයෙන ගී කිහිපයක් වේ නම් ඒ මිල්ටන් මල්ලවාරච්චිගේම ගීත පමණක් බව අත්දැකීමෙන්ම දනිමි. එහෙත් ඒ එකදු ගායනාවක් හෝ මිල්ටන්ටම අනන්‍ය වූ ඔහුගේ මුල් කටහඬට ළංවන්නට අසමත් හඬ පමණි.

පහළොස්වන බදාදා, දුරුතු පුර පසළොස්වක දා බස්රියේ දී අසන්නට ලැබුණු මිල්ටන් මල්ලවාරච්චි අසම්පූර්ණ ගීතාවලියේ ගීත කිහිපයක් සමඟ පෙරදා මතකයට මසිත රැගෙන ගිය, ගීතයක් හෝ දෙකක් පිළිබඳ මගේ රස විඳුම ඔබ හා බෙදා හදා ගන්නට කැමැත්තෙමි. ඉන් ගීත දෙකක් සරල ගීත වන අතර අනෙක් ගීත ද්වය මිල්ටන් චිත්‍රපට සඳහා ගැයූ ගී අතරින් මා වඩාත් සිත් ගත් ගීත වේ. සරසවි ප්‍රේමය මුල්කොට ගෙන ලියූ ගීත වේ නම්, ඒ සියල්ල පේරාදෙණිය සරසවි ප්‍රේමය ආශ්‍රිතවම ලියූ ගී පමණක් බවයි මගේ හැඟීම. එකල විද්‍යෝදය (ජපුර) විද්‍යාලංකාරය (කැලණිය) හෝ කොළඹ විශ්වවිද්‍යාලය ආශ්‍රිත පෙම් බැඳුම් පිළිබඳ ගීත රචනා කිරීමට ගේය පද රචකයන් නොපෙලඹුණේ, පේරාදෙණියටම සුවිශේෂී වූ හන්තාන කන්දක්, මහවැලි ගං ඉවුරක් අනෙක් සරසවි ආශ්‍රිතව නොවූ නිසාදැයි මම කල්පනා කරමි. කැලණියට කැලණි ගඟ වුවද ඒ ගං ඉවුර සරසවි පෙම්වතුන්ගේ ප්‍රේම භූමියක් විණැයි මා අසා නැත.

එහෙත් ආචාර්ය අජන්තා රණසිංහගේ සියුම් පරිකල්පනයට, කොළඹ විශ්ව විද්‍යාලයේ ප්‍රේමය හසුවේ. කුමාරතුංග මුණිදාස මාවත, එදා තර්ස්ටන් පාර රීඩ් මාවත දිගේ අත් පටලා ගෙන පෙම් බස් දොඩමින් ඇවිදගෙන යන පෙම්වතුන් නොවේ අජන්තාගේ කවි සිතට පිවිසෙන්නේ. තර්ස්ටන් පාර දෙපස අතු ඉති විහිදා සෙවණ බෙදන මැයි ගස් පෙළ ඔහුගේ ගී නිමිත්ත වේ. රතු පාටින් මල් පිපී රතු පළසක් සේ පෙනෙන මැයි ගසක්. ඒ ගස යට වැස්සට තෙමුණු සරසවි පෙම්වතුන් යුවළක්.

එක් දිනෙක පෙම්වතිය නොමැතිව මැයි ගස් සෙවණේ සිට මතක ලොවට පිවිසෙන පෙම්වතෙක්. ඉතා සරල සිදුවීමක් සේ මතු පිටින් පෙනුණ ද අජන්තාගේ ගී සංකල්පනාව මිල්ටන්ගේ ශෝකී ස්වරයෙන්, එදා අප හදවතට ළං කළ අයුරින්ම අද ද අප හදවතට ළං වී සිටියි. මේ ගීතය අසන කල මා සිතට පිවිසුණේ කොළඹ සරසවි පෙම්වතෙකු හා පෙම්වතියකගේ රූපාවලිය වුවද එය ඊට කිසිසේත් සම්බන්ධ සිදුවීමක් නොවන්නට ද ඉඩ ඇත. චරිත හෝ ස්ථාන කුමක් වූවත්, ගීයෙන් කියවෙන අවසාන අර්ථය ප්‍රේමයේ වියෝව විඳගැනීමට ඒ කිසිත් අදාළ නොවේ. මෙල්රෝයි ධර්මරත්නගේ අපූරු ගී තනුව, සංගීත සංයෝජනය ගීයෙහි අත්දැකීම සජීවි කොට අප සිතට ළං කරවයි. පෙරදා දෙදෙනෙකුව සිට මැයි ගස් හෙවණේ වැස්සට තෙමුණු දෙදෙනාගෙන් එක් අයෙකු අද එහි නොවේ.

