සෝමාවතී අලින්ගේ රජදහන

මෙරට වනාන්තරවල වෙසෙන සතුන් අතර අලියාට හා ඇතාට සම කළ හැකි මහේශාක්‍ය සත්ත්වයෙක් නොමැත. වන ගැබ අලි ඇතුන්ගේ ගති සොබා හඳුනා ගැනීමට සෝමාවතී වනාන්තර කලාපය කදිම වන පියසකි. ත්‍රිකුණාමලය, පොලොන්නරුව හා මඩකළපුව දිස්ත්‍රික්ක තුනක් පුරා එය පැතිර පවතී. මහවැලි නිම්නයේ සෝමාවතියබඳ ගඟ දෑලේ විල්ලු ප්‍රදේශය විල් අලින්ගේ විශාලතම නිජබිමයි. මෙම සද්ධන්ත අලි ඇත්තු මහවැලි ගඟ දෑලේ විල්ලු හෙවත් වගුරු බිම්වල නිදහසේ සැරිසරති. විල් අලි අනෙක් ප්‍රදේශවල දී දක්නට ලැබෙන අලින්ට වඩා විශාල ය. විල්ලු තණබිම් හා සරුවට වැඩෙන ගහකොළ ඔවුන්ගේ විසල් රූපකාය වර්ධනයට අවශ්‍ය පෝෂණය ලබාදෙයි.

සෝමාවතී වනය සෞන්දර්යය නිකේතනයකි. මෙම වන ගැබ නොමඳ කලක් සැරි සැරීමේ භාග්‍යය මට ද ලැබුණි. අලි අතුන්ගේ කෝමල ගමන් ලතාව, කුරුල්ලන්ගේ මියුරු නඳ, ගඟ බඩ සඳපහන් රාත්‍රිය, මතකයේ සදා ඇඳී පවතින සිතු සිත්තමක් බඳු ය.

සෝමාවතී වන ගැබ එදවස මා නිතර පිවිසුණේ වැලිකන්ද මාර්ගයෙනි. කාන්දකඩුව සත්ත්ව ගොවිපොළ, සංචාරක බංගලාව එදවස සොඳුරු නවාතැන විය.

පොලොන්නරුවේ මඩකළපුව මාර්ගයේ මයිල 16ක් පමණ ගිය විට වැලිකන්ද හමුවෙයි. වැලිකන්දේ සිට කාන්දකඩුවට අතුරු වන ගැබ වැලි මඟ ඔස්සේ මයිල 16ක් පමණ දුරක් ගෙවා යා යුතුයි.

කාන්දකඩුව ගොවිපොළ කාර්යාලයට ළඟාවීමට පෙර පළමු ගමනේදී ම ත්‍රාසජනක අත්දැකීමක් ලබාගැනීමට හැකිවිය. අලි ඉන්න කැලෑවකට ගිය විට අලි ඇතුන් ළඟපාත සිටින බව දැනෙන්නේ අලි ගඳ ආග්‍රහණය කිරීමෙනි.

වැලිකන්දේ සිට අතුරු කැලෑ මාර්ගයේ මද දුරක් යන විට කිසිඳු මාර්ග දේශකයකු නොසිටි අපට අලි ගඳ දැනෙන්නට විය. එය වල් අලි ළඟපාතම සිටින බවට ලැබුණු සංඥාවකි. පාර අයිනේ තණ බුදිමින් සිටි තුන්පත් රෑනේ ඇතින්නිය බිය ජනක හඬක් නඟමින් අප කරා හඹා ඒමට සැරසුණි. රියදුරු විමලසේන බියපත්ව රථයේ ඇන්ජිම ද නතර කරගනු ලැබී ය. වාසනාවට යළි ඇන්ජිම ක්‍රිය‍ත්මක වුණි. මද දුරක් යනතුරු පසුපසින් ම ඇතින්න හඹා එනු අපි දුටිමු.

කාන්දකඩුව සත්ත්ව ගොවිපොළ මෙන් ම අසල වනගැබ පිහිටි ත්‍රිකෝණමඩුව සත්ත්ව ගොවිපළ 1973 වසරේ දී පමණ පාලනය වූයේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යටතේ ය.

කාන්දකඩුව සංචාරක බංගලාවේ ගත කළ සඳ පහන රාත්‍රියේ දුටු දසුන මනරම් අතීත සැමරුමකි.

