ග්‍රෑම් 200

ඇම්බන් මහත්තයා ටොම්සන් මහත්තයාට ගමනක් යන්නට කතා කළේ ය.

“අපි යමු ග්‍රෑම් 200 බලන්ඩ...” කියා ඇම්බන් මහත්තයා කීවේ ය.

“මොකක්? ග්‍රෑම් 200....? ඉතින් ඔය සුපර් මාකට් එකකට ගියා නම් ග්‍රෑම් 200 නෙවෙයි ග්‍රෑම් 500, 1000 වුණත් බලා ගන්න තිබුණා නේ.... අර ඉස්සර වාගේ පඩියක් දාලා තරාදියෙන් කිරනවා වුණත් බලා ගත්තෑකි පොඩි කඩේකට ගියා නම්.... කියලා ටොම්සන් මහත්තයා කීවේ ය.

“නෑ... එහෙම නෙවෙයි... මේක වෙනස් විදිහේ ග්‍රෑම් 200 ක්.... ”

“හරි ඉතින් ඇම්බන් මහත්තයා කියනවා නම් යමු.... හැබැයි අද නෙවෙයි... හෙට.. ඒත් උදේ වරුවේ නෙවෙයි හවස් වරුවේ... මොකද මං වඩේ ටිකත් විකුණා ගන්ඩ එපායැ...”

“මං ටක්කෙට ම කියන්නම්... ටොම්සන් මහත්තයා මේ ග්‍රෑම් 200 දැක්කට පස්සේ ඔය පරිප්පු වඩේ විකිණිල්ල නවත්තලා පලතුරු විකුණන්න පටන් ගන්නවා... ”

“හරි බලමුකෝ... පරිප්පු වඩේවලට වඩා පලතුරු විකිණීම ලාබ නම් මං ඒක කරනවා... ”

පහුව දා ඇම්බන් මහත්තයත්, ටොම්සන් මහත්තයත් ගමන පිටත් වුණෝ ය. ගමනේ වගතුග දන්නේ ඇම්බන් මහත්තයා ය. කොටුවේ ලේක්හවුස් එක ගාවින් 138 බස් එකක නැග්ග ඔවුහු මහරගමින් බැස්සහ. එතැනින් 230 හොරණ බස් එකට නැඟුණහ.

“අපට දෙන්ඩ කනන්විලට ටිකට් දෙකක්... ” ඇම්බන් මහත්තයා කීවේ ය. කොන්දොස්තර මහත්තයා ටිකට් දෙක දුන්නේ පොඩි හිනාවක් දාමිනි.

“ග්‍රෑම් 200 බලන්ඩ යනවා වෙන්ඩ ඇති....” කියලා ඔහු කීවේ ය.

“ඔව්... ඒකට තමයි යන්නේ... කොහොමද කොන්දොස්තර මහත්තයා දැන ගත්තේ.... ?” කියා ඇම්බන් මහත්තයා ඇසුවේ ය.

“මට නිකමට හිතුණා මූණු දෙක දැක්කම.... මොකද ග්‍රෑම් 50 විදිහට තමයි මූණු දෙක තියෙන්නේ..” කියා කොන්දොස්තර මහත්තයා හොක් හොක් ගා සිනහසුණේ ය.

මහරගමින් කොට්ටාවට ගොස් හොරණ පාරේ සෑහෙන දුරක් ගිය පසු කනන්විල දී දෙදෙනා ම බස් රියෙන් බැස්සහ. එහෙත් ලවුඩ්ස්පීකර් හඬකි. පාර අයිනේ තිබුණු බෝඩ් එකේ තිබුණේ පලතුරු සංවර්ධන හා පර්යේෂණ ආයතනය කියා ය.

මහ සෙනඟකි. වාහන පිරිලා ය. ඇම්බන් මහත්තයාත්, ටොම්සන් මහත්තයාත් පයින් ම ඇවිද ගෙන ගියෝ ය. අතර මඟ දී හමු වුණේ එක එක විදිහේ පැළ කවරවල දා ගෙන එන ජනී ජනයා ය.