“වැහිපොද වැටුණත් ඉස්සර වාගේ
මැයි මල් පිපුණත් රතට රතේ
අප දෙදෙනෙක් නැත අද මා පමණයි
මැයි ගස් සෙවණේ අඳුරු පෙතේ....”

රතට රතේ මැයි මල් පිපේ. ඉස්සර දවසක මෙන්ම වැහි පොදද වැටේ. එහෙත් පෙරදවසක මේ මැයි ගහ යටම වැස්සට තෙමුණු ඔහුගේ පෙම්වතිය අද එහි නොමැත. අද නැති බව මැයි මල් දන්නේ කෙසේද? වැහි පොද දන්නේ කෙලෙසද? එහෙත් මැයි ගස් සෙවණේ අඳුරු පෙතෙහි ඔහු පමණක් තනි වී අතීත ස්මරණයක අතරමං වේ. ආදරයේ වියෝවක් පිළිබඳ කීමට ගැඹුරු බුද්ධිමත් කල්පනාව, අවශ්‍ය නොවන බව නොවේද අජන්තාගේ මේ ගී සංකල්පනාව අපට පවසන්නේ?

දැවැන්ත, මිල්ටන්ගේ ගී අතර හමුවන අපූරු පෙම් ගීයකි. එහිදීද ප්‍රේමයේ වියොව, අපේක්ෂා භංගත්වය අපූරුවට නිරූපණය කිරීමට මිල්ටන්, ප්‍රේමකීර්ති හා ක්ලැරන්ස් යන ත්‍රිපුද්ගල සංයෝගයට හැකි වී ඇති බවයි මගේ හැඟීම. එදා රෑ ගුවන් තොටුපොළේ දී ඔහු වෙන්වී ගියේ සිතකින් නොවේ යයි ඔවුහු අපට පවසති. මේ ගී සංකල්පනාවද සරලය. එහෙත් ප්‍රේමකීර්තිගේ වදන් භාවිතයේ හාස්කම නිසා ගුවන්තොටුපොළින් එතෙරට යන පෙම්වතෙකුගේ බිඳුණු සිත අපට පෙනේ. චිත්ත රූපාවලියට අපද එක්වේ. නෑ සියන් මිතුරන් සැම ඔහුගෙන් සමුගන්නට පැමිණ ඇත. නොආවේ කවුරුන්ද?

‘නෑ සිය මිතුරන් පැමිණීලා
ආසිරි සුබ පැතුම් පැතුවා
ඔබ නාවෙ ඇයි මිහිරියේ ....

නෑසියන් මිතුරන් සියලු දෙනා පැමිණියද ඈ නොපැමිණියේ මන්දැයි ඔහුගේ සිත ප්‍රශ්න කරයි. මේ වනතුරු රහසක් තිබූ පුවතක් ඇයට පවසන්නට ඔහු බලාසිටි බව කියැවේ. එහෙත් ඈ නොදුටු ඔහුගේ සිත සොවින් පිරෙයි. අජන්තා විසින් ලියන ලද ප්‍රේමයේ විප්‍රයෝගය, අන් අයුරකින් ප්‍රේමකීර්ති විසින් ගෙත්තම් කොට ඇති විලාසයද අපූරුය. තනි වූ පෙම්වතුන් දෙදෙනෙක්. එකිනෙකට වෙනස් අවස්ථා දෙකක්. පරිසර වෙනසක්. එහෙත් අවසානයේ ශ්‍රාවක, පාඨක අප සිතට එක්කරන, අප යටි සිතෙහි ඉතිරි වී වරින්වර උඩු සිතට පිවිස රිදවන වේදනාවෙහි ශෝකයෙහි වෙනසක් නොවේ. ආදරයේ කෙළවර ශෝකයම බව නොවේද අපට පසක් වන්නේ?