රාත්‍රී ආහාරයෙන් පසු බංගලාව වටා නැඟුණු අලින්ගේ බඩ ගොරවන සද්දය අලි රංචුව අසළ ගැවසෙන බවට කෙරුණු සංඥාවකි. අලින්ගේ බඩේ ශබ්දය “ගර්ර්ය” යනුවෙන් ඇ‍දෙන්නෙකි. බියපත් මබිරිඳ එළිමහනට ඇරුණු ජනෙල් කවුළු පියන වසා දැමීමට සූදානම් වුව ද කවුළුව අසලින්ම නැඟුණු අලි ගඳ නිසා එය වසාගත හැකි නොවුණි. එඩේර ගඳ යැයි ගැමියන් විසින් හඳුන්වනු ලබන අලි ගඳ අලින්ගේ ඇ‍ඟෙන් මතුවන්නකි. මද ශ්‍රාවයෙන් මෙය මතුවෙයි. මද ඇතුන්ගේ කන හා ඇස අතර විවරයන් හා කොවුල ග්‍රන්ථියෙන් ද මෙය මතුවෙයි. අලි ලැග සිට ගිය තැන අලුත් බෙටිවලින් ද අලි ගඳ නැ‍ඟෙයි. මිනිස් කුයිල දැනුණු නිසාදෝ අලි හතර දෙනෙක් පමණ බංගලාව අසලින් ඈත්වන බවක් දැනුණි.

ඉනික්බිතිව කවුළු ‍දොරින් ඈත සඳපානේ මතුවූයේ සිත්කළු දර්ශනයකි.

වන තීරයෙන් එළි බැස ආ අලි රංචුව තණ බිමෙහි කෙලි දෙළෙන් පසු වූහ. සොඬ සොඬ පටලවා ගත් ඇතින්නකගේ හා ඇතකුගේ පෙමට ඉඩදුන් අලි රංචුව තණ බිම ඈතින් ඈතට ඇදෙනු දුටිමු.

අරුණැල්ල පතිත කාන්දකඩුව සත්ත්ව ගොවිපොළේ හිමිදිරි දසුන ද සිත් ගන්නා සුලු ය. සිය ගණනින් සැදි ගවයන් විල්ලුවේ විල් අලි සමඟ එකට තණ බිම් විසිරී සිටීම සුන්දර දර්ශනයකි. අලි හරක් ගැටුමක් මෙහි දී සිදුනොවෙයි. හරක් රංචුව අලි යන ම‍ඟෙහිම ගමන් කරන්නේ අලි කඩන ගහ කොළ බුදිනට අවස්ථාව ලැබෙන බැවිනි. මයිල - අත්තික්කා ගහකොළ අලින්ට රසවත් අහරකි. කාන්දකඩුව හා ත්‍රිකෝණමඩුව සත්ත්ව ‍ගොවිපළේ එදවස කිරිහරක් 11000 පමණ ඇති දැඩි කළේ ය.

පට්ටියේ දෙනුන්ගේ කිරිදොවන වේලාවට පැටියා ගෙනවිත් අඬ ගැසූ පමණින් අනෙක් හරකුන් අතරින් ඉදිරියට පැමිණීමට දෙනුන් පුරුදු පුහුණු කර තිබුණි.

කන්දකඩුව හා ත්‍රිකෝණමඩුව සත්ත්ව ගොවිපළවල් එදවස අලි ගැවසෙන ඉසව්ව දන්නා ඩී‍.එස්. සේනානායක මහතා ය. (ඩැනී ෂෙල්ටන් සේනානායක) සේනානායක මහතා සෝමාවතී අලි රංචුව ගැන හොඳින් අධ්‍යයනය කර තිබූවෙකි.

කන්දකඩුව ගිය හැම අවස්ථාවකදීම එදවස අලි ගැවසෙන ඉසව්ව දන්නා සේනානායක මහතා තම ජීප් රථයෙන් අප රැගෙන වන බිම්වල සැරි සැරියේ අලි බැලීමේ අප මනදොළ සපුරාලීමටය. සේනානායක මහතා සෝමවතී විල්ලූවේ අලි ඇතුන් ගැන දැන සිටි ලෙසම විල් අලින් ද සේනානායක මහතාගේ කටහඬ හඳුනාගෙන සිටියහ.

