යටගිය දවස පාමංකඩ

පාමංකඩ කොලොම්පුර දොර පිහිටි නිගමකි. එය අයත් වන්නේ සල්පිටි කොරළේ පල්ලේපත්තුවට ය. යටගිය තොරතුරු අනුව මෙපෙදසට විටින් විට විවිධ වූ සංස්කෘතික විලාසිතා පැමිණ පැලපදියම් වූ බවක් ද පෙනීයයි. කොළොඹ ජැටියට හා කොළොම් පුරවරයට වැඩි ඈතකුත් නොවන වැඩි මෑතකුත් නොවන කඩ ඉමක පිහිටීම මෙයට බලපානු ලැබී ය. පාගමනින් යනෙන විට හමුවන මංකඩ නොහොත් සංධිස්ථානය පාමංකඩ ලෙසින් ජනවහරට එකතු වී ඇත.

පාමංකඩ ජන දිවියේ විවිධත්වයක් මෙන් ම විචිත්‍රත්වයක් ද එක සේ දක්නට ලැබෙන්නකි. ප්‍රභූ පැලැන්තියට අයත් එරොප්පෙන් ආ නානාවිධ විලාසිතාවලට ඇබ්බැහි වූ පිරිස් ද, ග්‍රාමීය ජනයා ද නන්දෙසින් පැමිණි නන් විසිතුරු වෙළෙන්දෝ ද එදවස පාමාංකඩ දී දැකගත හැකි විය.

සැඳෑ මිහිර විඳගනිමින් රික්ෂෝ කරත්තවල නැඟී සැරිසරන ටොප් හැට් හා ටයිකෝට් පැලඳි පිරිමි ද අත් දිග හැට්ට හා දිග සායෙන් සැරසි සොඳුරු ලියෝ ද, එදවස අනගාරික ධර්මපාලතුමා උපහාසයට ලක්කළ රෙදි කෝට් පැලඳ නැමි පනාව හිස මත දරාගත් ප්‍රභූවරු ද මේ අතර වූහ. පැරැණි කොළඹ - කෝට්ටේ පාර වැටී තිබූ බව සටහන්ව ඇත්තේ පාමංකඩ හරහා ය. මෙදවස හැව්ලොක් පාර (ශ්‍රී සම්බුද්ධ ජයන්ති පාර) හා පාමංකඩ පාර ඔස්සේ කොළඹ කෝට්ටේ පාගමන යෙදී තිබූ බව පෙනී යයි.

කොළඹ - හොරණ මාර්ගය පාමංකඩ හන්දිය පසුකර දිවෙන්නකි. මෙම මාර්ගයේ එදවස ගමන් ගත්තේ තද නිල් හා සුදු පැහැ ගැන්වුණු ගාමිණි බස් රථ සමාගමට අයත් බස් රථයයි.

පාමංකඩ ප්‍රදේශබඳ වාසීහු අනේක විධ අවශ්‍යතා සඳහා නිතර ආගිය නගරය වැල්ලවත්තයි. දුම්රියපොළ හා පොලිසිය ද පිහිටා තිබුණේ වැල්ලවත්තේ ය. පාමාංකඩ සිට වැල්ලවත්ත තෙක් ඇදී ගිය මාර්ගය හැඳින්වූයේ "හයිස්ට්‍රීට්” නමිනි. පසුව එය කැලෑහඳ ආදී නවකථා ලියූ මහගත්කරු ඩබ්ලිව්. ඒ. සිල්වා නමින් අලුතින් නම් කෙරුණි. එදවස ඊබට් සිල්වා බස් රථ සමාගමට අයත් කොළ හා සුදු පැහැති බස් රථ කිරිල්ලපොන සිට වැල්ලවත්ත බලා ගමන් කළේ පාමංකඩ හන්දිය ඔස්සේ ය. ඕපන්බොඩි බස්රථ ද වැල්ලවත්ත - කිරිල්ලපොන අතර ධාවනය විය.

