දැසින් දැකිය යුතු එ’අසිරි

මනම්පිටිය, සෙවණපිටිය හා වැලිකන්ද පසුකර යන විට පාර පීත්ත පටියක් සේ ඈතින් ඈතට දිස්වෙයි. බොහෝ දුරට ඇදුණු වේදනාකාරී යුද්ධයක නිමාවෙන් පසු වැඩ නිම වූ පොළොන්නරු මඩකලපු මහා මාර්ගය තවමත් නැවුම් ය. වාහන එතරම් ම බහුල නැති තැනිතලා පෙදෙසක ඉද්ද ගැසුවා සේ ඇදෙන අලූත් මාර්ගයක රිය පැදවීමේ සතුට භුක්ති විඳිමින් දෝ රියදුරෝ වේගයෙන් වාහන පදවා ගෙන යති. වැලිකන්දෙන් එපිටට පාර දෙපස ජනගහනය දක්නට ලැබෙන්නේ ද අඩුවෙනි. අලූතෙන් තැනුණු ප්‍රධාන පාරක් මාකට් කරමින් වෙළෙඳහල් ඉඳිකරන ව්‍යාපාරික ප්‍රජාවගේ අවධානය තවමත් මේ පෙදෙසට යොමුව නැති සේ ය.

පොළොන්නරුවෙන් දිවෙන මාර්ගය ත්‍රිකුණාමල මඩකලපු මාර්ගයට යාවෙන තැන දැක්වෙන දැන්වීම් පුවරුවෙන් දක්වා ඇත්තේ එක් පසෙකින් නිලාවෙලියට ඇති දුරත් අනෙක් පසින් පාසිකුඩාවට ඇති දුරත් ය. විදේශීය මෙන් ම දේශීය සංචාරකයන්ගේ ද වැඩි ඉල්ලූමක් ඇත්තේ මුහුදේ ජලකෙළියට හෙයින් මෙවන් දැන්වීමක් සවි කළා විය හැකි ය. වාලච්චේන නගරයට අපේ අවධානය යොමු වන්නේ අතීතයේ සමාජ අධ්‍යයනයට කර්මාන්ත ලකුණු කරන විට කඩදාසි කර්මාන්ත ශාලාව ලකුණු කළ නිසා ම පමණක් නොවේ. ඒ පළාතේ පිරිසුදු ජලය ඇත්තේ වාලච්චේන ප්‍රදේශයේ යයි අසා ඇති බැවිනි.

දිනය ගෙවුණු දෙසැම්බර් 26 වනදා ය. ඒ සුනාමියේ වේදනාබර මතක සටහන් අලූත් කෙරෙන දිනයයි. ඒ අඳුරු මතකය අමතක වූවා සේ විනෝදකාමීහු මුහුදු දිය මත කෙළි දෙලෙන් පසුවෙති. වැල්ලේ මඳක් එපිටට වන්නට මාංසාහාර සමඟ බත් පිසගත් මුස්ලිම් නඩයක සාමූහිකව බත වළඳති. මඳක් එපිටින් ඉඳිව ඇති සුවිසල් හෝටල අසල දෙමළ ජාතිකයෙකුගේ කුඩා වෙළෙඳසලට මා ගියේ තේ කෝප්පයක් පානය කරන්නට ය. කතෝලික ආගම අදහන දෙමළ ජාතිකයාගේ මුහුණ නත්තලට පසුදින වුවත් ප්‍රීතිමත් නොවේ. හරියට ම කියවන්නට අසීරු කළු වලා මුහුණේ සටහන් වූ සේ ය.

‘‘සුනාමියෙන් මේ පළාතටත් අලාභ වුණා ද?’’ මා ඇසුවේ පිළිසඳරට පිවිසුමක් සේ ය.

‘‘මගෙත් දරුවො දෙන්නෙක් අරන් ගියා මහත්තයො. පුතාට විසිඑකයි. දුවට දාහතයි. හොරු අරන් ගියා වගේ. එදා උදේ පල්ලි ගියා නම් මේ විපත වෙන්නෙ නෑ. මොනව කරන්නද? ඉන්පස්සෙ නත්තලට පල්ලි යනවා විතරයි. කැවිලිවත් හදන්නෙ නෑ.’’

