සරසවියට ස්තුතියි!

“පොද්දා” මේ වචනය මුලින්ම ඇහුණෙ සරසවි බිමේ දී මට නුහුරු වචනයක් හරිහැටි තේරුමක් දන්නෙත් නැහැ. පළමු වසරේ දී සරසවියට ආගන්තුක වූ දවසක පුස්තකාලයට යමින් සිටින අතරතුර ජ්‍යෙෂ්ඨ උත්තමයෝ දෙදෙනෙක් මාව නතර කළා.

“උඹ හොස්ටල් ද? ඔව් අයියේ”

“එහෙනම් පොද්දෙක් නේද?”

“අනේ මම මුකුත් දන්නෑ අයියේ”

“උඹ බබා, ගම?”

“ඇඹිලිපිටිය”

“තාත්තා?”

“ගොවියෙක්”

අනේ පව් බං මූට යන්න දීපං (අනෙක් උත්තමයා)

“මේ... එක එකාට කඩේ ගිහිල්ලා අහුවෙන් නෑ හරිද?.... දැන් පලයං”

ඒ සරසවියේ පළමු තර්ජනය. මේ තතු සරසවි සගයන් එක්කත් කතා කළා. ඔවුන්ට “පොද්දා” පිළිබඳව හරි වැටහීමක් නැති පාටයි. “ජ්‍යෙෂ්ඨ උත්තමයෝ කොළේ වහලා ගහනවා හරියට දෙයක් කියන්නේ නැහැ. එයාලගේ භාෂාව අපිට තේරෙන්නෙත් නෑ” එක සගයෙක් එහෙම කිව්වා.

මගේ වාසිටිය වුණේ කැලණිය. රුහුණ, පේරා තරම් පාරිසරික ආකර්ෂණයක් නැති වුණත් භූමියේ පිහිටීම අනුව අපේ සරසවි බිමත් ලස්සනයි. පාර දෙපැත්තෙ සුදු යකඩ වැට, වළේ ජිම් එක, තෙල්බැම්ම, ක්‍රිඩා පිටිය, බුදු මැදුර, මේ හැම දෙයක් ම එකට ලඝු වුණාම අපි කාටවත් දෙවැනි නැහැ. එක එක සරසවි එක එක දේවල්වලට ප්‍රසිද්්ධයි. කැලණිය ප්‍රසිද්ධ වුණේ දේශපාලනයට, රැග් එකට.

සිකුරාදා හවස ලෙක්චර් එක ඉවරවෙලා ගෙදර යනවා වෙනුවට චූටි අයියාගේ හොස්ටල් එකට යන්න තීරණය කලා. අයියා කොළඹ කැම්පස් එකේ. අවසන් වසරේ. එයා සරසවි දේශපාලනය කළා. හරි ජනප්‍රියයි. ඒ නැතත් මගේ ජීවිතේ වීරයා වුණේ චූටි අයියා. එයා මගේ ඇස් පෑදුවා. මට නිසි මඟ පෙන්නුවා. නැත්නම් මම අද ඇඹිලිපිටියේ කුඹුරකට වෙලා වී කුරුල්ලෝ එළවනවා.... ඒක සත්තයි. චූටි අයියාට මගේ පැමිණීම ආගන්තුක වුණා. ‘මොකද නිකං බයවෙලා වගේ” අපළිවෙළට තිබුණ මගේ හිස කෙස් සකසන ගමන් අයියා හඬ අවදිකළා. මට එක පාරම ඇඬුම් ආවේ සරසවි තර්ජනය නිසා ‍ෙනාවෙයි. මගේ චූටි අයියාගේ සහෝදර ප්‍රේමයට හිත බර වෙලා. අපි ගොඩක් කතා කළා. එදා, හිතට කා වැදුණු අයියාගේ දේශනය සරසවි බිම ජය ගන්න මට දිරි දුන්නා.