ඡායාරූපය- ලංකාපුර වෙබ් අඩවියෙනි

මා ඉතා කුඩා අවදියේ පදිංචිව සිටියේ පාමංකඩ හන්දියට නුදුරු ග්‍රෙරේරු පෙදෙසේ ය. වැල්ලවත්තේ සෙන්ක්ලෙයාර් විදුහලේ බාලාංශ පන්තියට ෙලාකු නංගී පද්මිණී නංගී සමඟ මම ගියේ සෙල්ලමුත්තුගේ "රික්ෂෝ” කරත්තයෙනි. රික්ෂෝව පාමංකඩ පෙදෙස් වාසීන් බෙහෝ විට යොදාගත් වාහනයකි.රික්ෂෝකරුවන් පදිංචිව සිටි රික්ෂෝ වත්ත ද පාමංකඩ විය.

පාමංකඩ ප්‍රදේශය සමාජ විද්‍යාඥයකුට ගැඹරින් අධ්‍යයනය කළ හැකි අපූර්ව සංස්කෘතික කලාපයකි.

චීන වෙළෙන්දෝ මෙන් ම අවකන් බායිලා ද වෙළහෙලඳාමට ගම්දොර සැරිසැරූහ. රෙදි පොට්ටනියක් විසල්වට හදාගත් චීන වෙළෙන්දෝ, කර මත තබාගත් රෙදි පොට්ටනිය සමබරව තබාගත්තේ මීටර් කෝදුව ලෙස ද භාවිත කළ ලී පොලු කැබල්ලක වාරුවෙනි. රෙදීයස් යනුවෙන් හඬ නැඟීමක් කළේ ඔහුගේ පැමිණීම ගමටම දැනුම්දීමට ය.

පොට්ටබායි අවකන් දේශයෙන් පැමිණි තවත් වෙළෙන්දෙකි. හොඳ හොඳ ටූ විට් සූට් රෙදි ඔහුගෙන් මිල දී ගත හැකි විය. චීන වෙළෙන්දා රත්තරං දතක් දමා සිටියේ ය. රත්තරං දත් දැමීම මෙරට ජනයාට ඔහුගෙන් ලැබුණු දායාදයකි.

ගෙන් ගෙට තහඩුවලින් කළ ට්‍රන්ක් පෙට්ටියක් හිස මත තබාගෙන පැමිණි "තොරොම්බල්කරුවා" කාන්තාවන්ට ඇවැසි කොණ්ඩ කටුව, වීදුරු වළල්ලේ සිට රේන්ද පටිය දක්වා වූ අනේක විධ මනිමඩු ගෙන ආවේ ය. තොරොම්බල්කරුවා බොහෝවිට ද්‍රවිඩ ජාතික වෙළෙන්දෙකි. තොරම්බල පෙට්ටියේ තට්ටුවෙන් තට්ටුව බිම තබන අයුරු බාල ළමෝ කුතුහලයෙන් බලා සිටියහ. නොඉවසිල්ලෙන් ළමයි බලා සිටියේ අවසන් තට්ටුවේ සෙල්ලම් බඩු අසුරා ඇති පියන අරින තුරු ය.

පාමංකඩ හන්දිය මාළු වෙළෙඳාම නිසා ද සුපතළ විය. මාළු වෙන්දේසි පොළක් දිනපතා මෙහි පැවැත්වුණි. වෙන්දේසි පොළ අයිතිකරුවා වූයේ බාරොන් පීරිස් නමැත්තෙකි. සුදු බැනියමක් ඇන්ද ඔහු බද වටා රන් පවුම් පටියක් ද පැලඳ සිටියේ ය. වට්ටි වෙළෙන්දියෝ, බයිසිකල්කරුවෝ, කත් වෙළෙන්දෝ ද අවට ප්‍රදේශවල සිට මාළු මිලදී ගැනීමට මෙහි පැමිණියහ. පාමංකඩ වෙන්දේසි පොළට මන්නාරම, ත්‍රිකුණාමලය ආදී ප්‍රදේශවලින් මාළු ගෙන එනු ලැබුවේ දුම්රියෙනි. වැල්ලවත්ත දුම්රිය පොළේ සිට ඒවා පාමංකඩ වෙන්දේසියට රැගෙන ආවේ අත් කරත්තවලිනි.

පාමංකඩ හන්දියෙ පැවති වෙළෙඳහල් අතර අන්නච්චියගේ කඩේ "සිරිසද” හෝටලය ආරිය සිංහල කඩේ යාපන වෙළෙඳුන්ගේ කෙහෙල් කන් කඩේ වෙසෙසින් කැපී පෙනුණි. හංදියේ මාළු ලෑලි හා මාළු කඩයක් ද දක්නට ලැබුණි. රුවිලින් අයියගේ මාළු කඩේ හා සයිමන් අයියාගේ මාළු ලෑල්ලද පාමංකඩ මාළු වෙළෙඳාම සරුවට කෙරුණු බවට සාධකයෝ ය.

