මල් ගහ...!

සුදු පැහැ මල් පොකුරු පිරුණ අශෝක ගස දෙස මා බලා සිටින්නේ කනස්සල්ලෙනි. නොයෙක් පාටින් ද හැඩයෙන් ද අලංකාර වූ සමනලයන් පමණක් නොව මී මැස්සන් පවා කොතෙකුත් රොනට ඇදෙන අයුරු දැක දැක මා ලැබූ සතුට ම අද ශෝකයක් බවට පෙරළී තිබේ. සතුටින් පමණක් නොව ඇතැම් විට මගේ හදවත බියෙන් ද සසල කළ අශෝක ගස පෙර සේ ම සොඳුරු ය. මලින් බරව ගිය ගසක් මා බියපත් කළේ කෙලෙසද ?

ගෙමිදුලෙහි කෙළි දෙලෙන් පසුවන දරුවන්ගේ සතුට සොරා ගනිමින් බෝලය ඩැහැගන්නට සමත් වන වහලට ගොඩවන්නට භාවිත කරන ලද්දේ මේ අශෝක ගසයි. පේර ගස ද වහලට බර වෙමින් නැවී සිටින්නේ වහලට නඟින්නට ළමයින් හට ආරාධනා කරන්නක් මෙනි.

“දැං කොයිවෙලාවෙ හරි කොන්ද කඩාගන්නවා. මේ ළමයි වහලෙන් වැටිලා. මං වෙලාවක ඔය මල් ගහයි පේර ගහයි දෙකම කපල දානවා” යි දරුවන්ගේ පියා වරෙක දොස් පවරයි.

“මල් ගහ කපන්න ඕන...” යි මේ උදෑසන මා යෝජනා කළ විට ඔහු විමතියට පත් විය.

“පිස්සුද ? මල් පිරිලා නේද?” යි ඔහු මගේ යෝජනාව ප්‍රතික්ෂේප කළේ ය. දරුවන්ට අනතුරක් සිදු වනු ඇතැයි බියෙන් කෑ කෝ ගැසුව ද ගසක් තබා අත්තක් හෝ කපා දමන්නට ඔහු කොපමණ මැළි වන්නේ ද යන වග මම හොඳින් දනිමි.

“මල් ගහ නොකැපුවොත් රඹුටන් පැළේ ලොකුවෙන එකක් නෑ.”

මල් ගස ආසන්නයේ පැළය දෙස ඔහු විමසිලිමත් බැල්මක් හෙළුවේ ය.

“රඹුටන් පැළේ ගලවලා වෙන තැනකින් හිටවමු. අපරාදෙනෙ මල් ගහ කපල දාන්නෙ.”

මල් ගස කපා බිම හෙලන බවට කොතෙකුත් තර්ජනය කළ අයුරු අමතකව ගියාක් මෙන් ඔහු අලුත් යෝජනාවක් ගෙන ආවේ ය.

“නෑ.. ඒක හරියන්නෙ නෑ. ගලවල හිටවන්න පැළේ ලොකු වුණා වැඩියි. අනිත් එක එහෙම හැදුවම බාල වෙනවා..”

හදිසියේම මම අළුගෝසුවකු නොඑන්නේ නම් වධකයකු වීමි.

“අනේ අම්මේ මල් ගහ කපන්න එපා” යි. කියමින් මද්දු අප වෙත දිව ආවේ ය.

“අපි ආයෙ වහලට නඟින්නෙ නෑ අම්මෙ. ඇත්තමයි සත්තමයි.

නිවුන් පුතුන් ද දිවුරා පොරොන්දු වූහ.

මේ වගේ ම මල් ගහක් දර මඩුව ළඟත් තියෙනවනේ. මටත් දුකයි මල්ගහ කපන්න. ඒ වුණාට ඉතිං එහෙම නොකළොත් රඹුටන් පැළේ සරුවෙන එකක් නෑ.

“රඹුටන් ?” යි කොල්ලන් තිදෙනා තලු මරන්නට වූයේ රතුම රතු පැහැයෙන් බබලන රඹුටන් පොකුරක් දුටු කාලෙක මෙනි.

“රඹුටන් පැළේ ද මල් ගහද? දෙකෙන් එකක් තෝරගන්න වෙනව අපිට” මම බැරෑරුම් බැල්මක් හෙළමි.

“දෙකම තියාගන්න බැරි ද අම්මෙ අපිට ?” ඇස් හයක ආයාචනාත්මක බැල්ම මගේ දැඩි සිත මොළොක් කරවයි.

“හුඟක් වෙලාවට අපිට දෙයක් ලබාගන්න තව දෙයක් කැප කරන්න වෙනව.”

“ඉතිං අම්මෙ සමනලයොයි මී මැස්සොයි වෙනදා පුරුද්දට පැණි බොන්න ඇවිත් බලනකොට මල් ගහ නෑ.. ඒ ගොල්ලන්ට කොච්චර දුක හිතෙයිද?”

බඩපිස්සාගේ සෝබර හඬ පවා මගේ තීරණය වෙනස් කරන්නට සමත් වූයේ නැත.

“දර මඩුව ළඟ ගහෙත් දැං මල් පිපෙනවා.”

