ලාල් මහත්තයාගේ යෞවන සාහිත්‍යය

යෞවන සාහිත්‍යයත් එක්ක ප්‍රබලව බැඳුණු ලේඛකයකු වේ නම් ඒ ලාල් මහත්තයා (ලාල් ප්‍රේමනාත් ද මැල්) යයි මා සිතනවා. ඔහුගේ යුගයට පෙර ‘මඩොල්දූව‘ (මාර්ටින් වික්‍රමසිංහ) ‘රණරාල’ (ජී.බී. සේනානායක) වැනි යොවුන් නවකතා ලියැවී තිබුණාට යෞවන සාහිත්‍යය කියන එක සංකල්පයක් ලෙස මතුවන්න පටන්ගත්තේ ලාල්ගේ ‘අපූරු යාළුවෝ’ නවකතාවට 1974 දී රාජ්‍ය සාහිත්‍ය සම්මාන හිමිවීමෙන් පසුව යැයි කියන්න පුළුවන්.

මට ලාල් මහත්තයා හඳුනාගන්ට ලැබුණේ මගේ මාධ්‍ය ජීවිතයේ මුල් යුගයේ. ඔහු එකල එම්. ඩී. ගුණසේන සහ සමාගමේ ප්‍රකාශන කළමනාකරු වශයෙන් සේවය කළා. සතියකට වතාවක් හෝ දෙවතාවක් ඔහු හමුවන්ට යෑම එකල මාගේ සිරිතක්. මම මහානාම දිසානායක වගේ මහා පත්‍රකලාවේදීන් හඳුනාගත්තේ ලාල් ගේ කාමරයේදී. එවක මා රැකියා නොමැති තරුණයෙක්. මට ‘දවස’ පුවත්පත් ආයතනයේ රැකියාවක් ලබාදීමට ඔහු ගත් උත්සාහයත් මට මෙතැනදී අමතක කරන්න බැහැ. එය ව්‍යාර්ථ වීම වෙනමම කරුණක්.

මාධ්‍යවේදියෙක් විදියට මම අවස්ථා කීපයකදීම ලාල් මහතා හා සම්මුඛ සාකච්ඡා කර තිබෙනවා. ඒ බොහෝ වේලාවල අපි කතා කළේ යෞවන සාහිත්‍ය නමැති මාතෘකාව. අවුරුදු 12 ත් 17 ත් අතර වන වයස් කාණ්ඩයේ අයයි යෞවනයන් විදියට ලාල් සැලකුවේ.

යෞවන සාහිත්‍යයේ පරමාර්ථය විය යුත්තේ මොකක්ද එය මම වරක් ඔහුගෙන් විමසා සිටි ප්‍රශ්නයක්. ඔහු ඊට පිළිතුරු දුන්නේ මේ විදියට.

“යෞවනයාගේ සිතේ ජීවිතය හා සමාජය පිළිබඳ අර්ථවත් ආකල්ප ඇතිකර ඔහු ආධ්‍යාත්මිකව නඟාසිටුවීමයි, අභිමතාර්ථය විය යුත්තේ. ලෝකයට හොඳ මිනිසුන් බිහිකරන්න පුළුවන් සාර්ථක මාධ්‍යයක් තමයි සාහිත්‍යය. “යෞවනයා රටට, සමාජයට වැඩදායක පුද්ගලයකු කරගන්න පුළුවන්. යෞවනයාගේ සිතේ අවංකභාවය, දේශභක්තිය, ආත්ම විශ්වාසය, ගුණ ගරුකභාවය වැනි හැඟීම් ඇතිකිරීම ඉතා අවශ්‍යයි.”

‘අපූරු යාළුවෝ’, ‘හොඳ මිනිහෙක් වෙයන් පුතේ’, ‘උදාර’ ලාල් ලියූ සාර්ථක යොවුන් නනවකතා. ඔහු ලිව්වේ ස්වතන්ත්‍ර යොවුන් නවකතා විතරක් නෙමෙයි ඔහු විශ්ව ප්‍රකට යෞවන නවකතා කීපයක්ම සිංහලයට පරිවර්තනය කළා. එසේම ‘කැප්පෙටිපොළ’, ‘මද්දුම බණ්ඩාර’, ‘සෝමාදේවි’ වැනි ඓතිහාසික චරිත කතා ලීවේද ප්‍රධාන වශයෙන්ම යෞවනයන් ඉලක්ක කරගෙන.