නාන බාල්දි කොටුව මෙන් ම සොලමන් අයියගේ බෝල මේසය ද (බෙලියඩ් මේසය) පාමංකඩ එදවස පැවති දනෝ ගැවසුණු ස්ථානයෝ ය. නාන බාල්දියෙන් නාගත්තෝ උණු වතුර බාල්දියක් සඳහා සත විස්සක් ද ඇල් වතුර බාල්දියක් සඳහා සත පහක් ද වැය කළහ. නාන බාල්දියට වතුර පිරවූයේ ආඬියා ළිදෙනි.

සිංහල ජනවහරේ එන ගණන්කාරයා ගණිත මිණිත සංඛ්‍යා ශාස්ත්‍ර දත් පුද්ගලයාට වඩා වෙනස් පුද්ගලයෙකි. හන්දියේ ගණන්කාරයා බොහෝ හන්දිවල එදවස දක්නට ලැබුණු චරිතයකි. පාමංකඩ දී ගණන්කාරකම් පෙන්වූ චණ්ඩි ඇති වී නැති වී ගියහ. දඬු ඇඩිමන් බුල්ජන්ස් නමැති පොලිස් ලොක්කෙකුට තම අත පය සවිය පෙන් වූ අයෙකි. සුරතල් මාර්ටින් ද පාමංකඩ ගණන්කාරයෙකි. ඇට සයිමන් ගණන්කාරයෙක් බව පෙන්වීමට චීනඩි සරඹ මඟතොටේ දැක්වුව ද පාමංකඩ දී ඔහුව තුට්ටුවකටවත් ගණන් ගත්තේ නැත.

පෙදෙසට තෝසේ ගෙනෙන වයෝවෘද්ධ දෙමළ කතගේ රූපය කාගෙ කාගෙත් සිත්හි තවමත් රැඳී ඇති සිත්තමකි.

ඉනට වට්ටියක් ද ගෙනේ
හිස මත බර තබා ගෙනේ
අතකින් හොඳි බඳුන ගෙනේ
ආච්චි එයි තෝසේ ගෙනේ

මෙපෙදෙස තොවිල් බෙර පදයක් නෑසුණු සතියක් නැති තරම් ය. තොවිලය අවසානයේ යකැදුරන් තබා ගිය පිදේනි තටු තුංමංසල දී නිතර දැක ගත හැකි දසුනක් විය. වෙස්සන්තර ජාතක කවි ගායනා ද පාළුව රජ වුණු රාත්‍රියේ ගම් දොරින් ගලා ඒම මහා ශෝකයක් දනවන්නක් විය.

බෝවෙන රෝග පැතිරෙන කාලවල දී ගමට සෙත් පතා කෙරෙන ගම්මුඩ හා දෙවොල් මඩු ද පාමංකඩ දී දැකගත හැකි විය. අළුවල වත්තේ ඊශ්වරී පාර ඉදිරිපස තිබූ කොටසේ පත්තිනි දෙවියන් සඳහා වන ගම්මඩු ඉදිවුණි. ගම්මඩු දෙවොල් මඩු නැටීම වසරක් පාසා කෙරුණි.

ගම්මඩු නැටීමට පළමු මඩු පේවීම කෙරෙයි. උඩුපිල යටිපිල යනුවෙන් දෙපිල බෙදී කෙරෙන අං ඇදීමෙන් පසු ගමපුරා කෙරෙන පේළි යෑම ගම්දරුවන්ට මහත් ආස්වාදයක් ගෙන දුන්නේ දිනුම් පිල පැරදුණු පිලට කරන සමච්චල් නිසා ය. අං ඇදීමේ දී භාවිත වන සැහැලිවලට වලි යයි කියති. පහත දැක්වෙන්නේ එවැනි වලියකි.