“මේක මේ මහ විශාල ගොවිපොළක් නේ.. මේ බලන්ඩකෝ ඇම්බන් මහත්තයා... මේ රඹුටන් ගස්වල රඹුටන් හැදිලා තියෙන හැටි... හරි ම ලස්සනයි...”

ග්‍රෑම් 200 කියා ලොකු පුවරුවල ගසා තිබුණේ ය. හැම තැන ම එක එක විදිහේ පලතුරු ගස් ය. පැළ වෙළෙන්දෝ ද, වගා උපකරණ විකුණන්නෝ ද ද, පලතුරු විකුණන්නෝ ද අයිස් ක්‍රීම් වෙළෙන්දෝ ද, පලතුරු බීම වෙළෙන්දෝ ද තැන තැන ය. ජනයා ඔවුන් වෙත යති. අසති. ගනිති. කති. බොති. දකිති.

“මේකද ඇම්බන් මහත්තයා ඔය ග්‍රෑම් 200 කියලා කිව්වේ.... ” කියා ටොම්සන් මහත්තයා ඇසුවේ ය. ” අපි කාගෙන් හරි අහමුද මේ ග්‍රෑම් 200 කියන්නේ මොකද කියලා...” දෙදෙනා ම ළඟ තිබුණු විමසීම් කවුළුවකට ගියහ.

“හැම කෙනකුට ම ආහාරයක් වශයෙන් දවසකට පලතුරු ග්‍රෑම් 200ක් විතර ගන්න ඕනෑ.... ඒ ගැන මහජනයා තුළ හැඟීමක් ඇති කිරීමත්, පලතුරු පැළයක් ගෙදර වත්තේ හදා ගන්න උනන්දු කිරීමත් තමයි මේ ප්‍රදර්ශනයේ පරමාර්ථය.... ඒකයි ග්‍රෑම් 200 කියලා නම දැම්මේ... ”

“හොඳ වැඩක්... ඒත් මෙහෙම ආයතනයක් තියෙනවා කියලා මං නං මීට කලින් දැන ගෙන හිටියේ නෑ.... අනිත් එක ඔය ග්‍රෑම් 200ක් හැදෙන්නේ මොන විදිහට ද කියලා පොඩි මඟ පෙන්වීමක් තිබුණා නම් හොඳයි... ඒ කියන්නේ කෙසෙල් ගෙඩි කීයක් විතර ද? අන්නාසි කෑලි කීයක් විතර ද? ගස් ලබු කෑලි කීයක් විතර ද ? කියලා...” ඇම්බන් මහත්තයා කීවේ ය.

“නෑ... ඉතින් එහෙමම නොකිව්වට දවසකට සැරයක් ඔය පලතුරු ටිකක් සෑහෙන්න කනවා කියලා හිතා ගත්තා නම් ඇති..... ඒක මේ ප්‍රධාන ආහාර වේලකට පස්සේ වෙන්ඩත් පුළුවන්.. නැතිනම් නිකම් ඔය හවස් වරුවේ වගේ වෙන්ඩත් පුළුවන්.. වැදගත් දේ පලතුරු ආහාරයට ගැනීමයි...” කියා එතන හිටපු නෝනා කෙනෙක් කීවා ය.

ටොම්සන් මහත්තයා සහ ඇම්බන් මහත්තයා ගොවිපොළේ ප්‍රදර්ශනය නරඹමින් ඇවිද්දහ. කෙළවරේ තිබුණු වැව ළඟට ද ගියහ. එතන හැන්දෑවේ පලතුරු දන්සැලකි. ජනයා පලතුරු ගන්නට පෝළිමේ ය. ලොකු ඇම්බුන් කෙසෙල් ගෙඩියක්... මැංගුස් ගෙඩි දෙකක්... රඹුටන් ගෙඩි හතරක් හැමෝට ම.

“ඇම්බුන් මහත්තයා එනවා කියලා දැන ගෙන වෙන්ඩ ඇති මේ ඇම්බුන් දෙන්නේ...” කියා ටොම්සන් මහත්තයා හිනා වුණේ ය. දෙදෙනා ම වැව අද්දරට වී පලතුරු කමින් අවට සිරි නැරඹූහ.