එක් සැඳෑවක ත්‍රිකෝණමඩුව ගොවිපළ ඉහත්තෑවේ ඈත ඉමක පිහිටි හුදකලා කැලෑගමකට සේනානායක මහතා අප කැඳවාගෙන ගියේ ය. ත්‍රිකෝණ මඩුව හුදකලා ගම්මානයෙන් පසු සේරුවිල සේරුනුවරට යනතුරු ජනාවාසයක් හමුනොවෙයි. ත්‍රිකෝණමඩුව ගම්දොර පිහිටි කඩයට සැදෑ සමයේ ගම්මු එක්රොක් වෙති. පුරදොර පුවත් මෙන්ම ගම්දොර කයිකතන්දර ද මෙහිදී මතුවෙයි.

මෙම කැලෑ ගමේ මුස්ලිම් පවුල් 30ක් පමණ වාසය කළේ ය. දෙමළ පවුල් තුනක් ද මෙගමෙහි ජීවත්වූහ. “නිකලස්” ගමේ පදිංචි හොඳ වෙඩික්කාරයෙකි. ද්‍රවිඩ කාන්තාවක විවාහ කරගෙන සිටි නිකලස් ත්‍රිකෝණමඩුව ගොවිප‍ළේ මුරකරුවෙකි.

නිකලස්ව ද අප සිටි ජීප් රථයට නංවාගත් සේනානායක මහතා ආපසු ගමන ඇරැඹී ය. ත්‍රිකෝණමඩු ගම්මානය පසුකර මද දුරක් එනවිට අඳුරු තීරයෙන් දිස්වූයේ සද්ධන්ත තනි අලියෙකි. ඔහුගේ ඉරියව් ‍හොඳ නැති බව දැනගත් සේනානායක මහතා අලියාට ඇසෙන සේ කතා කළේ ය. සේනානායක මහතාගේ කට හඬ හඳුනාගත් වල් අලියා දැමුණු නාලාගිරි ඇතා මෙන් වන ගැබට ආපසු හැරුණේ පස්සෙන් පස්සට ය. සේනානායක මහතා ද ශූර වෙඩික්කාරයෙකි. රාත්‍රියේ රථයේ ගමන් කරන අතර ඉලක්කය බලා වෙඩි තැබීමට තරම් ඔහු සමතකු විය.

කන්දකඩුව ගොවිපොළේ සිට සෝමාවතී චෛත්‍යයයට ඇති දුර මයිලයක් පමණ ය. කන්දකඩුව සිට සෝමාවතී බලා යෑමේ දී මහවැලි ගඟ තරණය කිරීමට සිදුවෙයි. ගොවිපොළ මායිමේ “පුලියන්තිව්” වලදී තනි කඳ ඔරුවකින් ගඟ තරණය කළ යුතු ය.

තනි කඳ ඔරුව රිටක වාරුවෙන් පදවන්නේ මට්ට නමින් හඳුන්වන මුස්ලිම් ඔරුකාරයෙකි. සෝමාවතී චෛත්‍යය වෙත පෝදාක තනිකඳ ඔරුවෙන් එගොඩ වූ අපි සෝමාවතී වැඳ පුදාගෙන ආපසු පැමිණිවිට පුලයන්තිව් තොටමුණේ දී දැකගන්නට ලැබු‍ණේ ගඟ දිය ඉහළ ගොස් ඇති ස්වභාවයි. ගඟ මැද සැඩ පහර නිසා තනිකඳ ඔරුව රි‍ෙටන් පාලනය කර ගැනීමට නොහැකි වූ ඔරුකාරයා තැතිගෙන අසරණ විය. තනිකඳ ඔරුවේ මා සමඟ ගමන් කළ එදවස ගුවන් විදුලියේ බන්දුල විතානගේ මහතා මෙන් ම මම ද කිසිවක් කර කියා ගත නොහැකිව බලාසිටියේ තුෂ්ණිම්භූතව ය. කෙසේ හෝ මහත් ආයාසයක් දැරූ ඔරුකාරයා රිටේ ආධාරයෙන් ඔරුව ඉවුරට ගැනීමට සමත්විය. කොල්ලෑවක් නොමැති තනිකඳ ඔරුව පෙරළීමට ඇති ඉඩකඩ වැඩියි. එයට කොල්ලෑවක් සවි නොකරන්නේ මහවැලි නදීතෙර වක්කලම් අතරින් ඔරුව පැදවීමට ඇති කොල්ලෑවක් බාධකයක් වන නිසා ය. කොල්ලෑව නොමැති ඔරුව රිටකින් හැසිරවීමට මට්ට තොටියා ශූරකමක් දක්වයි.