එන වලියට හෝයියා
යන වලියට හෝයියා
අනංගයෝ හෝයියා

මල්මදයෝ හෝයියා
එන වලියට හෝයියා
යන වලියට හෝයියා

මින්දදයෝ හෝයියා
මල්සරයෝ හෝයියා
එන වලියට හෝයියා
යන වලියට හෝයියා
අපි දිනුවෝ හෝයියා
දිනුම් පිලට හෝයියා

හොයිය පුරේ හෝයියා
හොයිය පුරේ හෝයියා

ගම්මඩුව, අළුවල වත්තේ උසට සැදෙන්නේ එකල ජනප්‍රිය පිනුම්කරුවන්ට තම උඩු කරණම් දැක්වීමට පහසු වන පරිදි ය.

ගම්මඩුවේ දී අපට මහත් ආස්වාදයක් ගෙනාවේ තෙල්මේ නැටුමයි. පන්දම් පද අවසානයේ දී පිනුම්කරුවන්ගේ දක්‍ෂතා දැක්වුණි. එකල ප්‍රසිද්ධියට පත් පිණුම්කරුවෝ රාශියක් පාමංකඩ ගම්මඩුවේ දී අපට දැකගත හැකි විය. ගෝනහෙල පේදිරිස් අයියා, බටකැත්තර සීබොට්, මලකටුව එදවස නම් දරාපු පිනුම්කරුවෝ ය.

පාමංකඩ ජන දිවිය හා බැඳුණු පන්සල් කීපයකි. පෝයදාට මෙන් ම වස්සාන සමයේ දී ද ධර්මෝදය පන්සලෙන් හා සුවිසුද්ධාරාම පන්සලෙන් නැ‍ඟෙන ඝන්ඨාර නාදය ගම්මානයටම ගෙනෙන්නේ අමුතුම ප්‍රබෝධයකි. ධමෝදය පිරිවෙනේ අධිපතිව වැඩ විසූ වැල්ලවත්තේ විභාවි හාමුදුරුවන් වහන්සේ බෝධි පූජාවේදි හඩ නඟා වදහල "දස බලස්ස” ගාථාව පෙදෙස්බඳ දනන්ගේ මතකයේ තවමත් පවතී. අතිපූජ්‍ය ඉදුරුවේ උත්තරානන්ද මහනායක හිමියෝ වැඩ විසුවේ ද ශ්‍රී ධර්මෝදය විහාරස්ථානයේ ය.

පාමංකඩ හන්දියට නුදුරු ශ්‍රී සුවිසුද්ධාරාම විහාරස්ථානය ඓතිහාසික වශයෙන් ද වැදගත් වන්නකි. මෙහි වැඩ විසූ වැල්ලවත්තේ අරියවංශ හාමුදුරුවෝ වියත් පඩිවරයාණ කෙනෙකි. එමෙන් ම උන්වහන්සේගෙන් පසුව අධිපතිත්වයට පත් වැල්ලවත්තේ ඥානාභිවංශ හිමිපාණෝද සුපතළ නමක් දිනු යතිවරයාණ කෙනෙකි. පැලෑනේ ශ්‍රී වජිරඥාන මහානාහිමියන් වහන්සේ මුලින් වැඩ සිටි පන්සල සුවිසුද්ධාරාමයයි. සුවිසුද්ධාරාමයේ සිට උන්වහන්සේ වජිරාරාමයට වැඩම කර ඇත්තේ රික්ෂෝ රථ පෙරහරකිනි.

පාමාංකඩ පන්සල යනුවෙන් ව්‍යවහරයේ පවතින්නේ පාමංකඩ ශ්‍රී මහා විහාරයයි. එදවස කළු පාලමින් එගොඩහ සැදි මෙම විහාරස්ථානයේ වැඩ විසූ කොටගම වාචිස්සර හිමියෝ නුවණින් සුපතළ වූහ. පාමාංකඩ ශ්‍රී මහා විහාරය ආරම්භයේ දී 1813 පමණ හඳුන්වා ඇත්තේ පරම රමණීය ආරාමය නමිනි.

පාමාංකඩ ශ්‍රී මහා විහාරයේ දේවදූත පෙරහර හා දොරකඩ අස්න පිංකම එදවස පෙදෙස්බඳ ජනතාවට මහත් පුබුදුවක් ගෙන දුන් අවස්ථාවකි. මෙහි දේවදූත පෙරහර වසර පනස් ගණනක් අඛණ්ඩව පවත්වා ගෙන ආ නමුත් 1969 පසු එය නැවතී තිබේ.