අසරණයාගේ නෙතඟින් ගිලිහුණු කඳුළු බිඳක් අත්ල මතට වැටිණි. ඔහුට සැනසිලි බස් දොඩන්නට මගේ දුප්පත් වදන් ප්‍රමාණවත් නැත. මම ඔහුගෙන් සමුගතිමි. මඩකලපුවට වාලච්චේනයි සිට කිලෝමීටර තිහක තරම් දුරක් ඇත. මඩකලපුව දෙමළ බසින් හැඳින්වෙන්නේ ‘පුලියන්තිව්’ නමිනි. එහි සිංහලාර්ථය ‘සියඹලාදීපය’ යන්නයි. සියඹලා ඇටයක හැඩය ගත් බිම් පෙදෙසක් බැවින් එම නම ලැබුණු බැව් කියැවේ. එහෙත් ‘පුලියන්’ නම් වැදි නායකයකු ජීවත් වූ පෙදෙසක් බැවින් මෙම නම ලැබුණු බව ‘මුදලි කනගරත්නම්’ සිය මඩකලපු විස්තරයේ සඳහන් කර ඇත. මඩ බහුල කළපුවක් බැවින් ‘මැටිකලපුව’ වී පසුව එය සිංහල බසට ‘මඩකලපුව’ වූ බව කියැවේ.

ලක්දිව අල්ලාගත් ඉංග්‍රීසීහු මඩකලපුව ‘බැටිකලෝ’ (Batticaloa) නමින් හැඳින්වූහ. වාලච්චේන සිට මඩකලපුව දක්වා යන ගමන ස්වාභාවික සුන්දරත්වය විඳින්නට කැමති සිතැත්තන්ගේ මන පිනවන ගමනකි. එරාවුර් නගරය පසුකොට වාහනයකින් ගමන් කරන විට වම්පසින් කළපුව දක්නට ලැබේ. මඩකලපුවේ දී හමුවූ දෙමළ ජාතික ගුරුවරයකු කියූ ආකාරයට මේ සුන්දර කළපුව දක්නට ලැබෙන්නේ ‘පාලමින්මඩු’ පෙදෙසේ සිට ය. මඩකලපුව නගරය පසුකොට පොතුවිල් දෙසට යන්නකුට ද විටින් විට බොහෝ දුරක් යන තෙක් කළපුව දක්නට ලැබේ.

කඩොලාන පද්ධතියකින් සජ්ජිතව රටේ නැගෙනහිර පෙදෙසේ මුහුදුතීරය සරසන කළපුව මඩකලපුව හා ඒ ආශ්‍රිත පෙදෙස් ඊට ම ආවේණික සුන්දරත්වයකින් සරසයි.

මඩකලපු නගරයේ දෙතෙර යා කරන ‘කල්ලඩි පාලම’ ඉංග්‍රීසි ජාතිකයන් විසින් 1930 දී ඉඳි කරන ලද්දකි. ඊට දුර අතීතයේ දී ඔරු පාරු යොදා ගෙන ප්‍රවාහනය සිදු කළේලූ. අද එතැන ඉඳි වූ නව පාලමකි. කල්ලඩි පාලම පාමුල ‘සිංදු කියන මාළුවන්’ කාලයක් සංචාරකයන් අතර බොහෝ සෙයින් ප්‍රසිද්ධ විය.

ඒ හඬ අසන්නට පාලම අසල රාත්‍රිය ගෙවූවන් ගැන කතා අප අසා තිබේ. එහෙත් දැන් සිංදු කියන මාළුවන් කල්ලඩි පාලම ළඟ නැති බව මඩකලපුවේ දී හමුවූ දෙමළ ජාතික අපේ මිතුරු ගුරුවරයා කීවේ ය.

ජනවාර්ගික යුද්ධයේ කුරිරු බව කියන්නට රත්න ශ්‍රි විජේසිංහයන්ගේ වචන විශාරද ගුණදාස කපුගේ ගායනා කළේ මෙසේ ය.

‘කල්ලඩි පාලම පාමුල
සිංදු කිව්ව මාළුවෝ
ඇයි ගොළු ගැහුණේ
සිතාරයට වෙඩි වැදුණද යාළුවෝ’

සංචාරකයෝ බොහෝ විට ප්‍රදීපාගාරය නරඹන්නට ද යති. මෙම ප්‍රදීපාගාරය 1930 දී පමණ ඉංග්‍රීසි පාලකයන් විසින් ඉඳිකරන ලද්දකි. අදටත් පරිපාලන කටයුතු පවත්වා ගෙන යන්නට උපයෝගී කර ගන්නා බලකොටුව ක්‍රි.ව. 1707 දී ලන්දේසි ආණ්ඩුකාර හෙන්ද්‍රික් බැක්කර් විසින් ගොඩනඟනු ලැබූවකි. බැස්ට්‍රියන් සිරකුටි වෙඩිබෙහෙත් ගබඩා කුරුබිලි හා උමං සහිතව එදවස ගොඩ නැඟූ කොටුව පසුව ඉංග්‍රීසීන්ට ද පාලන මධ්‍යස්ථානයක් විය.

පාසල් තුළ කුතුහලයෙන් මඩකලපුව සිතියම්වල ලකුණු කරන දරුවන්ට එහි අසිරිමත් පිහිටීම හා සුන්දරත්වය නෙතින් විඳින්නට සැලසිය යුතු බව අපේ අදහසයි.