ඩී. ඇස්. සේනානායක මහතා පැවසූවේ ඔහු එදවස සිගරට් ගැනීමට පවා පුලියන්තිව් තනිකඳ ඔරුවෙන් ගඟ තරණය කර සෝමාවතී ගිය බවකි. එදවස ළඟපාතක තිබුණ එකම තේ කඩය සෝමාවතී චෛත්‍ය භූමියේ පිහිටි පච්චයගේ තේ කඩේ ය. පච්ච කොටා තිබූ මුස්ලිම් වෙළෙන්දෙක් මෙය පවත්වාගෙන ගොස් ඇත.

මහවැලි ගඟ හරහා යාමට කදිරම්ඹඩේද හා “කොයාමාන” විල්ලුවේ ද තවත් තනිකඳ ඔරු දෙකක් තිබුණි.

මහවැලි ගං ඉවුරේ එදවස දුම්කොළ වගාව සරුවට කෙරුණි. මට්ට නමින් හැඳුන් වූ මුස්ලිම්වරු වාඩිගෙන ගඟ බඩ දුම්ගාල් පවත්වාගෙන ගියහ. එරාවූර් ආදී පෙදෙස්වලින් පැමිණි මොවුහු දුම්කොළ වේලීම ද කළේ වාඩියේ දී ම ය. දුම්ගාලට අවශ්‍ය ජලය සපයා ගත්තේ මහවැලි ග‍ඟෙනි. ඒ සඳහා කදිම ශිල්පයක් ඔව්හු යොදා ගත්හ. වක්කලමක් තියන තැනක් බලා මහවැලි ග‍ඟෙන් වතුර ගනු ලැබුවේ විසල් හම් භාජනයක් ගඟට දැමීමෙනි. පුහුණු කළ සින්දි හා සයිබෝල් වර්ගවලට අයත් ගවයන් හම් බෑගයට පිරුණු ජලය ගොඩට ඇද ගැනීමේ දී භාවිත කළහ. එකම ඉරියව්වකින් හරක‍ා බඹ දෙකක් පමණ ඉදිරියටත් ආපස්සටත් ඒම මෙහිදී නිරන්තරයෙන් සිදුවෙයි. හම් මල්ලට පිරෙන වතුර කඳ දුම්කොළ පඳුරක් ගානේ ගමන් කළේ කුඩා ඇළ මාර්ගයක් දිගේ ය.

ව‍ෙරක මහවැලි කලාපේ අප ඉදිරියේ මතු වූ දැවැන්ත අලියාගේ ස්වරූපය එක්වරම වෙනස් වනු දුටු අප කණ්ඩායම වහා දුම්කොළ වාඩියක ගොඩවුණෙමු. දුම්ගාල අසළ සැදී මඬුවෙහි දී ලද තේ උගුර අමෘතයක් බඳුවිය. උදෑසන දොවාගත් පිරිසුදු එළකිරි රසය ද එයට මුසු වී තිබුණි. පිටාර තැන්න උතුරා යන ගඟ ‍දියෙන් යටවන කාලයට දුම්කොළ වාඩිවල මිනිස්සු සංක්‍රමණික කුරුල්ලන් මෙන් වාඩිය අතහැර දමා ගම්බිම් බලා යති. කෙසේ වුව ද මෙදවස දුම්කොළ වාඩි දක්නට නොමැත.

කන්දකඩුව බලා ගිය වාරයකදීම දුර්ග මාර්ගය ගෙවා වූව ද සෝමාවතී වන්දනාවේ මා ගියේ මහත් වූ සර්ධා භක්තියෙනි. සෝමාවතී චෛත්‍යයේ කොත මුදුන බුදුරැස් දුටු ගැමීහු කන්දකඩුවේ හා ත්‍රිකෝණමඩුවේ දී කොතෙකුත් අපට හමුවූහ.