පාමංකඩ හන්දියේ පැවති සමසමාජ කාර්යාලය ඇන්.එම්. පෙරේරා, කොල්වින් ආර්. ද සිල්වා, බර්නාඩ් සොයිසා, ඩොරික් ද සූසා, ඔස්මන්ඩ් ජයරත්න සහ ආනන්ද ප්‍රේමසිංහ වැනි සමසමාජ නායකයන් නිතර පැමිණ දේශන පැවැත්වූ ස්ථානයකි.

පාමංකඩ නැ‍ඟෙනහිර හා බටහිර වශයෙන් බෙදා වෙන් කිරීමට පෙර (1963) කොළඹ නාගරික සභාවේ උතුරු වැල්ලවත්ත නාගරික අසුනට අයත් විය. මෙම අසුන ඩොරික් ද සූසා මහතා කාලයක් නියෝජනය කළ අතර ඔහුගෙන් පසු මහාචාර්ය ඔස්මන්ඩ් ජයරත්න නියෝජනය කළේ ය.

පාමාංකඩ හන්දිය වෙසක් නාට්‍යවලට හා රූකඩ මෙන් ම ඔළුබක්කන් නැටවීමට ද ප්‍රසිද්ධියක් ඉසිලී ය.

නත්තල් සමය පාමාංකඩ දනන් හට මහත් ප්‍රබෝධයක් ගෙන දෙන සමයකි.

නත්තල් ජනේරු මෙදා ළංවෙන සීරූ

කොහොම කොහොම පසු කරමු ද මෙදා ජනේරූ

වැනි බයිලා ගායනයේ යෙදෙමින් පැට්‍රෝල් මැක්ස් ලාම්පු එළියෙන් ගෙන් ගෙට බයිලාව එන්නේ මේ සමයේ දී ය. එහිදී නැඟුණු ජපන් මැන්ඩලින් නද මෙන් ම රෝස නෝනාගේ හා ජැන්ඩි සිංඤෝගේ නැටුම් ද තවමත් මතකයෙන් දෝංකාර නැ‍ඟේ.

පාමාංකඩ බජව්වට මෙන් ම සාජ්ජයට ද නම් දරාපු පෙදෙසකි. පාමාංකඩ හන්දියේ ‍ට්‍රියෝලොජ් නිවසේ පැවති සාජ්ජයට පැමිණ එ‍ච්.ඩබ්.රූපසිංහ, සාදිරිස් මාස්ටර් හා එම්.කේ. වින්සන්ට් ගේ සාජ්ජ සිංදු පෙදෙස්බඳ පැරැන්නන්ට තවමත් මතක ය.

"අඩු කුලේ කියාලා අසරණයා

මැඩලන්නේ මෙලෝකේ වසලයා”

ගීතය ගායනා කළ ඒ.ජේ. කරීම් මහතා පදිංචිව සිටියේ පාමංකඩ ය. ඔහු ගුවන්විදුලි වාදක මණ්ඩලයේ දීර්ඝ කාලයක් සේවය කළ දක්‍ෂ ශිල්පියෙකි. ගුවන්විදුලියේ දී තැටි ගබඩාවේ ඔහු විසින් ගායනා කරන ලද "ලෝ අග රාජා” වැනි බෞද්ධ ගීත ඇතුළු ගීත 126 ක් පමණ තැන්පත්ව ඇත. ඔහු මෙන් ම ගුවන්විදුලි වාදක මණ්ඩලයේ සිටි බර්නාඩ් මහතා ද විසුවෙකි. කැලෑ හඳ වැනි නවකථා ලියූ මහා ගත්කරු ඩබ්. ඒ. සිල්වා මහතාගේ සිල්වමය නිවාසය පිහිටා ඇත්තේ ද පාමංකඩ ඩබ්. ඒ. සිල්වා මාවතේ කලින් සැෆයාර් සිනමා හල පිහිටි ස්ථානයේ ඉදිරිපිට ය.

මොහාන් ලාල් ග්‍රේරු ඇමැතිතුමා ද පාමාංකඩ සොලමන් පෙදෙස නිජබිම කරගත්තෙකි. ජනප්‍රිය ගායක අමරසිරි පීරිස් මහතා පාමංකඩ උපත ලද්දෙකි.