ලාල් මහත්තයා යොවුන් නවකතා විතරක් නෙවෙයි තවත් පොත් ගණනාවක කර්තෘවරයෙක්. ඒ අතර විවිධ විෂය ක්ෂේත්‍රයන්ට අයත් පොත් තියෙනවා. ඔහු නවකතා, සාහිත්‍ය විචාර, ජීවන චරිත පමණක් නොව කථික විද්‍යාව, චිත්ත ධර්ම විද්‍යාව ගැනත් පොත් ලියා ඇති වග අප මෙහිදී අමතක කරන්න නරකයි.

ලංකාවේ ප්‍රථම පොත් ප්‍රදර්ශනය පැවැත්වීමේ ගෞරවයද හිමිවිය යුත්තේ ලාල් මහත්තයාට යැයි මා සිතනවා. ඒ 1956 දී මොරටුව බෞද්ධ මන්දිරයේ පැවැති පොත් ප්‍රදර්ශනය. ඊට පසුව 1971 දී ගාල්ලේ පැවති පොත් ප්‍රදර්ශනයකදී පොත් 45 දාහක් විකිණීම එකල වාර්තාවක්. එදා එය පැවති ගාලු නගර ශාලාව කොපමණ ජනකායකින් පිරී ඉතිරී තිබිණි ද කිවහොත් එහි සංවිධායක වූ ලාල් මහත්තය පවා ශාලාවට ඇතුළු වී ඇත්තේ මහත් අසීරුවෙන්. මෙම ප්‍රදර්ශනයේදී කතා කළ මහාචාර්ය එම්. බී. ආරියපාල කියා ඇත්තේ මෙබඳු සාහිත්‍ය කලා ප්‍රබෝධයක් තමා කිසි දිනෙක අත්දැක නොතිබුණු බවයි.

ලාල් මහත්තයාට පොත් කර්මාන්තය ගැන තිබුණේ විශේෂඥ දැනුමක්. එය ඔහුට ලැබී තිබුණේ ගුණසේන සහ සමාගමේ සේවය කිරීමෙන් ලත් දීර්ඝ කාලීන අත්දැකීම් ආශ්‍රයෙන්.

ලාල් මහත්තයා සමීපව ඇසුරු කිරීමෙන් ලත් අත්දැකීමෙන් ඔහු සතුව තිබූ එක් උදාර ලක්ෂණයක් ගැන මට යමක් කියන්න පුළුවන්. ඒ පළමුව අනුන්ට -දෙවනුව තමන්ට යන්න. හැම අවුරුද්දකම පළමු පාසල් වාරයේ ලාල් මහත්තයාගේ දරුවන් ඉස්කෝලේ යන්නේ නහයෙන් අඩමින්. ඒ ඔවුන්ට අලුත් පොත් නොමැති වීම නිසා. ගුණසේන සමාගම තම සේවකයන්ට නොමිලේ පාසල් පොත් දෙන ක්‍රමයක් පවත්වාගෙන ගියා. ලාල් මහත්තයා සියලු සේවකයන්ට පොත් බෙදා දීමෙන් අනතුරුවයි තමාට හිමි පොත් පාර්සලය ලබාගන්නේ. ඒ නිසා එම පොත් ලැබෙන්නේ මඳක් ප්‍රමාදව. එහෙත් ලාල් මහත්තය ඒ ප්‍රතිපත්තිය කිසිදා වෙනස් කළේ නැහැ. 1990 වසරේදී ලාල් මහත්තයගේ ලේඛන කලා ජීවිතයට 40 වසර සපිරෙද්දි ඔහු ගැන සුවිශේෂ ලිපියක් ලිවීමේ අවස්ථාව මට උදාවුණා. ඒ අවුරුද්දේ ඔහු ලියූ පොත් 6ක්ද නිකුත් වූබව මට මතකයි.