මහවැලි ගඟින් එගොඩ වීමට ගොවිපොළ මාඉමේ පුලියන්තිව් තොටමුණට අමතර කදිරම්ඔඩේ හා ඹයාමාන විල්ලු තොටමුණබදව ද - තනිකඳ ඔරු තබා තිබුණි. මට්ට මිනිස්සු තනිකඳ ඔරුව ගඟදිගේ ගැඹුරු තැනක පාවිච්චියට නොගන්නා විට ගැටගසා තිබුණේ අලින්ට අසුවුණොත් ඒවා කඩා බිඳ දමා, සුණු විසුනු කරන නිසා ය.

ඔරු ක‍ඳෙන් නැගෙන මිනිස් කුයිල අලින්ට වහකඳුරු මෙන් විය. වල් අලි රංචු හයක් හතක් සෝමාවතී හා කන්දකඩුව බද විල්ලුවල සැරිසැරූහ. රංචුවකට හැත්තෑවක් සීයත් අතර ගණනක් සිටුනු දුටු බව සේනානායක මහතා පැවසී ය. කන්දකඩුව හා සෝමාවතීබද ව පිහිටි විල්ලු අතර මීන් විල්ලුව, කොයාමාන විල්ලුව, වේලවෙට්ට විල්ලුව, මා විල්ලුව, සුඟංවිල විල්ලුව අලි වැඩි වශයෙන් දැකගත හැකි විල්ලු ලෙස පතළ ය. සෝමාවතී චෛත්‍ය හා කන්දකඩුව ගොවිපළ කේන්ද්‍ර කරගනිමින් මෙම මහා වනාන්තරය දකුණින් මහවැලි නදී තීරය ඔස්සේ වස්ගමුව ජාතික වනෝද්‍යානය දක්වා ද උතුරු දෙසින් ත්‍රිකුණාමලයේ තොට්ටියාරම් මුවදොර හා නැ‍ඟෙනහිර දෙරුගල් ආරු නිම්නය ඔස්සේ උපාර් කළපුවත් බටහිරින් ත්‍රිකුණාමලය මාර්ගය දක්වාත් විහිදී ඇත. මෙම රමණීය භූමිය ආරක්ෂා වී ඇත්තේ මහවැලි ග‍ඟේ ස්වභාවික පිහිටීම නිසා ය. වැසි වට සමයේ ගඟදෑලේ පිටාර තැන්න ගංවතුරෙන් වැසී යාම සිදුවෙයි.

සෝමාවතී වනාන්තරයේ බටහිර දෙසින් මහවැලි නදියත්, නැ‍ඟෙනහිර දෙසින් එහි ප්‍රධාන ගංගාවක් වූ වෙරුගල් ආරත් ගලා බසී. මෙම ප්‍රධාන ගංගා දෙකෙන් බෙදී යන පවන ආර අඩම්පන්ආර, තොමනච්ච ගඟ, මදුර ආර හා කන්දකාඩු ආර වැනි අතු ගංගා රාශියක් මහේශාක්‍ය විල් අලින්ට රැකවරණය හා පෝෂණය දෙමින් ගලා බසී.

සෝමාවතී වනාන්තරය 1966 දී අභය භූමියක් බවට පත්විය. එහි ප්‍රමාණය අක්කර 94405ක් පමණ වේ. එය 1986 සිට ජාතික වනෝද්‍යානයක් ‍ලෙසට ගැසට් කෙරුණි. දකුණින් පිහිටි ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානය මෙයට සම්බන්ධ වේ.

කන්දකඩුවේ ගත කළ තවත් ත්‍රාසජනක ගමනකට අප මිත්‍ර ඩී. එස්.සේනානායක මහතාගෙන් ආරාධනා ලැබිණ. අප සමඟ සේරුවිල යෑම ඔහුගේ අරමුණ විය. රාස්සිගේ අව්ව වැටෙන සැදෑ සමයක අප ගමන ඇරැඹුවේ ට්‍රැක්ටර් යන්ත්‍රයකට ගොඩවෙමිනි. ට්‍රැක්ටර් යන්ත්‍රය අතින් අල්ලාගත හැකි තැන් බලා අපි හැමදෙනා එල්ලුණෙමු. එදවස සේරුවිල ගමන මහ වන ගැබ මැදින් පාර පාදාගෙන යා යුතු වූ ගමනකි. මාවිල්ආරු හා අල්ලකන්ඩිය (අල්ලබන්ට් එක) දුර්ග මාර්ගය පසු කිරීමට මෙහිදී සිදුවෙයි. මෙය බියකරු ගමනක් බව වැටහුණේ ඝනඳුර වට වනය විශාල වෘක්ෂ නිසා ක්‍රමයෙන් ඝන වන විට ය. ඩී. එස්. සේනානායක මහතා රියදුරු අසුනේ ය. ගොවිපළ දෙවන නිලධාරියා වූ ධර්මසේන මහතා ට්‍රැක්ට‍රයෙන් මද දුරක් ගොස් කැත්තක් අතැතිව බැස ගන්නේ මඟ හරහා වැටී ඇති පුස්වැල් හා බඹර වැල් මෙන්ම ගස් අතු ද සිඳ දා යා යුතු මඟ පාදා ගැනීමට ය.