“මල්ලී විශ්වවිද්‍යාලයේ හොස්ටල්වල ඉන්නේ ගමේ අහිංසක දුප්පත් මාපියන්ගේ දරුවෝ. යටත් පිරිසෙන් ඒ අයට රජයේ පියන් රස්සාවක්වත් හිමි නැහැ. එහෙම තියෙනවා නම් හොස්ටල් හම්බ වෙන්නෙත් නෑ. හොස්ටල් හිමිවීමේ ප්‍රධාන නිර්ණායකයත් දුප්පත්කම. හොස්ටල් එකේ උප සංස්කෘතියක් තියෙනවා. ඒක ඇතුළේ තමයි ඔය පොද්දා ඉන්නේ. පොදු බව, සමඟිය, ප්‍රගතිශීලී බව, ප්‍රජාතන්ත්‍රවාදී බව, දේශප්‍රේමීත්වය පොද්දට ආරූඪ කරලා තියෙන්නේ. පද්ධතිය ඇතුළේ පොද්දෙක් නොවී වසන්න අමාරුයි. ඒකේ දේශපාලනයක් තිබෙනවා. ඒ අය අපිව පාවිච්චි කරනවා. හැබැයි අපිටත් වාසි තියෙනවා. අපේ ආරක්ෂාවට, ලෙඩට, දුකට, මරණයට, මඟුලට, ලොකු පිරිසක් ඉන්නවා. රට වටේ යාළුවෝ හැදෙනවා. මල්ලි මෙහෙම කරන්න. ඔයා කාටවත් කඩේ යන්න එපා. පොද්දෙක් වෙලා ඇතුළේ ඉන්න. එළියට පෙන්නන්න එපා. ඔයා ආපු වැඩේ කරගන්න. තාත්තගෙත්, මගෙත් ලොකු බලාපොරොත්තුවක් තියෙනවා ඔයා පවුල ගොඩදායි කියලා”

අයියා එහෙම කිව්වේ ආත්මාර්ථකාමීකමට නෙවෙයි. සහෝදරකමට කියලා මම දන්නවා. එයා පක්ෂයට ජීවිතය ලියලා දීපු කෙනෙක්. ඒකයි පවුල ගොඩදාන්න මට භාර දුන්නේ.

සරසවි සිව් වසර අත්දැකීම් ගොඩක්. ඒ ජීවිතය ගැන කෙටියෙන් කියනවා නම් හරිම සුන්දරයි. සරසවියට ඇතුල්වෙද්දී මම ළඳක්, ලිංගය පමණයි වෙනස් කියලා සගයන් අතර අදහසක් තිබුණා. හැබැයි එළියට එද්දි මම පොෂ්, කොටින්ම කන බොන විදියේ ඉඳන්, අඳින්න, පලඳින්න කතා කරන්න ඉගෙන ගත්තා. පෝලිමේ ඉන්න, ඉවසන්න, එකිනෙකාට උදව් කරන්න, බැනුම් අහන්න, තග දාන්න ඉගෙන ගත්තා. ඉපදුණු රටට, මහ පොළොවට, සතා සිවුපාවාට, ගහ කොළට, මිනිසුන්ට ආදරය කරන්න ඉගෙන ගත්තා. ප්‍රජාතන්ත්‍රවාදය, ධනවාදය, සමාජවාදය, ත්‍රස්තවාදය, අර වාදය, මේ වාදය, මතු නොව පශ්චාත් නූතන වාදය දක්වා ම සරසවියෙන් ඉගෙන ගත්තා. අද මම තෘප්තිමත් මිනිසෙක්. ගෙන්දගම් පොළොවේ දෙපයින් හිටගෙන ඉන්නවා. මගේ කශේරුකාව ඍජුයි. මේ හැම දෙයක් ම පිටුපස්සේ බොහෝ පිරිසක් හිටියා. ඒ හැමෝටම ස්තුතියි. ඒ අතර, සරසවියට ස්තුතියි!