ලාල් මහත්තයා කවදත් කෙළින් සහ ඇත්ත කතා කළ අභීත පුද්ගලයෙක්. හික්කඩුව මහජන පුස්තකාලයට දසවසරක් පිරීම නිමිත්තෙන් පැවති උත්සවයේදී කතා කරමින් ඔහු මෙවැන්නක් කියා සිටියා.

“ජ්‍යෙෂ්ඨ පන්තිය දක්වා වත් ඉගෙන නොගත් මන්ත්‍රීවරුන්ට, සම්මාන 8ක් ගෙන ජ්‍යෙෂ්ඨ විභාගය සමත්වුවන් පැමිණ බුලත් හුරුලු දී වැඳ රස්සාව ලබාදෙන මෙන් ඉල්ලා සිටින මට්ටමට අද අපේ රට පත්ව තිබෙනවා.”

ලාල් මහත්තයා තම මවුපියන් දෙදෙන හැරුණුකොට ඊළඟට අසීමිතව ආදරය කළේ සිංහල භාෂාවට. ඇත්තටම ඔහු දැඩි භාෂා ප්‍රේමියෙක් යැයි කියන්න පුළුවන්. තම පුතුන්ට හොඳ ඉංග්‍රීසි අධ්‍යාපනයක් ලබාදීම සඳහා ක්‍රමෝපායක් වශයෙන් සිය නිවෙසේ ඉංග්‍රීසියෙන් කතා කිරීම ආරම්භ කළ යුතු බවට යෝජනාවක් මතුවූ අවස්ථාවක ලාල් ඊට තරයේ විරුද්ධ වුණා.

”නෑ ඕන් නෑ. අපි ලන්සි නෙමෙයිනේ”

ලාල් මහත්තයා තරම් නැගී එන ලේඛකයන්ට උදව් උපකාර කළ සත්පුරුෂයකු මා තවත් දැක නැති තරම්. මෙහිදී එක්තරා සිද්ධියක් මා සිහියට නැගෙනවා. වරක් තරුණ ආධුනික ලේඛකයෙක් ජීවනෝපායක් නොමැතිව බත් පාර්සල් විකුණන්න සූදානම් වුණා. එය දැනගත් ලාල් කළේ ඔහුට රැකියාවක් සොයා දීමයි. එදා ඒ ආධුනිකයා අද ප්‍රවීණ ලේඛකයෙක් විතරක් නෙමෙයි රජයේ ඉහළ නතුරක් ද දරන්නෙක්.

මීට අවුරුදු 23කට පෙර ලාල් මහත්තය පෞද්ගලිකව මටද සුවිශේෂ උදව්වක් කර තිබෙනවා. ඒ මගේ පළමු පුතා මෙලොව එළිය දුටු අවස්ථාවේ මා පියකු වූ බව ලාල් මහත්තයාට කියන්න ගිය අවස්ථාවේ ඔහු මගෙන් මෙසේ විමසුවා.

දැන් තමුසේ කොහොමද ළමයාව ගෙදර එක්කගෙන යන්නේ?

ඒ ප්‍රශ්නයෙන් මා නිරුත්තර වුණා.

බස් එකේ එක්කගෙන යනවා ලාල් මහත්තයා.

ලාල් එකපාරටම මගේ ඇඟට කඩා පැන්නා.

“අලුත ඉපදුණු ළමයෙක් කොහොමද අයිසේ බස් එකේ අරගෙන යන්නේ. ඉන්නවා මම මගේ කාර්එක එවන්නම්, නෝනත් එක්ක. තමුසේ කාසල් එක ළඟට යනවා.

එසේ කියූ ලාල් මහත්තයා ඒ කියු පරිදිම වාහනය එවා තිබුණා. ලාල් මහත්තයාගේ නෝනා (කුසුමා ද මැල් මහත්මිය) තමයි මගේ පුතාව ගෙදරට එක්කගෙන ආවේ. ලාල් මහත්තයා ඒ තරම් අනුත්තර මිනිසෙක්.

ලාල්ගේ ගතිගුණ අඩුවැඩි වශයෙන් ඔහුගේ පුතකු වන සුන්දරටද පිහිටා තිබෙන බව කිවයුත්තේ අනවශ්‍ය වර්ණනාවකින් තොරව.