මිල්ටන් මල්ලවාරච්චි නම් වූ තාරුණ්‍යයේ හඬින් ගැයුණු චිත්‍රපට ගීත රැසක් අතරින්, ගීත දෙකක් පමණක් රස විඳුමට ලක් කරන්නේ, අතිශය දුෂ්කර තෝරා ගැනීමකින් පසුවයි. සී.ටී. පෙරේරාගේ ගංගා,චිත්‍රපටයේත්, විජය ධර්ම ශ්‍රීගේ ආරාධන චිත්‍රපටයේත් පසුබිම් ගායනයට එක්වන මිල්ටන්, සීත අරණේ සුපුල් නාමල ගයන්නේ, අද අප අතර නොමැති විශිෂ්ට ගායිකාවක වූ මාලිනී බුලත්සිංහල සමඟය. ගීත ද්වයටම පසුබිම් වන රූපාවලියෙහි ප්‍රධාන භූමිකා මාලිනී ෆොන්සේකා හා රවීන්ද්‍ර රන්දෙණියගේ රංගනයෙන් වර්ණවත්ව තිබේ. කුලරත්න ආරියවංශගේ චිත්‍රපට ගීත අතර, මතු නොව, සිංහල චිත්‍රපට ගීත අතර ද සම්භෝග ප්‍රේමයේ චමත්කාරය මතු කෙරෙන විශිෂ්ටතම පෙම් යුග ගීයක් බවට පත්ව ඇත. කුලරත්න ආරියවංශගේ ගී සංකල්පනාවෙහි ඖචිත්‍යය, ගීතවත්, අර්ථවත් වදන් භාවිතය, මාලිනී මිල්ටන් යුගායනය හා ආචාර්ය රෝහණ වීරසිංහ සංගීත වේදියාගේ මියුරු තනුව හා සංගීත නිර්මාණය මේ රමණීය ගීතය සරසන මාහැඟි අබරණ වැන්න. වල්මත් වී ඒ මේ අත පාවුණු තරුණ සිතක් නිවහනකට සපැමිණි වග කතරක තනිවූ වැනි සිතක් තනි මග නිමවා, ඉමකට, තීර්ථයකට පැමිණීම ගීත රචකයාගේ කාව්‍යාත්මක යෙදුමින් සැරසෙන්නේ මෙලෙසය.

“වළාවක් සේ අයාලේ ගිය
සිතට නිවහන ඔබ ළඟයි
මහා කතරෙක ගෙවූ තනි මග
නිමා කළ ඉම ඔබ නෙතයි.....”

වලාවක් සේ අයාලේ ගිය කාව්‍යොක්තිය නංවන ප්‍රබල අරුත් සමුදාය කෙතරම් අගී ද?

සිනහව අතරින් කඳුලක් උපන්නා ගීතය කලාත්මක සිනමානුරූපී චිත්‍රපට ගීයක් සේ සැලකීමට නොහැකි වූවත්, චිත්‍රපට ජවනිකාව හා ඒකාත්මිකව රූපරාමුව සමඟ රස විඳින කල්හි ගීයෙන් මතු කෙරෙන අර්ථය, මිහිර මේ යැයි කියා නිම කරන්නට නොහැකි බවයි මට හැඟෙන්නේ. ඈ හමුවන්නේ කඳුකර පෙදෙසක දී හිම කැට වැටෙනා තරම් සීතල උදෑසනකය. ඇගේ ආදරයේ පවිත්‍ර බව ගීත රචකයා පවසන අපූරුව බලන්න.

“හිමකැට වැටෙනා සීතල උදයක
ඇය හමු වූවා කඳුකර පෙදෙසක
හිම මෙන් පිරිසිදු ඔබේ ආදරයේ
සතුට ලැබෙන්නේ කෙලෙසද සොඳුරේ
කඳුලැලි දුන් ඔය නිල්මිණි දෑසට
පමණයි කෙල්ලේ ආලය කෙරුවේ...”

මේ රචනය බොළඳ සුලබ යෙදුම්වලින් යුක්ත වූවත් සී.ටී.පෙරේරා රචකයාගේ ඇතැම් යෙදුමක් මා සිත් ගනී. ‘හිම මෙන් පිරිසිදු ඔබෙ ආදරයේ හා කඳුලැලි දුන් ඔය නිල්මිණි දෑසේ නිදසුන්ය. ආදරයේ පවිත්‍ර බව කීමට ඔහු යොදා ගත් උපමාව ව්‍යංගාර්ථ සහිතය. කලාත්මකය. නිල්මිණි දෑස වැනි යෙදුමක් වර්තමාන ගීත රචකයන්ගේ හිත හිරි වට්ටන ඔය ලොකු ඇස් දෙක වැනි ග්‍රාම්‍ය උපමාවකට වඩා අරුත්බරය. හෙක්ටර් සොයිසාගේ සංගීත නිර්මාණයත් ගීයෙහි ගායනය, ගේය පද රචනය, මාලිනී හා රවීන්ද්‍රගේ රඟපෑම් සමඟ මනාව සුසංයෝග වේ. මිල්ටන් මල්ලවාරච්චි තවමත් තාරුණ්‍යයේ කටහඬ සතු ගායකයාණන්ය. දශක පහක් තරම් කාලයක් තුළ ඔහුගේ හඬ අප හදවත්හි දෝංකාර නගන්නේ එබැවිනි.