කොන්ක්‍රීට් විශ්වකර්මයා

කොළඹ ග්‍රහලෝකාගාරය හෝ පොල්ගොල්ල වේල්ල හෝ කොළඹ වරායේ සම්බුද්ධ ජයන්ති චෛත්‍යය හෝ දුටු කෙනකු එහි නිර්මාතෘවරයා විශ්වකර්මයකු යැයි සිතනු නොඅනුමානයි. ඔහු ආචාර්ය ඒ. එන්. එස්. කුලසිංහ. මෙරට බිහිවුණු විශිෂ්ටතම ඉංජිනේරුවකු හා ඉදිකිරීම් නිර්මාණ ශිල්පි‍ෙයක්. ඔහු වඩාත් සුවිශේෂී වන්නේ මෙරටට අනන්‍ය වූ ඉදිකිරීම් ක්‍රමවේදයක් ගොඩ නැඟූවකු වන බැවින්.

2002 වසරේ ප්‍රකාශිත කුලසිංහ අභිනන්දන ග්‍රන්ථයට සටහනක් තබන ශ්‍රීමත් ආතර් සී ක්ලාක් මෙසේ කියා තිබෙනවා. “බටහිරින් පැමිණි ඉතාමත් හොඳ යැයි සැලකුණු තාක්ෂණික ක්‍රම වෙනුවට දේශීය ප්‍රශ්නවලට දේශීය විසඳුම් සෙවීමට ඔහු උත්සාහ ගත්තේ ය. ඒ දේශීය හැකියාව හා දේශීය සම්පත් යොදා ගනිමිනි.”

බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක්ව පැවති නිදහස ලැබූ රාජ්‍ය අතරින් ශ්‍රී ලංකාව 1948න් පසු බුද්ධිමත්, දක්ෂ විද්‍යාඥයන් කීපදෙනකු ම බිහි කළ අතර ආචාර්ය කුලසිංහ ද ඔවුන් අතර එක් අයකු බව ශ්‍රීමත් ක්ලාක් එහිලා තවදුරටත් කියා සිටිනවා.

ආචාර්ය කුලසිංහ චෛත්‍ය, තට්ටු නිවාස, ආයතන, ගොඩනැගිලි, වරාය, පාලම් යනාදී වශයෙන් ඉදිකිරීම් ගණනාවකම නිර්මාතෘවරයා.

වටදාගෙය සංකල්පයට අනුව ඉදිකළ කළුතර චෛත්‍යය, වරායේ සම්බුද්ධ ජයන්ති චෛත්‍යය, මහවැලි (කොත්මලේ) මහ සෑය ආචාර්ය කුලසිංහයන්ගේ අපූර්ව නිර්මාණ ත්‍රිත්වයක්. දැවැන්ත කොන්ක්‍රීට් කණු හතරක පාදම මත උස්ව තැනුණු වරාය චෛත්‍යය සැතපුම් ගණනාවක ඈත සිට මහ මුහුදට ශ්‍රී ලංකා වරාය පෙනෙන පරිද්දෙන් ඉදිකළා වූ චෛත්‍යයක්.

‍මෙහි වාස්තු විද්‍යා උපදේශනය ජස්ටින් අමරසේකරගේ.

පෙර සවි තාක්ෂණය ආචාර්ය කුලසිංහයන්ගේ ස්වීය ඉදිකිරීම් ක්‍රමවේදයක්. ඔහු යටතේ බොහෝ ගොඩනැගිලි ඉදි වී ඇත්තේ ඒ අනුව ය.

දුම්රිය මාර්ග ඉදිකිරීම්වල දී සිල්පර කොටස් වෙනුවට කොන්ක්‍රීට් සිල්පර ඇති කිරීමේ තාක්ෂණය ආචාර්ය කුලසිංහගේ. මහා මාර්ගවල දී කොන්ක්‍රීට් ඇතිරීමේ යෝග්‍යතාව ඔහු පුරෝගාමී වශයෙන් පෙන්වා දුන්නා. ඒ පළමු වරට කොළඹ චෛත්‍ය පාර ඉදිකිරීමෙන්.

පාලම් ඉදිකිරීම්වල දී ද ඔහු අඩු වියදම් තාක්ෂණ ක්‍රමවේදයක් යොදා ගත්තා. මාතර නගරයේ නිල්වලා ගඟ හරහා ඉදිකර ඇති පාලම ඉන් ප්‍රමුඛයි. අකුරැස්ස ප්‍රදේශයේ එක්තරා පාලමක් තැනීම සඳහා ලක්ෂ 22ක මුදලක් ඇස්තමේන්තු ගත කර තිබිය දී ආචාර්ය කුලසිංහ එය ලක්ෂ පහ හමාරකින් නිම කළ පුවත මා අසා කියවා තිබෙනවා.

ධීවර වරාය ගණනාවක නිර්මාතෘ ආචාර්ය කුලසිංහ. ඔහු කලකට ඉහත හම්බන්තොට වරාය ගැන දැක්වූ ආකල්ප මොන තරම් සාධනීය දැයි ඔහුගේ පහත එන ප්‍රකාශයෙන් සාක්ෂාත් වෙනවා.

“හම්බන්තොට වරායක් හැදුවොත් ලංකාවට විශාල ආදායමක් එනවා. මහවැලියට වඩා ලොකු විශාල ව්‍යාපෘතියක් වෙනවා. මුළු වැඩේම අපට තනියෙන් ම කරන්න පුළුවන්. පිටරට උදව් නැතිව.”