මගේ සුබ ආරංචිය ළමයින් වෙත සොම්නස කැන්දාගෙන නොආවේ ය. කොතෙකුත් සිඟිති පතුල් ගැටුණ අතු ඉති පවා සුසුම් හෙළන හඬ ඇසුණ ද මම සිත දැඩිකර ගතිමි.

අන්තිමේ දී සිය පියා ලොකු යාපා මාමාගේ ද උදව්වෙන් මල් ගස කපා දමන අයුරු බලා සිටින්නට කොල්ලන් තිදෙනාට සිදු විය.

“අම්මා හරි නරකයි” යි මද්දු ඔය ශෝකය කෝපයෙන් යටපත් කරගන්නට වෑයම් කළේ ය.

“අම්මා හරි නපුරුයි” පුංචි පුතා ද චෝදනාත්මක බැල්මක් හෙළුවේ ය.

ගසක් කපා දැමීම ඔවුන්ට ශෝකය දනවන කරුණක් වීම පිළිබඳව මම රහසින් සතුටු වීමි. තුරුලතා හිත මිතුරන් වූ කළ ජීවිතයේ බරත් දුකත් තුනී වී යන බව මම ඉතා හොඳින් දනිමි. මේ කොලු පැටවුන් ද හෙට දවසේ වැඩුණු මිනිසුන් වූ කළ සොබා දම් මාතාවගේ තුරුලේ සැනහෙන බව නිසැක ය.

“අපිට කන්න නේ අම්මා රඹුටන් ගහ ලොකු කරගන්න හදන්නෙ” යි චූටි පුතා කී කළ මට සියුම් සතුටක් දැනිණ. මා වටහාගන්නට එක් දරුවකු හෝ සමත් වීම සතුටට කරුණක් නොවේද?

“ඔය දෙන්න හම්බ වෙන්න ඉද්දි තමයි මම පේර පැළේ හැදුවෙ.” යි මම පේර ගස දෙස බලමින් සිහිපත් කළෙමි.‍

“ඉතිං දැං අපි කොච්චර පේර කනවද.” යි කී චූටි පුතා තුතිබර සිනාවක් පෑවේ ය.

“මල් ගහත් කපලා රඹුටන් පැළේ ලොකු කර ගත්තය කියමුකො. කව්ද දන්නෙ ගෙඩි හැදෙයි ද කියල”

මද්දු උදාසීන ලෙස තෙපළු6වේ ය.

“මුදිත්ලගෙ රඹුටන් ගහේ ගෙඩි හැදුණා. අපිටත් දුන්නා” පුංචි පුතා වහාම උත්තර බැන්දේ ය.

“එළවළු පලතුරු හැදෙන්නෙ සෞම්‍ය කාලගුණයක් තියෙන උඩරට පළාත්වල කියලයි අපි ඉස්‍කෝලෙ යන කාලෙ ඉගෙනගත්තෙ. ඒ වුණාට දැං බලන්න කෝ බෝංචි ගෝවා බීට් කැරට් මේ. වියළි පළාත්වල මොන තරම් සරුවට හැදෙනව ද කියල.”

“ඇයි අම්මෙ යාපනේ මිදියි රතුළූනුයි” පොඩි පුතා සිහිපත් කළේ ය.

“ඒක ‍නේන්නනම්. උනන්දුවෙන් කැපවීමෙන් කරන ඕනම දෙයක් සාර්ථක වෙනව දරුවනේ. පැළයක් වුණත් නිකං පස්සට කරල දාල අහක බැලුවොත් හරියන්නෙ නෑ. සාත්තු කරන්න ඕන. ආදරෙන් කරුණාවෙන් දයාවෙන් පැළේට සලකන්න ඕන. එතකොටයි ගහක් වෙලා මල් ගෙඩි හැදෙන්නෙ..”

අත් පා සිඳිනු ලැබූ කවන්ධයක් මෙන් දිස්වන මල් ගස දෙස අප බලාසිටියේ මහත් සංවේගයෙනි. අතු ඉති ආදිය කුණු වලට ඇද දමා අවට පිරිසුදු කළ පසු මම සුසුමක් හෙළුවෙමි.

“මුලින්ම කපා දාන්නැතිව මෙහෙම ටිකක් උසට කපාදාපු එක හොඳයි. දැං අපට මල් වැලක් යවන්න පුළුවනි.”

“එතකොට ආයෙත් එයි නේද අම්මෙ සමනලයොයි මී මැස්සොයි.?”

පුංචි පුතා කනගාටු වන්නේ ඒ කුඩා හුරුබුහුටි කෘමි සතුන් පිළිබඳව ය.

“අද හෙටත් ඒ කට්ටිය එයි පැණි බොන්න හිතාගෙන” මද්දු නෝක්කාඩු කියයි.

“අපි බෝඩ් එකක් එල්ලමු දරමඩුව ළඟ මල් ගහට යන්න කියලා. ඊතලයකුත් අදිමු.”

චූටි පුතා යෝජනා කළේ ය.

“ඊට කලින් ඒ ගොල්ලන්ට අකුරු කියවන්න උගන්වන්න වෙයි.” පොඩි පුතා තවත් අලුත් යෝජනාවක් ගෙනාවේ ය. අපි හඩ නඟා සිනාසුණෙමු.