මහවැලි පිටාර තැන්නේ පිහිටි වන ගැබ වතුරෙන් යට වූ ප්‍රදේශයක් තරණය කිරීමට අනතුරුව අපට සිදුවිය. බුරුත, පළු, වීර ගසින් සැදි වන අඳුරේ බිමට නැමුණු පුස්වැල් හා බඹර වැල් අතරින් එකවරම දැවැන්ත අලියකුගේ ඡායාව මතුවුණි. අලියා සිටියේ අප යන වන මඟ හරස් කරමිනි. එය අලි යනෙන අලිමංකඩ විය හැකි ය. අපි නිසොල්මනේ මද වේලාවක් අලියා දෙස බලා සිටියෙමු. අලියා ද නිසොල්මනේ මදක් බලා හිඳ සැණෙකින් බියකරු හඬක් ද නඟමින් අප දෙස හැරුණි. අලියාට අප වෙත සැණෙකින් හඹා ඒමට බැරිවූ‍යේ ලොකුවට වැඩි මහ ගස්වල එතුණු මහවැල් බාධකය නිසා ය.

අලියා, අලියා වන්නට හඬක් නැඟුවද අලි මිනිසුන්ට බය බවත් මෙහි දී පැහැදිලි විය‍. අප හැමදෙනා මහත් හඬින් නැඟූ ‍ඝෝෂාවක් ධර්මසේන අහසට තැබූ තුවක්කු වෙඩි හඬටත් බිය වූ අලියා කැලේ පොඩිකරමින් වේගයෙන් පලා දුවන්නට විය. ගොම්මන් අඳුර ගංවතුර මෙන්ම අලි ඇබැද්දිය ද නිසා බියපත් අප යාළුවන්ගේ ඉල්ලීම වූයේ සේරුවිල ගමන අත්හැර ආපසු කන්දකඩුව බලා යන ලෙස ය.

විශාලතම උරග වර්ගයක් වන ගැට කිඹුලා ලෙස හඳුන්වන උරග වර්ගය මහවැලි ගංඟා දිගේ දක්නට ලැබේ. කිඹුලාට අලියා ද බිය බවක් මහවැලි ගං දෑලේ අත්දැකීම්වලින් පෙනී යයි. පැටවුන් සිටින අලි රංචුව ගඟ දිය ගැඹුරට නොයන්නේ කිඹුලාට ඇති බිය නිසා ය. අලි පැටව් කිඹුලන් ඩැහැගන ගිය අවස්ථා ද වන මැද ගම්වල ගැමියන්ගෙන් අසන්නට ලැබුණි. තනි කඳ ඔරුව ගඟ මැද ඔරුකරුවා රඳවා තබන්නේ අලින්ට ඒ වෙත ළඟා නොවනු පිණිස ය.

මහවැලි ‍නදී තෙර සෝමාවතී වනපෙත මෙන් ම කන්දඩුව මසිත් හි සදා නොමියන සිතුවමක් බඳු ය. සොබා දහමේ නොයෙක් ගුණයෙන් අනූන වූ වන ගැබ නිසල ගැඹුරු කවියක් සේ රසහව් මතුකරයි.

සඳකත් දියෙන් නැහැවෙයි වනපෙත සොඳුරු
අලිරැල අවට බිඳලයි ගහ‍කොළ පඳුරු
ඉඳහිට නැ‍ඟෙයි හඬ වග වලසුන් රුදුරු
ගඟ බඩ සෝමපුර සෝබා සිරි මෙයුරු