මිරිස්ස, තංගල්ල, යාපනය, බේරුවල ධීවර වරාය කුලසිංහයන්ගේ නිර්මාණ.

රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සභාපති, වරාය කොමසාරිස්, ශ්‍රී ලංකා ප්‍රමිති මණ්ඩලයේ සභාපති, ජාතික ඉංජිනේරු පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේ (NERD) සභාපති යනා දී වශයෙන් ආචාර්ය කුලසිංහ විවිධ තනතුරු දැරුවා.

එක් කලෙක දී ඔහුට රට හැර යන්න සිදුවුණත් අක්‍රමිකතා පිළිබඳ සාවද්‍ය චෝදනාවක් එල්ල වීමේ ප්‍රතිඵල වශයෙන් ඔහු ඉන්පසු සිංගප්පූරුව, මැලේසියාව, ඉන්දුනීසියාව, පිලිපීනය, තායිලන්තය වැනි රටවලට ගොස් ඉංජිනේරු උපදේශන සේවාවේ යෙදුණා.

වසර 30කින් නිම කරන්ට සැලසුම් කර තිබූ මහවැලි ව්‍යාපෘතිය වසර 6ක් ඇතුළත නිම කිරීම ආචාර්ය කුලසිංහයන්ගේ දැවැන්ත පරිශ්‍රමයක ප්‍රතිඵලයක්. පසු කාලෙක කවරාකාර ‍චෝදනා එල්ල වුවත් ඔහු‍ගේ ප්‍රයත්නය අපට කිසිසේත් ම ඌනනය කරන්ට බැහැ. ඔහුට එල්ල වූ එක්තරා චෝදනාවක් වූයේ නායයෑම්. එහෙත් ඊට හේතුව වනාන්තර කැපීමෙන් සිදුවන පස සෝදා යෑම මිස මහවැලි ව්‍යාපෘතිය කඩිනම් කිරීම නොවන බව තර්කාන්විතව පෙන්වා දුන්නා.

ආචාර්ය කුලසිංහයන්ගේ පෙර සවි තාක්ෂණය විදේශීය රටවල ද සාර්ථකව ක්‍රියාත්මක කෙරුණා. වරක් අපේ එක් නිවාස හා ඉදිකිරීම් ඇමැතිවරයෙක් අඩු වියදම් නිවාස හා ඉදිකිරීම් සඳහා මැලේසියාවට ගොස් උපදෙස් පැතීමේ දී එරට නිවාස ඇමැතිවරයා කියා ඇත්තේ තම රටත් අඩු වියදම් තාක්ෂණය ඉගෙන ගත්තේ කුලසිංහයන්ගෙන් බවයි.

නාරහේන්පිට තට්ටු නිවාස මොහුගේ පෙර සවි තාක්ෂණයෙන් නිම වූ නිවාස පෙළක්.

අදටත් අපේ රටේ ඉදිකිරීම් ප්‍රතිපත්තියක් ඇතැයි මා සිතන්නේ නැහැ. එසේ තිබේ නම් විදේශීය සමාගම්වලට කොන්ත්‍රාත් දීමක් අවශ්‍ය කෙරෙන්නේ නැහැ. අපේම සම්පත් උපයෝගී කරගෙන, අපේ දේශගුණයට ඔරොත්තු දෙන අපේ පරිසරයට හානියක් නොවන, අඩු වියදම් තාක්ෂණයකින් යුතු ඉදිකිරීම් ප්‍රතිපත්තියක් පවත්වාගෙන යෑමේ අවශ්‍යතාව ආචාර්ය කුලසිංහ ද පෙන්වා දී තිබෙනවා.

2004 දී ‘නවයුගය’ සඟරාව සකස් කළ කවරයේ කතාව වෙනුවෙන් දුන් සම්මුඛ සාකච්ඡාවේ දී ඔහු ‍මෙසේ කියා සිටියා.

“ අද හරි වැරැද්ද සොයාගන්න බැරි තරමට හැම දේම වෙනස් වෙලා. උදාහරණයක් කිව්වොත් යම් ගොඩනැඟිල්ලක සැලැස්ම එදා හැදුවේ ඉංජිනේරුවරයා. ඔහු වාස්තු විද්‍යාඥයා යොදා ගත්තේ උපදෙස් ගැනීමටයි. ඒත් අද සැලැස්ම හදන්නේ වාස්තු විද්‍යාඥයා යි. තාක්ෂණික දැනුම ගැන අද තැකීමක් නැහැ. විවෘත ආර්ථිකය හේතුවෙන් හැමදේ ම මුදලට යට වෙලා. ”

1979 මොරටුව විශ්වවිද්‍යාලය කුලසිංහයන්ට ආචාර්ය උපාධිය පිරි නැමුවා. ඔහු දෙස් විදෙස් සම්මාන ගණනාවකට ම හිමිකම් කියා තිබෙනවා.

මිට වසර 8කට පමණ පෙර (2006) කුලසිංහයන් අපෙන් වියෝවුණා. මෙම සටහන නිම කිරීමට මත්තෙන් පෞද්ගලිකව මට වැදගත් වන යමක් ද සඳහන් කළ යුතු වෙනවා. එනම් මේ විශේෂ ගණයේ ලංකා පුත්‍රයා අප විදුහලේ (මීගමුව මාරිස්ටෙලා) ආදි ශිෂ්‍යයකු වන බවයි.

[email protected]